සමාජයට සේවයක් කිරීමේදී පෙරමුණ ගන්නා පුද්ගලයා තරම් සමාජයෙන් දොස් අහන චරිතයක් තවත් නැහැ. එය ඉතා සාමාන්‍යයි. කොටින්ම අප දන්නා අන්දමට ගස් ගල් පවා වදින්නේ ඵල ඇති රුකටයි. එසේ නම් සමාජ බොහෝ අවස්ථාවල සමාජ සේවයේ යෙදෙන විට සමාජ සේවකයා දොස් අහන්නේ අසත්පුරුෂ ගති පැවැතුම් ඇති පුද්ගලයන්ගෙන් බවත් නොකියාම බැහැ.
සමාජ සේවකයා යනු
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම රහත් සැට නමට ලබා දුන් අවවාදය මේ අවස්ථාවේදී සිහිපත් කරමු.චරථ භික්ඛවේ චාරිකං, බහුජනහිතාය බහුජන සුඛා – අත්ථාය හිතාය මහණෙනි, බොහෝ ජනයාගේ හිත සුව පිණිස ධර්ම ප්‍රචාරණයේ යෙදෙන්න. එකමගක දෙදෙනෙක් නොයන්න.ප්‍රාග් බෞද්ධ සමාජය අන්ධකාර ලෝකයට වෙලී පැටලී සිටින යුගයක බුදුරජාණන් වහන්සේ තමාද මිදී අනුන්ද මෙම අන්ධකාර ලෝකයෙන් මුදා ගන්නා “මුත්තොහං මොචයෙ චරෙ” කාරුණික අධිෂ්ඨානය ගොඩනගා ගත්හ. බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක්ම ධර්මය දේශනා කරනු ලැබුවේ ලෝකයාගේ හිත සුව පිණිසය. එතැනින් ඔබ්බට තවත් කරුණු අවශ්‍ය නැත. සැබෑ සමාජ සේවකයා යනු සමාජයට හිත සුව පිණිස කටයුතු කිරීමේ අභිප්‍රේරණය තමාගේම සිත තුළ ගොඩනගා ගත් චරිතයක්ම බැව් කිව යුතුය.
සමාජ සේවයේදී චෝදනා නැගීම
යම් පුද්ගලයෙක් අනුන්ගේ හිත සුව පිණිස යම් සමාජ සත් කාර්යක යෙදෙන විට ඒ වෙනුවෙන් වූ විවිධ චෝදනාවන් නගන්නට යොමු වුණ තවත් පිරිසක් සමාජය තුළින්ම බිහි වෙනවා. එය අද දවසට පමණක් සීමා වූවක් නොවේ. කුහක සිත් ඇති පුද්ගලයන් තවත් පුද්ගලයෙකුට ප්‍රශංසාවක්, වටිනාකමක් ඇගයීමක් ලැබෙන කල්හි එය රුස්සන්නේද නැත. ඒ නිසා අදාළ කාර්යය මුල් කරගෙන විවිධ අන්දමින් තමන්ගේ විවේචනය සාධාරණ කරමින් සමාජ සේවකයාට අසාධාරණ ලෙසින් චෝදනා නගනවා.
බුදුදහම තුළ සමාජ සේවය
සමාජ සේවය පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන මඝ මානවක පරමාදර්ශි චරිතයක් ඔබ මේ කතාව බොහෝ විට අසා ඇති. තමා ජීවත්වන ග්‍රාමයේ ජීවත්වීමට අවශ්‍ය මූලික පහසුකම් පවා නොමැතිව දුෂ්කර ජීවිතයක් ගත කරන ගම් වැසියන් වෙනුවෙන් අනුකම්පා සිත් ඇති “මඝ” නැමැති තරුණයෙක් මේ දුෂ්කර ගම දියුණු කරන්න සිතුවා. ඔහු තමාගේ සම වයස් මිතුරන්ද සමග එක් වී පාරවල් කපා හෙලි පෙහළි කොට ඒවායේ කාණු කපා වතුර බැසීමට සලස්වා පාර මඩ වීම වළක්වා ගැනීමට අලංකාර ලෙසින් ගහ, කොළ සිටුවා ප්‍රසන්න ලෙසින් පරිසරය සකස් කළා.
