අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමි
අපි මේ සමරන්නෙ 76 වැනි නිදහස. ඒත් ඇත්තටම ලංකාවට නිදහසක් ලැබුණද කියන ප්‍රශ්නෙ අපිට එදත්, අදත්, හෙටත් තියෙනවා. ගෙදර කූඩුවෙ ඇති කරන ගිරවා හොයන්නෙත්, සත්ව උද්‍යානයක හිර වෙලා ඉන්න සිංහයා හොයන්නෙත් මේ කියන එකම නිදහස. ඒත් මේ පාර නිදහස් තේමාවෙන් නවලිය කවරය සැරසෙන්නෙ ටිකක් වෙනස් විදිහකට.
උන්වහන්සේ නිදහස්, නිවහල් ළදරු අධ්‍යාපන ක්‍රමයක් ලංකාවට හඳුන්වලා දෙන්න උර දුන් හිමිනමක් වගේම තමන් උපන් රටට කළ හැකි උපරිම දේ කරන්නට පසුබට නොවූ අයෙක්. මේ වනවිටත් බානගල නාහිමියන් ජපානයේ සවාරා ලංකාජි විහාරයේ ප්‍රධාන සංඝනායක ලෙසත්, ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සාංචි චේතියගිරි විහාරයේ විහාරාධිපති ලෙසත්, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ලෙසත්, යොෂිඩා අධ්‍යාපනික හා සමාජසේවා පදනමේ ආරම්භක සභාපති ලෙසත් කටයුතු කරගෙන යනවා.
හාමුදුරුවනේ අපි කැමතියි මේ සාකච්ඡාව ඔබවහන්සේගේ ගිහි ජීවිතයෙන්ම පටන්ගන්න…
මම ඉපදුණේ 1950 ජනවාරි 05 වැනිදා. පුංචි කාලේ හැදුණෙ වැඩුණෙ බානගල කියන ඉතාම දුෂ්කර ගමේ. ඒ වගේම අද මම හිතන හැටියට ළදරු පාසලක ඉන්න ළමයෙක් කතා කරන විලාසය, ඒ ළමයට තියෙන දැනුම අපි ළමා වයස පහුකරලා අවුරුදු ගණනාවක් ගිහින්වත් අපිට ලැබුණේ නෑ. අපි අපේ වයසෙදි දැකපු දේවල් තිබුණා. නමුත් අපේ ළමා මනස විකසිත වෙන්න අපිට යමක් ඒ කාලෙදි ලැබුණෙ නෑ. අපිත් එක්ක සංසන්දනය කරනකොට අද ළදරු පාසලක ළමයි එදා අපේ කාලෙට වඩා හුඟක් දියුණුයි. ඉතින් මගේ මූලික පදනම එච්චර සාර්ථක නෑ.
නමුත් පෙර පිනකට වෙන්න ඇති මට මේ රටෙන් පිටවෙලා ගිහින් අධ්‍යාපනය ලබන්න පුළුවන් වුණා. ඒ තුළින් තමයි මම අලුත් ලෝකය දැක්කෙ. එදා මම ලබපු අධ්‍යාපන ක්‍රමයත් එක්ක ලංකාවෙ හිටියනම් යාන්තන් බත් ටිකක් කාලා බඩ පුරවගෙන විතරක් ඉන්න තිබුණා. මට කියන්න පුළුවන් මට තිබුණේ කටුක ළමා කාලයක් කියල තමයි. ඒ නිසා මම දැන් මහන්සි ගන්නවා මම ලබපු කටුක අත්දැකීම් නැතුව හොඳ දැනුමක් ඇති ළමා පරපුරක් හදන්න. ඒ නිසාම තමයි මම මේ ළදරු පාසල් පද්ධතියට අතගැහුවේ.
ඒ කියන්නෙ ලංකාවට නිදහස ලැබිලා අවුරුදු 2 කින් ඔබවහන්සේ ඉපදෙන්නේ. අද තියෙන නිදහස මොන විදිහටද ඔබට දැනෙන්නේ?
