කාලයත් සමග ලෝකය වෙනස් වෙනවා. මේ වෙනස්වීම අපේ ජන ජීවිතයට වගේම කෘෂිකර්මාන්තයටත් ආදේශවීම සාමාන්‍ය සිදුවීමක්. තාක්ෂණයේ වෙනස්වීම් අනුව අප ඒවාට අනුගත වීමත් අවශ්‍යයි. කැත්ත, උදැල්ල වෙනුවට නව මාදිලියේ උපකරණ වැඩ පහසු කරද්දී වගා බිමත් නව තාක්ෂණය අනුව වෙනස් වෙනවා. නමුත් බොහෝ දෙනෙක් කෘෂිකර්මාන්තයේදී නව තාක්ෂණයට යොමු වෙන්න බියක් දක්වනවා. මේ නව ක්‍රමවලට යන වියදම අධිකයි. පාඩුවක් වුණොත් සේරම වතුරේ. අපට අලුත් ක්‍රම ගැන දැනුමක් නැහැ. මේ අන්දමින් සෘණාත්මක සිතමින් තවමත් සම්ප්‍රදායික ගොවිතැන අවදානම දරා ගෙනම තව දුරටත් සිදු කරන ගොවි මහතුන් සිටිනවා. නමුත් බදුල්ල දිස්ත්‍රික්කයේ කැප්පෙටිපොල පදිංචි එල්. ඒ. එල් සුමතිපාල නව තාක්ෂණය තමන්ගේ ගොවිබිමට යොදා ගැනීමට බිය වුණේ නැහැ. ඒ නිසාම කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය ඉතා සාර්ථකව යොදා ගැනීමට ඔහුට හැකියාවක් ලැබුණා. අද වන විට සුමතිපාල සාර්ථක ගොවියෙක්. පොලිටනල් ගෘහයක වගා කරන ඔහු ගැනයි මේ...
මම අධ්‍යාපනය ලැබුවේ කැප්පෙටිපොළ මහා විද්‍යාලයේ.අපේ පළාත කෘෂිකර්මාන්තයෙන්ම ජීවත්වන ප්‍රදේශයක්. පාසල් අධ්‍යාපනයෙන් පසුව රෝස පැළ තවානක් පටන් ගත්තා. ඒක අපේ පළාතට අලුත් දෙයක් නොවෙයි. ඒ වෙන විටත් බොහෝ දෙනෙක් රෝස පැළ තවාන් පවත්වා ගෙන ගියා.පැකට්ටුවක පැළ කරන ලද බද්ධ රෝස පැළ තවානක් මට තියෙනවා. අක්කර කාලක පමණ ඉඩමක මේ තවාන පවත්වා ගෙන යනවා. වර්ග පනහක රෝස පැළ 40,000 ක් පමණ මට තිබෙනවා. පැළයක් අඩි එකහමාරක් පමණ උසට වැඩුනාම අලෙවියට ඉදිරිපත් කරනවා. “නිමාශා පැළ තවාන” නමින් පවත්වාගෙන යන රෝස පැළ ගාල්ල, මාතර, යාපනය වැනි ලංකාවේ විවිධ පළාත්වල අලෙවි වෙනවා.
රෝස පැළ තවානෙන් හයිඩ්‍රොපොනික් වගාවට යොමු වුණේ?
මම පොලිටනල් වගාව වෙනුවෙන් ගෘහයක් සකස් කර ගත්තා. මේ වෙනුවෙන් මට රුපියල් ලක්ෂ අටක් පමණ වැය වුණා. නමුත් මම මුල් වගා අස්වැන්නෙන්ම ඒ මුදල ලබා ගත්තා.
ඔබ පොලිටනල් වගාවට යොමු වුණේ?
පොලිටනල් ගෘහයක වගා කරන විට ආරක්ෂාවක් තිබෙනවා. කාලගුණ තත්ත්වයන් අපට පාලනය කරන්න බැහැ. පහුගිය කන්නයේත් විවෘත වගා බිම්වල වගාවන් හානි වුණා. නමුත් මගේ ගෘහයේ වගාවන්ට කිසිම හානියක් සිද්ධ වුණේ නැහැ. මුලිකව ආයෝජනයක් දරන්න වුණත් අස්වැන්න වගේම වගාවත් සුරක්ෂිත වෙනවා. ඒ වාසිය ලැබෙනවා.
වගාව සිදු කරන අන්දම…
පොලිටනල් ගෘහයක වගා කරද්දී හැම අතින්ම ආරක්ෂාව ලැබෙනවා. වතුර වුණත් ජල බිංදු තාක්ෂණය අනුව ලබා දෙනවා. ඒ නිසා වැස්ස කියලා වතුර වැඩි වෙලා වගාවට හානි වෙන්නෙත් නැහැ. අව්ව පායලා වගා බෝග මැරෙන්නෙත් නැහැ. කොටින්ම අපි පිට පළාතක සිටියත් ජංගම දුරකථනයක් ඔස්සේ ගෘහයට වතුර ලැබෙනවාද? වතුර මදිද වගේ තත්ත්වයන් පාලනය කරන්න හැකියාව තිබෙනවා.
