වර්තමාන සමාජය දෙස බැලූ විට අපට දෛනිකව අසන්නට දකින්නට ලැබෙන දරුවන් සම්බන්ධ අපචාර, දූෂණ සහ කලහකාරී ලෙස හැසිරෙන ස්වභාවයන් පිළිබඳව වැඩිපුර විමර්ශනයේදී වෛද්‍යවරු පෙන්වා දෙන්නේ මෙවැනි තත්ත්වයන් ඇතිවීමට බලපානු ලබන ප්‍රධාන සාධකයක් ලෙස පාසල් යන වයසේ පසුවන නව යෞවනයන් සමාජ මාධ්‍යවලට වැඩි වශයෙන් යොමු වී තිබීම හේතුවක් වන බවයි. වයස අවුරුදු දෙකට අඩු දරුවන් පවා විද්‍යුත් තිරවලට ඇබ්බැහිවීම තුළින් පසුකාලීනව ඔවුන්ටද යම් රෝගාබාධ තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදුවන බව ළමා සහ නව යොවුන් මනෝ චිකිත්සක උපදේශකවරු පෙන්වා දෙයි. තවද නව යෞවනේ සිටින දූ දරුවන් සමාජ මාධ්‍ය වැඩි වශයෙන් භාවිත කිරීම තුළින් ඔවුන්ගේ පෞරුෂ වර්ධනයටද එය බලපෑම් එල්ල කර ඇති බවද ඔවුන් පෙන්වා දෙයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැනගැනීමට කරාපිටිය රෝහලේ ළමා හා නව යොවුන් මනෝචිකිත්සක උපදේශක විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි “නවලියට” සම්බන්ධ කරගත්තා.
අවුරුදු දෙකට අඩු දරුවන්ට ජංගම දුරකථන සහ විද්‍යුත් තිර භාවිතයට දීමෙන් ඔවුන්ට වන හානිය පිළිබඳව මුලින්ම අපි කතා කරමු…
රිසර්ච්වලට අනුව සොයාගෙන තියෙනවා වයස අවුරුදු දෙකට අඩු ළමයින් ස්ක්‍රීන් එකක්, එනම් ජංගම දුරකථනයක්, රූපවාහිනියක් වගේ විද්‍යුත් තිරයකට පුරුදු වුණාම එයින් එයාලගේ මොළයේ වර්ධනය සෘණාත්මක ලෙස බලපාන්න පුළුවන් කියලා. ඒ නිසා WHO එකෙනුත් අනුමත කරලා තියෙන්නේ අවුරුදු දෙකට අඩු දරුවන්ට ජංගම දුරකථන හෝ වෙනත් විද්‍යුත් තිර භාවිත කරන්න ලබා දෙන්න එපා කියල. ඒකෙන් ඒ ළමයින්ගෙ බුද්ධිමය කුසලතා සංවර්ධනයට සෘණාත්මක බලපෑමක් ඇතිවෙනවා කියලා තමයි WHO එකෙන් පවා පවසන්නෙ.
මේ කාරණය දරුවන්ගේ පෞරුෂ වර්ධනයට කොතරම් දුරට බලපානවාද?
එය දිගු කාලීනව බලපානවා. දරුවා පරිසරයත් එක්ක ජීවත් වෙන්න ඕනේ. පරිසරයත් එක්ක ජීවත් වෙනකොට අපි කියනවා පරිසරය අධ්‍යයනය කරලා තමයි එයා ඉගෙන ගන්නෙ කියලා. එතකොට දරුවා සෙල්ලම් කරන්නෙ, බාහිර ක්‍රියාකාරකම් කරන්න, සම වයසේ ළමයි සමග එකට ගැවසෙන්න, දුවලා පැනලා ශාරීරික ක්‍රියාවලිවල යෙදෙන්න වගේම පරිසරය දිහා බලාගෙන පරිසරයෙන් දේවල් ඉගෙන ගැනීමත් අවශ්‍ය වෙනව. එහෙම නැතුව ෆෝන් එකක් ඇතුළත ඉන්නකොට දරුවා පරිසරයත් එක්ක තියෙන සම්බන්ධතා සීමිත වෙනව.
