“යෝධයෙක් වගේ පෙනුමක් ඇති කෙනෙක්”. හැබැයි ඔහු ඒ පෙනුමෙන් හොඳින් වැඩගත් බව මේ කතාබහෙන් ඔබටත් හොඳින් වැටහේවී. පෙනුමෙන් එහෙම වුණාට රුවන් පෝල් කියන්නේ ලෝකයේ කෙහේ ජීවත් වුණත් බොහොම හොඳ හදවතක් ඇති තමන් උපන් බිමට වචනයේ පරිසමාප්තියෙන්ම ආදරය කරන විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙක් කිව්වොත් හරියටම හරි. පසුගිය දවසක රුවන් නවලිය කාර්යාලයේදී අපට හමුවුණේ අපූරු ජාත්‍යන්තර ජයග්‍රහණයකින් පස්සේ…
මොකක්ද මේ ඔබ ළඟදී ලැබූ ජාත්‍යන්තර ජයග්‍රහණය
මම වේට් ලිෆ්ටින් ක්‍රීඩකයෙක්. වේට් ලිෆ්ටින් වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක මේපාර තිබුණේ ඉතාලියේ රෝම නගරයේ. මේ තරගාවලියට රටවල් තිහක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හාරසීයක් විතර ඇවිල්ලත් හිටියා. දවසකට එක කාණ්ඩයක් යටතේ දවස් තුනක් තියෙන විදිහට තරගය පැවැත්වුණා. මට තිබුණේ අන්තිම දවසේ තරග කරන්න. මොකද මගේ බර පන්තිය ඉහළ නිසා. මම තරග වැදුණේ කිලෝග්‍රෑම් 120 බර පන්තිය යටතේ.
විවෘත කාණ්ඩයේ බෙන්ච් ප්‍රෙස් සහ ප්රවීණයන්ගේ කාණ්ඩයේ බෙන්ච් ප්‍රෙස් යන දෙකෙන්ම මට ගෝල්ඩ් මැඩ්ල් දෙකක් හම්බවුණා. හවස තමයි ඕවරෝල් තරගය තිබුණේ. එතනදී බැලුවේ මුළු ඇඟේම ශක්තිය. ඒකට කියන්නේ ඩෙඩ් ලිෆ්ට් ඕවරෝල් කියලා. එතනදී මට ප්රවීණයන්ගේ කාණ්ඩයේ සිල්වර් මෙඩ්ල් එකක් තමයි ලැබුණේ.
මීට අමතරව පහුගිය අවුරුදුවල ඔබ ලබපු තවත් ජයග්‍රහණ කිහිපයක් ගැනත් මතක් කරමු…
හැම අවුරුද්දෙම ලෝකේ තියෙන වේට් ලිෆ්ටින් තරගවලට සහභාගී වෙන්න අපි සුදුසුකම් ලබාගන්න ඕන ජාතික මට්ටමෙන්. මම ජීවත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ නිසා ඕස්ට්‍රේලියන් නැෂනල් චැපියන්ෂිප් එක දිනලා සුදුසුකම් ලබාගත්තොත් විතරයි ජාත්‍යන්තර තරගවලට මට යන්න පුළුවන් වෙන්නේ. මම ගිය අවුරුද්දේ ඕස්ට්‍රේලියන් නැෂනල් චැපියන්ෂිප් එක දින්නා. ගෝල්ඩ් මැඩ්ල් දෙකක් මට ලැබුණා. මෙල්බන් ඕපන් එකෙන් ගොල්ඩ් මෙඩ්ල් එකක් මට ලැබුණා. ඒවා දිනලා තමයි වර්ල්ඩ් කම්පිටිෂන් එකට මම ගියේ.
කොහොමද ඔබ මේ ක්‍රිඩාව යොමුවුණේ ?
මම හිටපු නාවික හමුදා නිලධාරියෙක්. මට එතකොට තිබුණේ සිහින් සිරුරක්. මම නාවික හමුදාවේදී සොකර් ගැහුවා. සෝකර්වල මම නැෂනල් වෙනකම් සෙල්ලම් කළා. ඊට අමතරව කරාතෙත් කළා. නාවික හමුදාවේ වැඩ කරනකොට 1994 දී වගේ මගේ කකුලට වෙඩි වැදුණා. ඔළුවටත් වැදුණා. මාස 8 ක්ම මම හිටියේ ඉස්පිරිතාලේ. හරියට දුක් වින්දා. නාවික හමුදාවේ අවුරුදු 14 ක් හිටියා. ඒ අතරතුර මගේ ශරීරයේ බර වැඩි වුණා. මාස 8 කින් පස්සේ සොකර්වලටයි කරාතේවලටයි ඕන ස්පීඩ් එක මගේ තිබුණේ නැහැ.
