ලියන කියවන කලාවත් සමග බද්ධව තිබෙන්නේ කඩදාසි. කඩදාසි පිළිබඳ අයිතිකරුවන් ලෙස චින ජාතිකයන් ලෝක සම්මාන ලබා සිටිනවා. ඒ අතරට අපේ රටේ නව යොවුන් වයසේ පසුවෙන දියණියක විසින් නිෂ්පාදනය කරන ලද පරිසර හිතකාමී කඩදාසියක කතාව ගැන දැන ගැනීමට ඔබත් සතුටු ඇති.
ජනප්‍රවාදවල සඳහන් පරිදි අනංගයාගෙ දුන්න සඳහාද ආයුර්වේදයේ නැතුවම බැරි ඖෂධීය ශාකයක් ලෙසද පුද පූජාවලට නැතුවම බැරි පලතුරක් ලෙසද උක් ගසට විශාල වටිනාකමක් ලැබී තිබෙනවා. උක් පැණි, උක් සීනි, උක් හකුරු ගැන ඔබ අසා තිබුණත් අපේ රටේ උක් රොඩ්ඩෙන් කඩදාසි නිෂ්පාදනය කිරීම ගැන ඔබ අසා තිබුණාද?දත මැදලා ඉවත දමන දැහැටි දණ්ඩක් වගේම උක් දණ්ඩක පැණි සාරය ඉවත් කිරීමෙන් පසුව එය ඉවත දැමීම හැර වෙන කළ යුතු දෙයක් ගැන අප සිතන්නේවත් නැහැ. නමුත් ටී. එම්. චිත්‍රාංගනී ලසන්තිකාට ඉවත දමන උක් රොඩුවලට අගය එකතු කිරීමේ හැකියාව ගැන අපූරු සංකල්පයක් සිතට ආවා.
මේ සිතුවිල්ල ඇතිවුණේ කොහොමද?
මම පදිංචි වෙලා ඉන්නෙ මොනරාගල ගලබැද්ද ප්‍රදේශයේ. මොනරාගල ගලබැද්ද කියන්නේ වියළි කලාපයට අයත් ප්‍රදේශයක්. වියළි කලාපය ආශ්‍රිතව පැල්වත්ත, සෙවනගල, ඇතිමලේ යන සීනි කර්මාන්තශාලා පිහිටා තිබෙනවා. මගේ කර්මාන්ත ආශ්රිත මුල්ම පුහුණුවීමට තෝරා ගත්තේ පැලවත්ත කිරි කර්මාන්ත ශාලාව. ඒ මාස හයක පුහුණු කාලය වෙනුවෙන්. මම දිනපතාම පැලවත්ත සීනි කර්මාන්තශාලාව පසුකර ගමන් ගනිද්දී කර්මාන්ත ශාලාවෙන් ඉවත දමා තිබෙන උක් රොඩු කඳු ගණන් දකිනවා. ඒ හැම වෙලාවකම මේවායින් කුමන හෝ ප්‍රයෝජනයක් ගන්න හැකියාවක් නැද්ද කියල මට හිතුණ වාර අනන්තයි.
උක් රොඩුවලින් කොටසක් බොයිලර්වලටත් ගන්නවා. ඒත් විශාල ප්‍රමාණයක් ඉවත දානවා. ඒ වගේම මම ජීවත් වෙන්නේ වියළි කලාපයට අයත් ප්‍රදේශයක. අපට නිතරම තදින් පායනවා. ඒ වගේ අවස්ථාවක හදිසියේ හෝ මේ විදිහට තියෙන උක් රොඩු කන්දකට ගිනි ඇවිළුනොත් ලොකු විනාශයක් සිදුවනවා. සීනි කර්මාන්ත ශාලාවෙන් වගේම මේ ප්‍රදේශයේ තිබෙන හකුරු නිෂ්පාදන ආයතන වෙතිනුත් උක් රොඩු ඉවතට දානවා. මේ විදිහට උක් රොඩු බැහැර කිරීම තවත් පැත්තකින් පරිසරයටත් ගැටලුවක්.
මේ හේතුව නිසා මම උක් රොඩු ගැන ගොඩක් හෙවුවා. උක් රොඩුවල තන්තුමය ස්වභාවය පවතින නිසාත් කඩදාසි හදන්න ගන්න අනෙක් අමුද්‍රව්‍යවල ලක්ෂණ හා සන්සන්දනය කිරිමෙන් හා ඒ සම්බන්ධව ඇති ගොඩාක් පරික්ෂණ වාර්තා කියවීමෙන් අනතුරුව කඩදාසි නිෂ්පාදනය කරන්න පුළුවන් නේද කියන අදහස සිතට ආවා.