දේවල් දෙස බලලා නිරීක්ෂණය කරලා ඉගෙන ගැනීම සීමා වෙනවා. එතකොට සම වයස ළමයින්ව ආශ්‍රයක් නැතුව ෆෝන් එකේ ඉන්නවා. එකෙන් භාෂාව දියුණු වෙන්නේ නැහැ. සම වයසේ ළමයි එක්ක එකට ඉන්න තේරෙන්නෙ නැහැ. දෙයක් බෙදා හදාගන්න තේරෙන්නේ නැහැ. ඒවත් එක්ක පසුකාලීනව මෙම හේතු කාරණා දරුවාගේ පෞරුෂ වර්ධනයට බලපාන්න පුළුවන්.
විද්‍යුත් තිර භාවිතය මගින් පසුකාලීනව දරුවන් තුළින් දකින්නට ලැබෙන අනිසි ප්‍රතිඵලයන් මොනවාද?
විශාදය, කාංසාව, සිවිදිවි හානිකරගැනීමේ සිතුවිලි වගේ දේවල, හැඟීම් පාලනය කර ගැනීමට අපහසු වීම, ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට පත්වීම, Cyber-bullying වගේ දෙයකට දරුවාට මුහුණ පාන්නට සිද්ධ වුණොත් ඒක ඔවුන්ගේ ජීවිත කාලයටම බලපාන්න පුළුවන්. එයින් ආත්මශක්තිය, ආත්ම අභිමානය දුර්වල වීම වැනි කාරණා මෙහි අනිසි ප්‍රතිඵලයන් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්.
වර්තමාන සමාජය දෙස බැලූ විට අපට දරුවන්ව මුදවා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. ඒ සඳහා වැඩිහිටියන් වශයෙන් අප කළ යුත්තේ කුමක්ද?
ඒ වෙනුවෙන් පළමු වගකීම ගෙදරින් ගත යුතුයි. ළමයින්ටත් වගකීමක් තියෙනවා ඔවුනුත් මෙයින් පාලනයකට පැමිණිය යුතුයි කියලා. ඉන්පසුව විශේෂයෙන් පාසල් පද්ධතිය ඇතුළේ ගොඩක් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය යටතේ ළමයි වැඩිපුර ඒකට යොමු වෙන ගතියක් තියෙනවා. ඒ නිසා පාසල් සමාජය තුළින් ළමයින්ට නිසි මඟ පෙන්වා දිය යුතුයි. ඊට පසුව අනිවාර්යයෙන් රජය මගින් නීතිමය පැත්තෙන් ළමයින්ව ආරක්ෂා කර ගැනීමට නීති පද්ධතීන් සකස් කරන්න අවශ්‍යයි.
යෞවන වියට පා තබන දරුවන් ඉතා ආවේගශීලී සහ මුරණ්ඩු ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඒ පිළිබඳ අදහස කුමක්ද?
සීමාවට වඩා ජංගම දුරකථන තිරවල, අන්තර්ජාලයේ ඉන්න දරුවන්ට අනෙක් දරුවන්ට වඩා මානසික ගැටලු ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් තියෙනවා. ඒ නිසා කාංසාව, විෂාදය අන්තර්ජාලයට ඇබ්බැහි වීම සහ සයිබර් අවකාශය තුළ හිරිහැරයට ලක්වීම වගේ අවස්ථා වැඩි වශයෙන් දකින්නට ලැබෙනවා. අනික් කාරණය තමයි ඇත්ත පුද්ගල සම්බන්ධතා නෙවෙයි තියෙන්නේ. ව්‍යාජ පුද්ගල සම්බන්ධතා තමයි තියෙන්නේ. පුද්ගල සම්බන්ධතා සමාජය තුළ ඇත්තටම ඇති වෙන්නේ නැතුව ව්‍යාජ පුද්ගලයින් සමග ඉන්නකොට දරුවන්ගේ සන්නිවේදන කුසලතා දියුණු වෙන්නේ නැහැ.