නිදහස කියන්නෙ රටක් විදිහට මිනිස්සු දියුණු වීමක්. සපුගස්කන්දෙ වාඩි වෙලා ජපානෙ වෙන දේවල් බලන්න පුළුවන් තාක්ෂණයක් අද අපිට තියෙනවා. නමුත් එදා ලෝකෙ වෙන මුකුත් දන්නෙ නෑ. ඇහැට පේන දුර ප්‍රමාණය ගැන විතරයි දැනුමක් තිබ්බේ. ඔය තාක්ෂණය නිසාම අද මිනිස්සුන්ගේ කැළඹීමත් වැඩියි. එදා රට ඇතුළේ මේ තරම් ගැටුම්කාරී වාතාවරණයක් තිබුණෙ නෑ. බොහොම සාමකාමී නිදහසක් අපි බුක්ති වින්දා. මම නම් නිදහසේ හොඳ සහ නරක පැති දෙකම දකිනවා.
ඔබවහන්සේගේ දෙමාපියන් කවුද? මොනවද කළේ?
මගේ අම්මා, තාත්තා ගමේ සාමාන්‍ය මිනිස්සු දෙන්නෙක්. අපේ ගම පුරාම තිබුණෙ තේ වතු. තාත්තා තේ වතු පාලකයෙක් හැටියට තමයි වැඩ කළේ. අම්මා ගෙදර වැඩ ටික කරගෙන හිටියා. මගේ දෙමාපියෝ ලොකු අධ්‍යාපනයක් ලබපු අය නෙවෙයි. මගේ තාත්තා ඉගෙනගෙන තිබුණේ 5 ශ්‍රේණියට වෙනකල් විතරයි. ඒත් ඔහුට හොඳ සමාජීය දැනුමක් තිබුණා.
ගිහි ජීවිතෙන් පැවිදි ජීවිතේට ඇතුළත් වුණේ වයස කීයෙදිද?
සාමාන්‍යයෙන් දැන් ලංකාවේ හුඟක් දුරට පොඩි ළමයි අවුරුදු 8 – 9 වෙද්දි පැවැදි වෙනවනෙ. නමුත් මම අවුරුදු 12 දි පන්සලට ඇතුළත් වුණත් පැවිදි වෙන්න පුළුවන් වුණේ අවුරුදු 17 දි. මොකද පැවිදි වෙන්න කලින් මම මගේ අධ්‍යාපන කටයුතු අවසන් කළ යුතුව තිබුණා. ඒ නිසා මම මගේ උසස් අධ්‍යාපනය පන්සලේ ඉඳගෙනම හැදෑරුවා. උසස් අධ්‍යාපනයෙන් පස්සෙ තමයි මට පැවිදි වෙන්න සිද්ධ වුණේ.
ඇයි මහණ දම් පුරන්න හිතුණෙ?
ඇත්තටම ළදරු පාසල් යන දරුවෙක්ව අම්මා ඇඳුම්, සපත්තු අන්දවලා යං කියලා එක්කන් යනකොට ළමයා දන්නෙ නෑ එයාව කොහෙද එක්කන් යන්නෙ කියලා. ඒත් ළමයා ආසාවෙන් එනවා. ආවට පස්සෙ එයා සන්තෝසෙන් අනිත් යාළුවො එක්ක සෙල්ලම් කරමින් ඉන්නවා. ඒ වගේ මමත් දන්නෙම නැතුව පන්සලට ආවා. පැවිදි භාවයට පත්වුණා. මම ඒ ගැන කලකිරුණෙ නෑ. සිවුර දරන් ඉන්න බෑ කියලා හිතුණෙත් නෑ. එදා වගේම පැවිදි ජීවිතේ අදටත් මම සතුටින් ඉන්නෙ සිවුර හැරදා නොගිය නිසා.
පහුගිය දවස්වල බුද්ධ දර්ශනයට පහර ගසන බොහෝ දේවල් ලංකාවේ සිද්ධ වුණා. බෝධිසත්වයෝ පවා බිහිවුණා. ඒ ගැන ඔබවහන්සේ දරණ මතය මොකද්ද?
මම සාමාන්‍යයෙන් මගේ පාර දෙපැත්තෙ තියෙන දේවල් ගැන අවධානය යොමු කරන කෙනෙක් මිසක් අනුන්ගෙ පාරවල් දෙපැත්තෙ තියෙන දේවල් අදාළ කරගන්නෙ නැති කෙනෙක්. ඒවා ගැන මට කිසිම උනන්දුවක් නෑ. කොටින්ම මම ඒවා හොඳයි, නරකයි කියන්නවත් යන්නෙ නෑ. ඔයා ඔය අහපු ප්‍රශ්නෙම හුඟ දෙනෙක් මගෙන් අහලා තියෙනවා. මම එයාලටත් දීපු උත්තරේ තමයි මට ඒ දේ අදාළ නෑ කියන එක. මම වැඩ කරගෙන යන්නෙ මම දන්න විෂය පථය ඇතුළෙ විතරයි. කවුරුහරි අවලෝකිතේෂ්වර වුණයි කියලා හෝ බුදු වෙන්න යනවයි කියලා හෝ මට ඒකට කියන්න දෙයක් නෑ. මට කරන්න පුළුවන් යටි හිතෙන් හිනාවෙන එක විතරයි.