ස්පොට්ස් පොඩි කාලේ ඉඳලම මගේ ඇඟේ තිබුණ දෙයක්. ඊටපස්සෙ තමයි ජිම් එකේදී බර උස්සන්න ගත්තේ. නාවික හමුදාවෙන් විශ්‍රාම ගිහින් මම ඕස්ට්‍රේලියාවට ගියා. එහේදී මම ඇඟේ බර අඩු කරගන්න හිතාගෙන ජිම් එකට ගියා. ඒක තමයි ජීවිතයේ හැරවුම් ලක්ෂය වුණේ. ජිම් එකේදී කෙනෙක් ඇවිත් මට කිව්වා බර උස්සනවා වැඩියිනේ ඒ නිසා වේට් ලිෆ්ටින් කරන්න කියලා. එහෙම මම සහභාගී වුණ පළවෙනි තරගයෙන් ඕස්ට්‍රේලියන් නැෂනල් රෙකෝඩ් එකක් තිබ්බා. මම තමයි එහේ වේට් ලිෆ්ටින්වලින් රෙකෝඩ් එකක් තියපු පළමු ශ්‍රී ලාංකිකයා. එදා ඉඳලා මම අවුරුදු 6 ක් තිස්සේ වේට් ලිෆ්ටින් ඔස්ට්‍රේලියන් නැෂනල් ටීම් එක නියෝජනය කරනවා.
කොහොමද ඒ දවස්වල එහේ ජීවිතය
මුලින් ලොකු කට්ටක් කෑවා. හැබැයි ගේම අතහැරියේ නැහැ. මොන වැඩ කරත් මම ජිම් එකට යන එක මඟහැරියෙත් නෑ. අන්තිමට මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන්වල ලයන්ස් ක්ලබ් එකේ හය පාරක් ප්‍රසිඩන්ට් වුණා. ඒ නිසාම මම ගොඩක් සමාජ සේවා කරන්න ගත්තා. අනුන්ගෙ දේවල් හොයන්නෙ නැති නිසා මට ගොඩක් දේවල් කරන්න දවසේ වෙලාව තිබුණා. ලංකාවේ සමාජ සේවා වැඩවලටත් මම ගොඩක් උදව් කළා. අදටත් මම මේ ක්‍රීඩාවට අමතරව නටනවා, උයනවා, සිංදුත් කියනවා.
කොහොමද ලිඩියව හම්බුණේ ?
එයාව හම්බවුණේ මෙල්බන් කොපර් කබානාවලදී ලැටින් ඇමරිකන් ඩාන්සින් ඉගෙන ගන්න ගිහිල්ලා. එයා තමයි මගේ ඩාන්සින් පාට්නර් වුණේ. මුලින් අපි හොඳ යාළුවෝ වුණා. පස්සේ අපි ආදරය කරන්න පටන් ගත්තා. දැන් අපි බැදලා අවුරුදු 20 කට ළං වෙනවා. මම දැන් සීයා කෙනෙක්. මට පුතාලා හතරදෙනෙක් ඉන්නවා. එයාලටත් දැන් ළමයි ඉන්නවා. මට ග්‍රෑන්ඩ් චිල්ඩ්රන්ස්ලා පස්දෙනෙක් ඉන්නවා. ගර්ල්ස්ලා 3 යි බෝයිස්ලා 2 යි
ඕස්ට්‍රේලියාව වගේ රටකට ගිහිල්ලා ශ්‍රී ලංකිකයෙක්ට ක්‍රීඩාවක් පටන්ගන්න, දිගටම කරගෙන යන්න එදා ලෙහෙසි වුණාද?