පෞරුෂ වර්ධනය, ආත්ම ශක්තිය සහ ආත්ම අභිමානය දියුණු වෙන්නේ නැහැ. ගැටලුවක් විසඳන්න තේරෙන්නේ නැහැ. සම වයසේ කෙනෙක් සමග ආශ්‍රය කරන්න, අදහස් බෙදා ගන්න, එතකොට සහකම්පනය එනම් කෙනෙක්ව මනාව තේරුම් ගන්න, මෙන්න මේ වගේ ලක්ෂණ දියුණු වෙන්නෙ නැතුව යනවා. ඒ එක්කම ආවේගශීලී සහ හැඟීම් පාලනය කර ගැනීමේ ගැටලුවක් තියෙනවා. ආවේගශීලි වීඩියෝ ගේම්ස් ඕනවට වැඩිය නැරඹීම තුළිනුත් ආවේගශීලී බව වැඩි වෙලා ඒ දරුවන්ගේ පෞර්ෂත්වය වැඩිපුර ප්‍රචණ්ඩකාරී පැත්තට තමයි නැඹුරු වෙන්නෙ.
මේකට හේතුව තමයි සාමාන්‍යයෙන් අපි නව යොවුන් වියට පා තබන විට කරන ක්‍රියාකාරකම් වලට අනුව අපේ මොළේ ඒ අදාල ක්‍රියාව කරන් කොටස වැඩිපුර ශක්තිමත් වෙනවා. ඒක සාමාන්‍යයෙන් අපි කියනවා වයස අවුරුදු 25 ක් විතර වගේ වෙනකම්ම වෙනවා කියලා. එතකොට අපි වැඩිපුර ආවේගශීලී, කලහකාරී දේවල් නම් වැඩිපුර කරන්නේ එතකොට කලහකාරී, ආවේගශීලී බවට අදාළ මොළයේ කොටස් වැඩිපුර ශක්තිමත් වෙනවා.
ඒ ළමයි වැඩිහිටියන් වුණහමත් වැඩිපුර කලහාකාරී පැත්තට තමයි යන්නේ ඒ වගේම තව දෙයක් තමයි මේ ළමයි අනාරක්ෂිතව අන්තර්ජාලය ඇතුළේ සැරිසැරිමත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ අනවශ්‍ය සම්බන්ධතා ගොඩනැගීම හරහා අනවශ්‍ය ලිංගික හැසිරීම් වලට පවා නව යෞවනයින් යන අවස්ථා තියෙනවා. නිරුවත් ඡායාරූප අරන් ළමයින්ව බ්ලැක්මේල් කරන අවස්ථා තියෙනවා. ඒවා අවසන් වෙන්නෙ සිවිදිවි නසා ගැනීම්, විශාදය වැනි තත්ත්වයන් වලින්.
මේ කාරණාව දෙස බලන කොට පෙනී යන්නේ දෙමාපියන් මේ දේට වගකියන්න ඕනේ කියලා නේද?
ඇත්තෙන්ම ඉපදෙනකොටම දරුවෝ ජංගම දුරකථන අතට අරගෙන ආවෙ නැහැනේ. අපිනෙ දරුවට මේක අතට දීලා හුරු කරන්නේ. එතකොට දෙමාපියෝ විදිහට දැනගන්න ඕනේ බුද්ධිමත්ව හිතලා දරුවන්ට කෑම කවන්න. දරුවෝ එක්ක සෙල්ලම් කරන්න ඕන, දරුවට සිංදු කියන්න, කතන්දර කියන්න වෙන ක්‍රම භාවිත කරන්න.
ළමා හා නව යොවුන්
මනෝචිකිත්සක උපදේශක
විශේෂඥ වෛද්‍ය
දර්ශනී හෙට්ටිආරච්චි
කරාපිටිය මහා රෝහල
පාරමී කෞෂිකා ✍️
– –