නමුත් මේ දේවල් නිසා ඇත්තටම ඔබවහන්සේට ආගම ගැන කලකිරීමක් නැද්ද?
ඒක ඇවිල්ලා එක්තරා ජවනිකාවක් විතරයි. එක එක අය ඇවිත් එක එක ජවනිකා කළාට බුදු දහම කවදාවත් නැතිවෙන්නෙ නෑ. ඕකෙන් වෙන්නෙ එක්තරා සුළු පිරිසක් මංමුලාවීමක් විතරයි. හුඟක් අය කියනවනෙ බුදු හාමුදුරුවො බුදු වුණේ ලංකාවේ, ඉපදුණේ ලංකාවෙ කියලා. ඒවා එක එක්කෙනා හිතන පතන විදිහ. අපි දන්න ඉතිහාසයේ හැටියට අශෝක රජතුමා ඉන්දියාවෙ අසූහාරදාහක් වෙහෙර විහාර හැදුවා. හැබැයි එතුමා එක විහාරයක්වත් ලංකාවේ හදලා නෑ.
එතුමා ඉන්දියාවේ හදපු වෙහෙර විහාර හැම එකකම අශෝක ස්ථම්භයක් හැදුවා. ඒ අශෝක ස්ථම්භවල ලියලා තියෙනවා බුදුහාමුදුරුවන්ගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම ගැන. හැබැයි කොහෙවත් කියල නෑ බුදුහාමුදුරුවො නුවර ඉපදුණා, බානගල ඉපදුණා කියලා. මම ඕක කිව්වෙ උදාහරණෙකට. ඉතින් මට අවශ්‍යතාවයක් නෑ බුදු දහම ගැන වැරදි දේවල් ඉදිරිපත් කරන අයව නිවැරදි කර කර ඉන්න. මොකද විවේචනාත්මක දේවල් එක්ක පැටලිලා අපේ වටිනා කාලය නැතිකරගන්න මම කැමති නෑ.
කාලෙකට ඉහතදී ඔබවහන්සේට ශල්‍යකර්මයක් සිද්ධ කළා නේද? දැන් කොහොමද සෞඛ්‍ය තත්ත්වය?
සෞඛ්‍ය තත්ත්වයනම් දැන් හොඳයි. නමුත් මතකය ටිකක් අඩුවීමක් තියෙනවා. ඉස්සර වගේ නෙවේ. දෙපාරක් මතක් කරන්න ඕනෙ දේවල් ගැන. ඒක ඉතින් මේ වයසට සාමාන්‍ය දෙයක් වෙන්න ඇති. දැන් අවුරුදු 74 ක්නෙ. කාලයක් යද්දි ෆෝන් එකෙත් බැටරිය සවුත්තු වෙනව වගේ වයසට යද්දි අපේ බැටරියත් බැහැගෙන යනවා. තව කාලයක් ඉන්න බැට්‍රි චාර්ජ් කරගන්න ඕනෙ. මනුස්සයෙක්ගෙ බැට්‍රි චාර්ජ් වෙන්නෙ විවේකීව, නිදහසේ ටිකක් හිටියොත් තමයි.
වැඩියෙන්ම වැඩ වාසය කරන්නෙ ලංකාවෙන් පිටද?
ඉස්සරනම් වැඩිපුරම හිටියෙ ජපානෙ. මට වෙනම පන්සලකුත් එහේ තියෙනවා. ජපානෙ ඉන්නත් කලින් මම වැඩිපුර හිටියෙ ඉන්දියාවෙ. නමුත් මේ වෙද්දි ලෝකෙ විවිධ රටවල ආගමික නායකයන් එක්ක කෙරෙන සම්මන්ත්‍රණ නිසා සහ නිතරම ගමනේ යෙදෙන නිසා එක රටකට වෙලා ඉන්න ලැබෙන්නෙ නෑ. මේ සාකච්ඡාව කරනදාට පහුවදාත් මම තායිලන්තයට යනවා.
