ස්ත්‍රීත්වය හා පුරුෂත්වය කේන්ද්‍රකොට දෙපාර්ශ්වය විසින්ම විවිධ නොසැළකිලි සහ පරිභව කිරීම් ආදිය තවමත් ලොව සිදුවේ. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම මුහුණ දෙන ගැටලු පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය අවධානය යොමු කරයි. එකිනෙකා කෙරෙහි අන්‍යෝන්‍ය අවබෝධය ලබාගැනීම අන්‍යෝන්‍ය ගරුත්වය දියුණු කර ගැනීමට ඉවහල් වේ. අද ලිපිය ඒ සඳහා ඔබට බොහෝ දුරට උපකාරී වනු ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙය
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳ නිසි අවබෝධයක් සපයයි. ලිංග භේදය අස්වාභාවික දෙයක් නොවේ. ඊට සමාජයේ ගැහැනු, පිරිමි, යන සියල්ලෝම ඇතුළත් වෙයි. එසේම දෙපාර්ශ්වයම වැඩිහිටියන් බවට පත්වීමේදී සමාජ සම්මතයන්, හැසිරීම්, එකිනෙකා සමග සබඳතා ආදිය ඇතුළත් වේ. ලිංගභේදය සමාජ නිර්මිතයක් ලෙස සමාජයෙන් සමාජයට මෙන්ම කාලයෙන් කාලයටද වෙනස් වේ. සමාජයේ ලිංගභේදය පදනම් කරගත් ධූරාවලියක් ඇතිවන අතර එය සමාජ හා ආර්ථික තත්ත්ව සමග ගැටෙන අසමානතා නිෂ්පාදනය කරයි.
ජනවාර්ගිකත්වය, සමාජ-ආර්ථික තත්ත්වය, වයස, භූගෝලීය පිහිටීම, සමලිංගික, විෂමලිංගික ආදී ලිංගික ආකර්ෂණය සබැඳි කරුණු ආදිය මේ අසමානතායි. වර්ණ දේහ, හෝමෝන, ප්‍රජනක අවයව ආදී විවිධ ජීව හා භෞතික විද්‍යාත්මක සාධක මෙසේ ස්ත්‍රී පුරුෂ භාවය හා අන්තර්ක්‍රියා සිදුකරයි. ඇත්ත වශයෙන්ම ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය යනු පුද්ගලයාගේ ලිංගභේදය පිළිබඳ ගැඹුරින් දැනෙන, උපතේදී තීරණය වන, අභ්‍යන්තර හා තනි පුද්ගල අත්දැකීමක් බව එය සරලව හා හාස්යාත්මකව සලකන අය අවබෝධ කරගත යුතුය.
සෞඛ්‍ය සේවාවල කාර්යභාරය
ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය සේවාවල කාර්යභාරය කෙරෙහිද අවධානය යොමුකරයි. ලිංග භේදය සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශ වීමේදී බාධා පමුණුවයි. සෞඛ්‍ය සේවා සංවිධානය කරන ආකාරය, ඒවා සපයන ආකාරය, සෞඛ්‍ය සේවා තොරතුරු, සහාය සේවාවාන් ආදිය ඒවා කෙරෙහි පුද්ගල ප්‍රවේශය සක්‍රිය කිරීමට හෝ අක්‍රිය කිරීමට හේතුවෙයි.
යහපැවැත්ම අනතුරේ
විශේෂයෙන්ම කාන්තාවන් සහ ගැහැනු ළමයින්ට කෙරෙන අසමාන සැලකීම සහ වෙනස්කම් මගින් ඔවුන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම අනතුරේ හෙළයි. සෞඛ්‍ය සේවා සහ තොරතුරු සේවා සඳහා ප්‍රවේශ වීමේදී පිරිමින්ට වඩා ඔවුන්ට ඇති බාධක වැඩිය. පුද්ගල හෝ යාන්ත්‍රික ආධාර වැනි සංචලන සීමා තිබීම, තීරණ ගැනීමේ බලය සඳහා ප්‍රවේශය නොමැතිවීම, අඩු සාක්ෂරතා අනුපාත, සමාජයේ සහ සෞඛ්‍ය සේවා සපයන්නන්ගේ සහ සෞඛ්‍ය පද්ධති, කාන්තාවන්ගේ නිශ්චිත ප්‍රශ්න සහ කාන්තාවන්ගේ සහ ගැහැනු ළමයින්ගේ අභියෝග පිළිබඳ පුහුණුවක් ලබා මනා ලෙස සම්බන්ධිකරණය නොවීම කාන්තා සෞඛ්‍ය අවධානමට ලක්කරයි.
කාන්තාවන් අත්විඳින ප්‍රතිවිපාක
සෞඛ්‍ය සේවාවේ අඩුපාඩු සහ සමාජයේ වැරදි ආකල්ප නිසා කාන්තාවෝ පීඩා විඳිති. අනපේක්ෂිත ගැබ්ගැනීම්, ගැබ්ගෙල පිළිකා, මන්දපෝෂණය, ඇස් පෙනීම අඩුවීම, ශ්වසන ආසාදන, වැඩිහිටි අපයෝජනය මේවා අතර වෙයි. මේවාට වයස් භේදයක් නැත. ස්ත්‍රී පුරුෂ සමාජ අසමානත්වය මුල්කර නිල නොවන ප්‍රචණ්ඩත්වයකට කාන්තාවෝ සහ ගැහැණු ළමෝ මුහුණ දෙති.
ලිංගික අවයවවලට හානි කිරීම, ළමා සහ බලහත්කාර විවාහ හා අපයෝජන සිදුවේ. ලෝක සෞඛ්‍ය සංවිධාන සංඛ්‍යාලේඛන අනුව ලොව පුරා කාන්තාවන් 3 දෙනෙකුගෙන් 1 අයෙකු තම සහකරු හෝ වෙනත් අයකු වෙතින් ලිංගික හිංසනය අත්විඳියි.
හානිකර පුරුෂ සම්මතයන්
පුරුෂභාවය පිළිබඳ දැඩි සංකල්ප පිරිමි ළමයින්ගේ සහ පුරුෂයින්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්මට හානිකරයි. පුරුෂාධිපත්‍ය පිළිබඳ නිශ්චිත සංකල්ප, දුම්පානය ගැන ආකල්ප, ලිංගික සහ වෙනත් සෞඛ්‍ය අවදානම් ගැනීමේ පෙළඹවීම්, සෞඛ්‍ය උපදෙස් නොතකා හරිමින් මත්පැන් සහ ලිංගික සහ සෞඛ්‍ය අවදානම් සහ ප්රචණ්ඩත්වය මේ සමාජ බලපෑම් මත සිදුවේ.
වෙනස් ලිංග භේද
වෙනස් ලිංගික පිහිටීම් ඇති අයද සමාජ සම්මතයන් නිසා ප්රචණ්ඩත්වය සහ අපහාසවලට ගොදුරුවීමෙන් මානසිකව පිරිහේ. මෙම දැඩි සමාජ සම්මතයන් ඔවුන් කෙරෙහි සෘණාත්මකව බලපාමින් එච්. අයි. වී වෛරසයට ගොදුරු වීම, සියදිවි නසා ගැනීම ඇතුළු අහිතකර තත්ත්වයන්ද ඇතිවේ.
(https://www.who.int/ ඇසුරෙන්)
සුනිල් අල්ගම ✍️