මඝ මානවක විසින් සමාජය ගැන උපන් කරුණාවෙන් මේ කටයුතුවල නිරත වුණත් ගම් මුලාදෑණියාට මෙම මානවකගේ සමාජ සත්කාරයන් ගැන පැහැදීමක් ඇති වුණේ නැහැ. ගම තුළ මෙම තරුණ කණ්ඩායම පිළිබඳව ප්‍රසාදය ඇති වන නිසා ඊර්ශ්‍යා සිත් ඇති ඔහු මේ ගැන රජතුමාට පැමිණිලි කළා.
මඝ මානවකයන්ගේ සමාජ සත්කාරය රාජද්‍රෝහී ක්‍රියාවක් තරමටම බරපතළ ලෙසින් රජතුමාට සැල කළා. අනාගතයේදී රාජ්‍යත්වය භාර ගැනීමට සිදු කරනු ලබන කුමන්ත්‍රණයක පෙර හුරුවක් ලෙසින් ඔවුන් මෙම ග්‍රාම සංවර්ධන කටයුතුවල යෙදෙන බැව් ගම් මුලාදෑණියා විසින් රජතුමාට කරුණු පැහැදිළි කළා.
ගම් මුලාදෑණියාගේ පැමිණිල්ල විභාග කිරීමේදී රජතුමා මෙම රමණීය පරිසරය දැක මහත් සේ සතුටට පත් වුණා. මෙම කටයුතු අඛණ්ඩව කරගෙන යන ලෙසට මඝ මානවකට දන්වා සිටියා. සමාජ සත්කාර්යන්හි ආනිශංස ඔහු මෙලොවදීම ලබා ගත්තා. එතැනින් පටන් ඔහු සමග සමාජ සත්කාර කටයුතුවල යෙදුන තවත් ප්‍රජා නායකයින් තිදස් තුන් දෙනෙක් මරණයෙන් පසුව “තව්තිසා දිව්‍ය ලෝකයේ ” උපන්නා. එහි නායකත්වයට පත් ශක්‍ර දේවේන්ද්‍රයා අදටත් බෞද්ධයන්ගේ පූජා උපහාර ලබනවා.
ශක්‍ර දෙවියන්ගේ අනන්‍යතාවය
බෞද්ධයන් වන අප නිතරම ශක්‍ර දෙවියන් ගැන කතා පුවත් අසා තිබෙනවා. ඒ හැම අවස්ථාවකදී ශක්‍ර දෙවියන්ගේ අනන්‍යතාවය ඇත්තේ දුකට පත් හෝ අසරණතාවයට පත් පුද්ගලයන් වෙනුවෙන් අනුකම්පාවෙන් පිහිට වීමයි. සක්දෙවියන්ගේ පඬුපුල් ආසනය මෙවැනි අවස්ථාවන්හි උණු වෙන බවට වූ කතා පුවත් බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙනවා. ඒ හැම සිදුවීමක් තුළින්ම ඉස්මතු කරනුයේ ශක්‍ර දේවත්වයට පත් වීමට තරමටම සමාජ සේවයේ යෙදීමෙන් ලත් ආනිශංස අති විශිෂ්ට බවයි.
සමාජ සේවයේ යෙදෙන්නන්ගේ සිත පිරිසිදුයි
සමාජ සේවයේ යෙදෙන පුද්ගලයාගේ සිත නිරන්තරව මෛත්‍රියෙන් පිරී ඇත. හිතේ කරුණාවක් නොමැති නම් තව කෙනෙකු වෙනුවෙන් පිහිට විය නොහැක. ඔහු කටයුතු කරන්නේ අද දවස වෙනුවෙන් නොව උදාවන හෙට දවස වෙනුවෙන්ය. ඒ හෙට දවසේ ප්‍රතිඵල ලබනන්ට සමහර විට ඒ පුද්ගලයා ජීවත් නොවනු ඇත. නමුත් එවැනි ආකල්ප මත පිහිටා සමාජ සේවකයෙක් කටයුතු නොකරයි.
