අපි අපේ නිවෙන මඟ සොයාගන්න ඕනෙ මොන විදිහකටද කියන එක අපේ තේරීමක්. යම් ක්‍රියාවකින් අපි නිවෙනවා නම් ඒ තමයි අපි සොයන නිවන. මේ කියන්න යන්නේ ජීවිතේ අනියත බව තේරුම්ගෙන කුඩා වයසේදීම ගිහිගෙයින් නික්මුණු ස්වාමීන් වහන්සේ නමක් තම නිවීම තවත් මාර්ගයකින් සොයාගෙන තිබුණා. ඒ තමයි චිත්‍ර කලාව. උන්වහන්සේ නමින් කටුවන සමිත ස්වාමීන් වහන්සේ.
මම මූලික අධ්‍යාපනය හැදෑරුවේ ඌරුබොක්ක තුසිත මූලික පිරිවෙනෙන්. ඉන්පස්සේ උසස් පෙළ හදාරන්න 2010 දී කොළඹට එනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය 2019 දී අවසන් කරලා දැන් මහරගම පතිරගොඩ නාලාන්දාරාම විහාරස්ථානයෙ වැඩ සිටිනවා.
කුඩා කාලයේ පටන්ම චිත්‍ර අඳින්න ආසාව වගේම හැකියාව මට තිබුණා. නමුත් 2012 දී තමයි හරියටම චිත්‍ර විෂය ගැන හදාරලා චිත්‍ර කලාවට පිවිසින්නෙ. මුලින්ම මම අඳින්න පටන් ගත්තෙ Acrylic And Oil සිතුවම්. මොකද මගේ ලොකුම ආසාව තිබුණේ වර්ණ සිතුවම් කරන්න. ඒ අතරතුර Pencil art වගේ දේවලුත් මම කළා.
මම මේ නිර්මාණ හැම එකක්ම කරන්නෙ මටම ආවේණික වුණ ක්‍රමයකට. ඒ වගේම මට චිත්‍ර උගන්වපු ලලිත් ගුණතිලක සර් සහ භාග්‍යා මදනසිංග අක්කවත් අමතක කරන්න බැහැ. මොකද ඒ දෙන්නාගෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම මම සිබිල් වෙත්තසිංහ මහත්මියගේ චිත්‍ර ගොඩක් අධ්‍යයනය කළා. ඒ ආභාෂය මම මගේ චිත්රවලට යොදා ගත්තා.
මට ක්ෂේත්රයේ ඉන්න සමහරක් අයගෙන් උදව් ලැබුණත් ගොඩක් දේවල් මම ඉගෙන ගත්තෙ මගේ උත්සහයෙන් සහ කැපවීමෙන්. ලංකාවේ තියෙන සමාජ මත සහ වටපිටාවත් එක්ක චිත්‍ර කලාව ලංකාව තුළ හදාරන්න තරමක් අපහසුයි. ඒ නිසාම මම ප්‍රංශය, එංගලන්තය වගේ රටවල්වලට ගිහින් චිත්‍ර කලාව පිළිබඳව හෑදෑරීම් කළා. 2017 දී තමයි මම සල්ලි එකතු කරලා අයි පෑඩ් එකක් අරගෙන ඩිජිටල් ආර්ට්වලට යොමු වෙන්නෙ.
මගේ ඩිජිටල් ආර්ට්වල ගොඩක් වෙලාවට තියෙන්නෙ පොඩි කාලෙ මගේ හිතේ ඇතිවුණ සිහින. ඊට අමතරව මම පොඩි දරුවන්ගෙ කතන්දර පොත්වල පිටකවර, කැලන්ඩර් වගේ ඒවා අඳිනවා. දැනට පොත් 6 කට වගේ මම චිත්‍ර ඇදලා තියෙනවා. ඒ වගේම ප්‍රංශයේ පෙරපාසලක ඉවෙන්ට් එකකට ඕන කරන චිත්‍ර විශාල ප්‍රමාණයක් අඳින්න මට අවස්ථාවක් හම්බුණා. ඒකට මාස 8 ක් වගේ වැය වුණා.
ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මට චිත්රවලින් හම්බෙන සල්ලිවලින් මොනවාද කරන්නෙ කියලා. මට හම්බෙන සල්ලිවලින් චිත්රවලට අවශ්‍ය උපකරණ මම ගන්නවා. ඒවගෙම ගමේ අයට පුළුවන් විදිහට මම උදව් උපකාර කරනවා. පන්සල ගාව තියෙනවා ළමා මධ්‍යස්ථානයක්. මට පුළුවන් කමක් ලැබෙන හැම වෙලාවෙම ඒ දරුවන්ටත් කෑම වේලක් මම දෙනවා. සමහරක් වෙලාට මට හම්බෙන පාට පැන්සල්, පොත්, පේන්ට් වගේ දේවල් මම ගමේ ළමයින්ට බෙදලා දෙනවා.
මට තියෙන පහසුකම් උපයෝගී කරගෙන මගේ යූටියුබ් චැනල් එක හරහා චිත්‍ර කලාවට කැමැත්තක් තියෙන අයට අවශ්‍ය දැනුම මම ලබාදෙනවා. මගෙන් චිත්‍ර පිළිබඳව යමක් දැනගන්න අවශ්‍ය කරන ඕනෑම කෙනෙකුට ඕනෙම වෙලාවක මම උදව් කරනවා. මම දන්න දෙයක් නම් ඕනම කෙනෙකුට මම කියල දෙනවා.
අවුරුදු දෙකකට කලින් වගේ මම ප්‍රදර්ශනයක් තියන්න උත්සහා කළත් මට ඒක කරගන්න බැරි වුණා. ඒ වගේම ප්‍රදර්ශනයක් කරන්න ආරාධනා කිහිපයක්ම දැනට ලැබිලා තියෙන්නෙ. කොහොම වුණත් තියෙන ප්‍රදර්ශන බොහෝදුරට ලංකාවේ පවත්වන්නෙ නැති වෙයි.
මම ඇඳපු පේන්ටින්ස් මේ වෙනකොට එංගලන්තය, ඇමරිකාව, ඉතාලිය වගේ රටවල් 13 කට මම යවලා තියෙනවා. ලංකාවට වඩා පිරටවල තමයි මගේ වැඩ ගොඩක් තියෙන්නෙ. මොකද අපි දවස් හත අටක් මහන්සි වෙලා අඳින චිත්රවලට ලංකාවේදි හරි තැනක් දෙන්නෙ නැහැ.
අපේ පන්සලේ ලොකු හාමුදුරුවරුවොන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. හිමිනමක් කියන්නෙ බොහෝම කාර්යය බහුල කෙනෙක්. නමුත් ඒ කාර්යය බහුලත්වය මට දැනෙන්න නොදී මගේ වැඩ ටික නිදහසේ කරගෙන යන්න උන්වහන්සේ මට උදව් කරනවා.
මම ස්වාභාවික පරිසරයට, නිහැඩියාවට, ගුප්ත බවට ගොඩක් ආදරය කරන කෙනෙක්. මම චිත්‍ර අඳින්නත් කැමැති ඒ වගේ තැන්වල. සත්තුන්ට මම ගොඩක් ආදරෙයි. මං කොහේහරි යනවානම් මගේ බෑග් එකේ අනිවාර්යයෙන් බිස්කට් පැකට් එකක් තියෙනවා පාරේ ඉන්න බල්ලන්ට දෙන්න.
දැන් ලංකාවේ තියෙන සමාජ සංස්කෘතියත් එක්ක හිමිනමකට තමන්ගේ හැකියාවන් ලෝකයට පෙන්වන්න බැරිව හිර කරගෙන ඉන්න වෙලා තියෙනවා. සමහර හිමිවරු ඉන්නවා සංගිතයට, ලියන්න කියන්න, කැටයම් කපන්න වගේ දේවල්වලට ගොඩාක් දක්ෂ. නමුත් අවාසනාවකට උන්වහන්සේලාට ඒ හැකියවන් ලෝකයට පෙන්වන්න බැරි වෙලා තියෙනවා. මේ හැමදෙයක්ම සමාජය විසින් අහුරන තත්ත්වයක් තමයි දැන් උදාවෙලා තියෙන්නෙ. මම කියන්නෙ සමාජය ඒ හැමදෙයක්ම ස්වාධීනව දකින්න හුරුවෙන්න ඕනෙ. දක්ෂ අයට උදව් කරලා එයාලව අගයන එක තමයි වැදගත් වෙන්නෙ.
අර්චිත ඉඳුවර ✍️