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ
මම පුංචි කාලයේ ඉඳලාම විවිධ අත්කම් කරන්න කැමැත්තක් දැක්වූවා. ඒ හැකියාවත් මට තිබුණා. මේ නිසා මම කඩදාසි ගැන, ඒවා හදන විදිහ, කඩදාසි නිර්මාණ ගැන විස්තර පොඩි කාලේ ඉඳලම හෙවුවා.
අදහස ක්‍රියාත්මක කරන්න ඔබට අවශ්‍ය පසුබිම නිර්මාණය වුණේ?
මම මොනරාගල ගලබැද්ද මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ සමත් වෙලා ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන්න මොනරාගල රාජකීය විද්‍යාලයට ඇතුළු වුණා. රත්මලාන යුනිවසිටි තාක්ෂණ විද්‍යාලයට ඇතුළු වුණා. මෙහිදී මගේ විෂය ධාරාව විදිහට ආහාර තාක්ෂණය තෝරා ගත්තා. එතැනින් පසුව රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා.උසස්පෙළ සමත් වෙලා රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතනයට ඇතුළු වුණා. එහිදී ආහාර තාක්ෂණය පාඨමාලාව හැදෑරීම සඳහා එහිදී NVQ 6 හා HND ලබාගන්න හැකියාව ලැබුණා.
ආහාර සම්බන්ධව නව නිර්මාණයක් ඉදිරිපත් කිරීම එම පාඨමාලාවේ කොටසක් වුණා. එතනින් තමයි මගෙ මෙම අදහසේ මූලික අදියර පටන්ගත්තේ. ඉන් පසුව මම රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා ආහාර සැකසුම් තාක්ෂණවේදී උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා. එමගින් මගෙ අදහස තවත් සාර්ථකව ඉදිරියට කරගෙන යන්න පුළුවන් වුණා.
මේ වන විට මම එහි පළමු වසරේ ශිෂ්‍යාවක්.අපේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පාඨමාලාවේ කොටසක් විදිහට නව නිර්මාණයක් ඉදිරිපත් කිරීම පාඨමාලාවේම කොටසක්. මෙහි පැවැත්වෙන Food ex ආහාර ප්‍රදර්ශනයට මම උක් රොඩුවලට අගය එකතු කරලා කඩදාසි නිර්මාණයක් ඉදිරිපත් කරන්න තීරණය කළා.
ඔබ අමුද්‍රව්‍ය විදිහට උක් රොඩු තෝරා ගත්තා?
ඔව්. අපේ පළාතේ ගොඩක් තැන්වලින් ඉතාමත් පහසුවෙන් උක් රොඩු ලබාගන්න හැකියාව තියනවා. සීනි කර්මාන්ත ශාලාවෙන් වගේම ප්‍රදේශයේ තිබෙන උක් හකුරු නිෂ්පාදන ආයතන වෙතිනුත් උක් රොඩු ලබාගන්න පුළුවන්. ඉතින් අවසානයේ කිසිම රසායනික ද්‍රවයක් භාවිතයෙන් තොරව ස්වභාවිකව කඩදාසි නිර්මාණය කරන්න මට පුළුවන් වුණා.
කඩදාසියේ වර්ණය
මේ කඩදාසිය ලා දුඹුරු හා අළු පැහැයකින් යුක්ත ස්වභාවික වර්ණයක් තියෙන්නේ. ඊට හේතුව වර්ණ ගැන්වීමට බ්ලීචින් වර්ග එකතු නොකිරීමයි. ඒ වගේම අතින් හදන කඩදාසිවල තිබෙන කෙඳි සහිත ස්වරූපයට බොහෝ දෙනෙක් කැමැතියි. ඒ ආකාරයටත් කඩදාසි නිර්මාණය කිරීමේ හැකියාවක් තියනවා. මම මගේ නිර්මාණය මුලින්ම “Tec Green Craft” නමින් ද පසුව “Green Pack” නමින් ද නම් කළා.
එහි ශක්තිය
කඩදාසිය තුනී වුණත් ශක්තිය ගැන කිසිම ගැටලුවක් නැහැ. තෑගි දැවටුම්වලට, සුබ පැතුම්පත් සඳහා, සිලින්ඩර් හැඩයෙන් යුත් පෙට්ටි, කඩදාසි කෝප්ප, තෑගි පෙට්ටි, ටැග් වර්ග, පැළවෙන කඩදාසි නිර්මාණ, වෙඩින් කේක් පෙට්ටි ඇතුළු විසිතුරු භාණ්ඩ රැසක් කිරීමේ හැකියාවක් තියනවා.