මට නොමැති වුවත් කවුරුන් හෝ අනාගතයේදී මේ ගහේ, මේ නිවසේ මේ ආරන්‍යයේ සුවසේ ගෙවනු ඇත. එවැනි මෛත්‍රියකින් පිරුණ සිතකින් ඔහු කටයුතු කරනු ඇත. සමාජ සේවකයා මුළු ලෝකයම තමාගේ මිතුරන් සේ සිතනු ඇත. “උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං” උඩ, යට, දිග, හරහා සිටින හැම දිශාගතවම ඔහුට ඇත්තේ මිතුරන්ය.
අනුන්ගේ දියුණුව දැකීම
සමාජ සේවකයා අනුන්ගේ දියුණුව අපේක්ෂා කරන සත්ගුණවත් චරිතයකි. රාජ්‍ය පාලනයේදී පවා සමාජ සේවය අගයන චරිතයක් පත් වූ විට ජනතාව සුඛිත මුදිත තත්ත්වයට පත් වෙනු ඇත. කුටදත්ත සුත්‍රයට අනුව කාරුණික සමාජ සේවකයා ජනතාවගේ ආහාර පාන වැනි මූලික අවශ්‍යතාවයන් සපුරමින් ඔවුන්ට කෘෂිකර්මාන්තය, වාණිජ හෝ වෙනත් ශිල්ප කර්මාන්තයන්හි නිරත වීමට අවස්ථාව සලසා දෙන චරිතයකි. ඒ වගේම සාමාන්‍ය පුද්ගලයෙක් වුණත් ඔහු ආරාම, වනෝද්‍යාන, ඉදිකිරීම් වැනි කටයුතුවල නිරත වන්නේ නම් එය සියල්ල දීමකි. (සොච සබ්බ දදො හොති- යො දදාති උපස්සායං)
සමාජ සේවකයා මුදිතා ගුණයේ සංකේතයයි
තමා විසින් ඉටු කරනු ලබන සමාජ සේවය නිසා සතුටට පත් විය හැකි සිතක් ඇත්තේ නම් ඔහු සැබෑම සමාජ සේවකයෙකි. අනුන් සුවපත් වෙනු දැක සතුටු වෙන මුදිතා ගුණය එයයි. අනුන් වෙනුවෙන් කැපවීම පමණක් නොව, ඒ කැපවීම වෙනුවෙන් කාලය, ධනය වියදම් කිරීමට හැකියාව ලැබෙන්නේ සමාජ සේවකයා සතුව ඇති මුදිතා ගුණය නිසාය.
බෞද්ධ ආචාර ධර්මයන්ට අනුව “එකො භුඥ්ඤෙණ සාධුනි” යමක් තනියම පරිභෝජනය කරන්නා වසලයකි. සැබෑ සතුටක් ලැබෙන්නේ බෙදා හදාගෙන සහයෝගයෙන් කටයුතු කිරීමෙන් (දත්වාච භුත්වාච) බැව් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. ඔබ මුදල් උපයා ගැනීමේ ප්‍රයෝජනය වන්නේද ඔබ පමණක් රක්ෂා වීම නොව බාහිර සමාජයද සුවපත් කිරීමයි.
ශාස්ත්‍රපති, මනෝ උපදේශක
ආචාර්ය පූජ්‍ය බදුල්ලේ විජයතිලක ස්වාමින්වහන්සේ
ගෞතම ආරණ්‍යසේනාසනාධිපති
ශ්‍රී පඤ්ඤානන්ද මහ පිරිවෙන
එගොඩවත්ත, බොරැස්සගමුව
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️