ජල බිංදු තාක්ෂණය සිදු කරන්නේ
විශේෂයෙන් මේ වෙනුවෙන් පිරිසිදු වතුර අවශ්‍ය වෙනවා. ලීටර් 3000 ක් පමණ ජල භාජන තියෙනවා. ඒවාටත් ක්ලෝරීන් යොදා පිරිසිදු කරගත් ජලය වතුර බට දිගේ පැළවලට ලැබෙනවා. එයිනුත් වගාවට ආරක්ෂාව ලැබෙනවා.ඒ වගේම වගාව සිද්ධ වෙන්නේ ආරක්ෂිත ගෘහයක නිසා පළිබෝධයන්නේ හානියක් සිදු වෙන්නෙත් නැහැ. බොහෝ වගාවන්ට පැළ මැක්කා, කුඩිත්තා සහ විවිධ කෘමින්ගෙන් හානි සිදු වෙනවා. ඒ වගේම රිලව්, ඉත්තෑවන්, ඌරන් වගේ සතුන්ගෙන් වගා බිම් පිටින් හානියට පත් වෙනවා. නමුත් පොලිටනල් ගෘහයක වගාවට සම්පූර්ණ ආරක්ෂාව ලැබෙනවා. සතුන්ට ඇතුලු වෙන්න නොහැකි විදිහට ආරක්ෂාව තිබෙනවා.
ඔබේ පොලිටනල් ගෘහයේ වපසරිය
මෙය වර්ග අඩි 1500 ක වපසරියක තිබෙන ගෘහයක්. බිමට ඉටි රෙදි අතුරලා තියෙන්නේ. මුලින්ම බීජ ඇට පැකට්ටුවල පැළ කරනවා. කොහුබත්, කොම්පෝස්ට් මිශ්‍රණයක ඇට තවාන් කරනවා. දින 24 ක් පමණ ගෙවෙන විට ඇට පැළ වෙනවා. පැළ ලොකු වන විට බරට කඩා වැටෙන්න ඉඩ තියෙන නිසා ආධාරක විදිහට ඉටි නූල් විශේෂයකින් පැළය බිම නොවැටී සිටිනන් සවි කර ගන්නවා.
ඔබ තෝරාගත් බෝග
මම දැනට මිරිස් සහ තක්කාලි වගා කරනවා. ඒ හැර බෙල්පෙපර්, නයි මිරිස්, සලාද වගේ බෝග වගා කරන්නත් පුළුවන්. මිරිස්වලින් නම් මාස දෙක හමාරකින් පමණ අස්වැන්න නෙලා ගන්න පුළුවන්. තක්කාලිවලට නම් මාස තුනක් පමණ ගත වෙනවා.
පළමු අස්වැන්න ලබා ගත් පසුව
එක වතාවක අස්වැන්න ලබා ගත්තා කියලා බෝගයේ බාල වීමක් නැහැ. මාස තුනෙන් තුනට අස්වැන්න ලබා ගන්න පුළුවන්. අපේ සම්ප්‍රදායික ගොවිතැනේදී එකම බෝගය නැවත නැවත වගා කරන විට පස නිසරු වෙනවා. නමුත් පොලිටනල් ගෘහයකදී ඒ අවාසිය අපට ඇති වෙන්නේ නැහැ. එකම බෝගය වුණත් නැවත නැවත වගා කරන්න පුළුවන්.
වගා කටයුතු වෙනුවෙන් අවශ්‍ය ශ්‍රමය
පොලිටනල් ගෘහයක වගා කරන විට එතරම් ශ්‍රමයක් අවශ්‍ය නැහැ. වගා බිමට ඉටි රෙදි යොදා ගෙන තිබෙන නිසා වල් පැළ නෙලීමක් නැහැ. පොහොර සහ ජලය පැළය මුලටම ලැබෙනවා. පළිබෝධනාශක යෙදීමක් ඇත්තේත් නැහැ. මේ සියල්ලම පොලිටනල් ගෘහයකින් අපට ලැබෙන වාසි විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා අපේ ගෙදර සාමාජිකයන්ගේ සහයෝගයෙන් වගා ගෘහය පවත්වාගෙන යෑමේ පහසුකම් තිබෙනවා.
අලෙවියට පහසුකම් තිබෙනවාද?
අලෙවියට කිසිම බාධාවක් නැහැ. හොඳ ඉල්ලුමක් තිබෙනවා. සුපිරි වෙළෙඳසැල් ජාලා වෙතින් අපේ අස්වැන්න මිලට ගන්නවා. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. අස්වැන්න තැලෙන්නේ පොඩි වෙන්නෙත් නැහැ. අපට නගරයේ ස්ථිර වෙළෙඳපොළක් තිබෙන නිසා ගබඩා කර ගෙන තබා ගැනීමට වගේම දුර ප්‍රදේශවලට ප්‍රවාහන කිරීම අවශ්‍යත් නැහැ. ඒ හැම අතින්ම අස්වැන්න සුරක්ෂිතයි.
සුපිරි වෙළෙඳසැල්වලින් වගේම සාමාන්‍ය වෙළෙඳපොළ වෙතිනුත් හොඳ ඉල්ලුමක් තිබෙනවා. මේ වගාවට පළිබෝධනාශක යොදන්නේම නැහැ. ඒ වගේම ඇල්බට් දියරය හැර වෙන කිසිම රසායනික පොහොර යෙදීමත් නැහැ. අස්වැන්න නැවුම් විදිහට තබා ගන්නත් පුළුවන්. මේ සියළු වාසි නිසා ඇත්තටම පොලිටනල් ගෘහයක් වෙනුවෙන් ආයෝජනය කරන මුදල ගොවිතැනේ ස්ථාවර වත්කමක් විදිහට සලකන්න පුළුවන්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️