ඔබේ නිෂ්පාදනයට ඇගයීමක්
මම මුලින්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කළ “FOODTECHTHON “21” තරගාවලියේ Top 20 teams දක්වා ද වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය මගින් මගින් සංවිධානය FoodEx ’23 ප්‍රදර්ශනයේදී දෙවැනි ස්ථානය ලැබුණා. මේ ජයග්‍රාහී නිෂ්පාදනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) පැවැත්වු “ pro food pro pack ” ජාත්‍යන්තර ප්‍රදර්ශනයට ඉදිරිපත් කළා. මේ ප්‍රදර්ශනයට සියලුම විශ්වවිද්‍යාලවලින් කළ නව නිෂ්පාදන ඉදිරිපත් කරනවා. එතැනදී මගේ නිෂ්පාදනය අවසාන වටයේ තෝරාගත් නිෂ්පාදන 6 අතරට ඇතුළත් වුණා. එහි ප්‍රතිපල අපේක්ෂාවෙන් ඉන්නවා. ඊට අමතරව SME waste Management Industry ප්‍රදර්ශනයට සම්බන්ධ වීමටත් මට අවස්ථාව ලැබුණා.
මේ නිෂ්පාදනය ඉදිරියට ගෙනයන්න අදහසක්
මේ හරිත කඩදාසි සංකල්පය අද ලෝකයේ බොහොම ජනප්‍රියයි. ඒ වගේම විශාල ඉල්ලුමක් තිබෙනවා. මහා පරිමාණයෙන් සිදුකරනවා නම් අපනයන වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඒ වෙනුවෙන් විශාල ආයෝජනයක් අවශ්‍යයි. දැනටත් මේ කඩදාසි නිෂ්පාදනයෙන් අපට ලැබෙන වාසි බොහොමයක් තිබෙනවා. දැනට මේ සඳහා ලොකු මුදලක් ආයෝජනය කරලා මගේ නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට තරම් හැකියාවක් මට නැහැ. මොකද මම තාම ඉගෙන ගන්න නිසාත් මේ වන විට පර්යේෂණ තත්ත්වයේ පවතින මගේ නිර්මාණය ස්වයං රැකියාවක් ලෙස ආරම්භ කිරීමට කුඩා ප්‍රමාණයේ මැෂින් කිහිපයක් මිලදී ගත යුතු නිසාත්. දැනට මම මේ නිර්මාණ සියල්ල කිරීමට කුඩා ඇඹරුම් යන්ත්‍රයක් භාවිත කරන නිසා විශාල කාලයක් වැය වෙනවා.
ඔවුන්ගේ නව නිර්මාණයට ජිවයක් ලබා දෙන්න
ඉවත දමන උක් රොඩු අමුද්‍රව්‍ය විදිහට කඩදාසිවලට යොදාගැනීම නිසා උක් ආශ්රිත කර්මාන්තශාලාවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුවට ඉබේටම විසඳුමක් ලැබෙනවා. මේ කඩදාසිවලට කිසිම රසායනික ද්‍රව්‍යක් යොදා නොගන්නා නිසාත් පහසුවෙන් ජීරණය වෙන නිසාත් නැවත නිෂ්පාදනය කළ හැකි නිසාත් පාරිසරික වශයෙන් ගැටලුවක් නැහැ. වියදමත් අඩුයි. සම්පූර්ණයෙන්ම ස්වභාවිකයි. ඒ වගේම ප්රාදේශිීය වශයෙන් වුණත් බොහෝ දෙනෙකුට රැකියා අවස්ථා ලබාදීමේ හැකියාවකුත් තිබෙනවා. කොහොම වුණත් හැකි ඉක්මනින් ලංකාවේ මෙතෙක් කඩදාසි නිර්මාණයට භාවිත නොකළ සහ උක් කර්මාන්තශාලාවල ප්‍රධාන අපද්‍රව්‍යක් වන උක් රොඩු ප්‍රධාන අමුද්‍රව්‍ය කරගෙන පරිසර හිතකාමී කඩදාසි වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට බලපොරොත්තුවෙන් ඉන්නවා.
අවසාන වශයෙන්
මට මෙම නිර්මාණය කිරීමට උපකාර කළ මගේ අම්මා, අප්පච්චි සහ පවුලේ සියලු දෙනාටත් රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ආචාර්ය මණ්ඩලයටත් රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයටත් සහ මට මේ ගමන එන්න විවිධ ආකාරයෙන් උදවු කරපු හැමෝටමත් මම ගොඩාක් ස්තූති කරන්න කැමතියි.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️