ඇත්තටම ලෙහෙසි වුණේ නැහැ. හැබැයි මම එක අරමුණක හිටියා. පාටි දාන්න, ක්ලබ් යන්න, ගොසිප් කරන්න මම මගේ කාලය දුන්නේ නැහැ. මම මගේ කාලය දුන්නේ ජීවිතයෙන් නැගිටින්නයි ක්‍රීඩාවෙන් දිනන්නයි. වෙලාව මැනේජ් කරගත්තොත් ගොඩක් දේවල් දිනන්න පුළුවන් බව මම තේරුම් අරගෙන හිටියා.
කෑම ගැන කොහොමද බලාගත්තේ?
බර ඔසවනවා කියන්නෙ හරි අමාරු දෙයක්. ඒක ක්‍රීඩාවක් විදිහට කරනවා කියන්නේ ඊටත් වඩා අමාරු දෙයක්. ලොකු බරක් උස්සනකොට අපේ මසල්ස් ඉරෙනවා. ඒවා රිකවර් කරගන්න ඕනේ. ඒ දේවල් මම ඉගෙන ගත්තා. මේ ක්‍රීඩාව සීයට අසූවක්ම රඳා පවතින්නේ නියුට්‍රිෂන් මත. හරියට කෑම වේලවල් ගන්නේ නැතුව, හරියට රෙස්ට් එකක් ගන්නේ නැතුව මේ දේවල් කරන්න බැහැ. හොඳ කෑම වේලකින් තමයි හැම දෙයක්ම රිකවර් වෙන්නේ. අපරාදේ මේ රටේ බර උස්සන ගොඩක් ළමයි ඒ ටෙක්නික්ස් දන්නේ නැහැ.
වෙන රටකදී ශ්‍රී ලාංකික ඔබට ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලැබුණාම මොන වගේ හැඟීමක්ද ඇතිවෙන්නේ ?
මාරම ප්‍රවුඩ් එකක් මට දැනෙන්නේ. මොකද අපේ කවුරුත් එහේ නැහැනේ. ඔස්ට්‍රේලියාවේ අයගෙන් මට ලොකු සපෝට් එකක් හැම තරගයකදීම ලැබුණා.
මේ රටේ යෝධයන් සොයා යන්න ඔබ සූදානම් කියන්නේ ඇත්තක්ද
ඔව් ඒක ඇත්තක්. අපි දසමහා යෝධයන් හිටපු ජාතියක්. වැඩි බරක් උස්සනවා කියන්නෙම යෝධයෙක් වගේ හැඟීමක්. ඒවගේ යෝධයො අදටත් ලංකාවේ කොහේ හරි ඉන්නවා ඇති. එයාලා දැන් ඉන්නෙ හැංගිලා. මට ඕනෙ එයාලව ඉදිරියට ගෙන්න. හොඳ පුහුණවක් ලබාදෙන්න. එයාලව මේ රටෙන් එහා ජත්‍යන්තරයට අරගෙන යන්න. ජයග්‍රහණ මේ රටට ගේන්න. ඒකේ නම “යෝධයන් සොයා යන ගමන”. දැනට ඒ වැඩේ 90% ක්ම ඉවරයි. මගේ ගම ජාඇල නිසා ගමෙන්ම වැඩේ පටන් ගන්නවා.
ලිඩියාගෙන් ජීවිතයට ලැබෙන සපෝට් එක කොහොමද
එයාගෙන් හැමදේකටම මට ලොකු සපෝට් එකක් ලැබෙනවා. එයා ඉමිග්රේෂන් ලෝයර් කෙනෙක්. එහේ ගොඩක් වැඩ එයා කරනවා. මම බර උස්සන ඒවටත් දැන් එයාව එකතු කරගෙන තියෙනවා.
මොනවගේ කැපවීමක්ද මේ ගමන දිනන්න බලපෑවේ ?
ක්‍රීඩකයෙක් කියන්නේ ඩිසිප්ලීන් තියෙන කෙනෙක්. ඩිසිප්ලීන් සහ කෑම තමයි මේ ගමනට බලපෑවේ. මේ වගේ ක්‍රීඩාවක් කරනකොට හොඳ නින්දකුත් අවශ්‍යයි. ලංකාවේ ගොඩක් අය දන්නෙත් නැත්තේ මෙහෙම බර උස්සනකොට අපි යම් ව්‍යායාමයක් කරනකොට අපේ මාංශපේශිවලට හානි වෙන එක සහ ඒවා නැවත හැදෙන්න කාලයක් දෙන්න ඕන බව.
හරින්දී ලියනගේ ✍️