යොෂිඩා පාසල් ජාලය ආරම්භ කරන්න හේතුව මොකද්ද?
මම අවුරුදු 26 දි ජපානෙට ගියේ. ජපානෙදි මම දැක්කා හරි සන්තෝසෙන් කාලෙ ගතකරන ළමයි ඉන්න ළදරු පාසල්. ලංකාවේ සහ ජපානයේ ළදරු පාසල් අතරේ විශාල පරතරයක් තිබුණා. හරියටම කියනවනම් ජපානේ තිබුණ ළදරු පාසල වලව්වක්, ලංකාවේ ළදරු පාසල පැල්පතක් වගේ මම දැක්කා. මට හිතුණා ජපානෙ දරුවො විඳින සතුට, දැනුම, දියුණු අධ්‍යාපන රටාව අපට නැති වෙන්න අපි මොකද්ද කරපු පව කියලා. එතනින් පස්සෙ තමයි මගේ දුප්පත් රටටත් මේ දියුණු ක්‍රමවේදය හඳුන්වා දෙන්න ඕනෙයි කියන හැඟීම මට ආවේ. හරියටම කිව්වොත් ඒක තණ්හාවක් වගේ. පස්සෙ මම ජපානේ අධ්‍යාපන ක්‍රමය ගැන අවුරුදු 2 ක් ඉගෙනගත්තා. ඒ විදිහට තමයි 1979 පළවෙනි ජපන් ළදරු පාසල හැටියට යොෂිඩා ජාත්‍යන්තර ළදරු පාසල ලංකාවේ ඇති කළේ.
ජපන් විෂය නිර්දේශයන්ට අනූකූලවමද යොෂිඩා පාසලේ වැඩ කෙරෙන්නෙත්?
ඔව්. පටන්ගත්තු කාලේ ජපානයෙන් ආපු ගුරුවරු නිරන්තරයෙන් මෙහේ හිටියා. නමුත් ඔවුන්ව හැමදාම ගෙනල්ලා තියාගන්න බැරි නිසා පසුකාලීනව අපි අපේ ගුරුවරුන් ජපානෙට යවලා පුහුණු කෙරෙව්වා. ඒ නිසා ජපානයේ යන පිළිවෙළට තමයි මේ පාසලත් ක්‍රියාත්මක වෙන්නෙ. මම හිතුවා මේ දරුවන්ට ශක්තිමත් අත්තිවාරමක් දැම්මොත් ඒ තුළින් හොඳ ගොඩනැගිල්ලක් ඔවුන්ට හදාගන්න පුළුවන් වෙයි කියලා.
මේ පුංචි දරුවන්ගෙන් මොන වගේ ආදරයක්ද ඔබ වහන්සේට ලැබෙන්නෙ?
ඒ ආදරේ නිසාම තමයි තවතවත් කැපවීමෙන් මම මේ පාසල කරගෙන යන්නෙ. මොකද පුංචි දරුවො හරියට සුදු කඩදාසියක් වගේ. ඒ කොළවල කුණු ගෑවිලා නෑ. බොරු දේවල් මවාපාන්නෙ නෑ. ජීවිතේ හොඳම කාලයත් ළමා කාලයනෙ. ඉතින් මේ පුංචි දරුවන්ගෙ ආදරේ මට හරියට වටිනවා.
ජීවිතේ දිහා ආපස්සට හැරිලා බැලුවොත්…
අද දවස ගත්තොත් මගේ ගම බානගල වුණාට, ගමේ විදුලිය, පාරවල් නොතිබුණාට, ගමේ රාජකීය පාසල් නොතිබුණාට පරිසරය තුළින් මම ඒ හැම අත්දැකීමක්ම ලැබුවා. හැමදේම ඉතාමත්ම සාර්ථකයි. කිසිම දවසක, කිසිම මොහොතක මම හිතන්නෙ නෑ අයියෝ මට අරක කරන්න බැරි වුණානෙ මේක කරන්න බැරි වුණානෙ කියලා. හරිම තෘප්තිමත් ජීවිතයක් මං අද ගතකරන්නෙ. ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි කළුවරක් නෙවෙයි මට පේන්නෙ. හරිම දීප්තිමත්ව ඉර පායපු දවසක්.
එරංදි කෞෂල්‍යා ✍️