“වරක් ඉන්දියාවේ ආයුර්වේද වෛද්‍යවරයෙක් ලංකාවට පැමිණියා. ඔහුට ශරීර අවශ්‍යතාවක් ඇති වුණා. මේ වෙලාවේ වෛද්‍යවරයා සිටියේ පන්සලක. එළියට ගොස් එම අවශ්‍යතාව නිදහස් කරගන්නා ලෙස ස්වාමින්වහන්සේ උපදෙස් දුන්නා. පිටතට ගිය වෛද්‍යවරයා නැවත ඇතුළට පැමිණියත් ඔහු තම අවශ්‍යතාව නිදහස් කරගෙන තිබුණේ නැහැ. ස්වාමින්වහන්සේ ඔහුගෙන් ඒ ගැන විමසා සිටියා. එළිමහනේ තිබෙන සෑම දෙයක්ම ඖෂධ පැළෑටි නිසා ඒවාට එසේ කිරීමට නොහැකි බැව් ඉන්දීය වෛද්‍යවරයා කියා සිටියා. එවැනි රටක උපත ලබා හැදුණ වැඩුණ අපි අද වන විට වස විස ආහාරයට ගන්නා රටවල් අතරට එකතු වී තිබෙනවා. නමුත් තවමත් වස විස නැති ආහාරපාන ගැන සොයන, විමසන අපි වගේ අයත් ඉන්නවා.” එහෙම කියන්නේ වරුණ ලක්මාල් නානායක්කාර.
වරුණ ගාල්ල මාපලගම ප්‍රදේශයේ උපත ලබා ගාල්ල ඇලෝසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. උසස් පෙළ අධ්‍යාපනයෙන් පසුව කාර්මික විද්‍යාලයෙන් (සිවිල් ඉංජිනේරු) පාඨමාලාවක් හදාරා ජපන් සමාගමක රැකියාවකට සම්බන්ධ වුණා. නමුත් ඔහු රාමුවක රැඳී සිටියේ නැහැ.
වරුණ මේ තැනට පැමිණියේ කොහොමද?
මගේ සීයා ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඒ වගේම බාප්පාත් මාමාත් වෛද්‍යවරුන්.ඒ නිසාම මටත් පුංචි කාලයේ පටන්ම ඖෂධීය ශාක සහ පැළෑටි ගැන අවබෝධයක් තිබුණා. ඒ වගේම අපේ ස්වභාවික ඖෂධ ගැන අත්දැකීම් මට ලැබුණා.නමුත් අද වන විට අපි හැම දෙනාම බෙහෙත් කරලකට, එහෙම නැත්නම් කැප්සියුලයකට ජීවිතය භාර දී තිබෙනවා. අපේ වත්තේ පිටියේ තිබෙන බෙහෙත් පැළෑටියකින් ගුණයක් ලබාගන්න උනන්දුවක් නැහැ. මලබද්ධයක් ඇති වුණාමත් බෙලි ගෙඩියක් කන්නේ නැහැ. මුත්‍රා අපහසුවක් ඇති වුණාම පොල්පලා ගහක් තම්බාගෙන බොන්නෙත් නැතුව බෙහෙත් පෙති හොයනවා. නමුත් අපේ ජීවිත අත්දැකීමෙන්ම මේ ඖෂධ පැළෑටිවල තිබෙන ගුණ ගැන දන්නා නිසා මට සමාජය ඒ ගැන දැනුවත් කරන්න අවශ්‍ය වුණා.
තේ බෑග් එක හැදුවෙ කොහොමද?
මම මුලින්ම තේ බෑග් නිෂ්පාදනය කළා. මම උනන්දු වන කාලයේ තේ බෑග් ගැන සමාජයේ ලොකු උනන්දුවක් තිබුණේ නැහැ.කළු ටී බෑග් තිබුණත් පොල්පලා, රණවරා, වගේ ටී බෑග් වෙළෙඳපොළේ තිබුණෙ නැහැ. සාමාන්‍යයෙන් ටී බෑග් එකක් වුණත් පාවිච්චි කළේ හෝටල්වල විතරයි.ඒ නිසා 2010 වසරේදී මම විජලන යන්ත්‍රයක් නිෂ්පාදනය කළා. එයින් වියළා ගත් පොල්පලා, රණවරා වගේ ඖෂධ පැළෑටිවලින් ටී බෑග් නිෂ්පාදනය කර බෙදා හැරියා.
අමුද්‍රව්‍ය නැතිව ව්‍යාපාර අරඹන්න පුළුවන්ද?
ඔව් පුළුවන්. අපට නුහුරු වුණාට මේක ජාත්‍යන්තර සංකල්පයක්. අපි කටපාඩමින් දන්නේ ව්‍යාපාරයක් කරන්න නම් භුමිය, ශ්‍රමය, ප්රාග්ධනය සහ අමුද්‍රව්‍ය අවශ්‍ය බව. නමුත් මෙතැනදී ව්‍යවසායකයකුට අනිත් අවශ්‍යතාවන් අතරට අමුද්‍රව්‍ය නොමැතිව යම් නිෂ්පාදනයක් ආරම්භ කරන්න අවස්ථාව තිබෙනවා.අපි කරන්නේ අමුද්‍රව්‍ය නිසි ප්‍රමිතියෙන් ලබාදෙන එක.කොටින්ම කිව්වොත් නොදෙන දෙයක් නැහැ. දැනට ශාක වර්ග 260 ක් අමුද්‍රව්‍ය විදිහට විවිධ නිෂ්පාදන සන්නාම වෙත අපි ලෝකයට ලබාදෙනවා.
මේ අමුද්‍රව්‍ය ලබාදෙන ඔබේ ආයතනය මොකක්ද?
අනුරාධපුර නෙළුම්කුලමේ ‘ටයිනි ටියානා එන්ටප්‍රයිසස්’ තමයි මගේ ආයතනය. අපි කොස් කොළයේ පටන් එළවළු, පලතුරු සියලුම විජලනය කරන ලද අමුද්‍රව්‍ය නිෂ්පාදන ලංකාවටත් ලෝකයටත් ලබා දෙනවා.උදාහරණයක් කිව්වොත් කොස් ගෙඩියක කොළ, පනා මල, පොළොස්, කොස් මදුළු, කොස් සිබිඩිවලටත් දැන් හොඳ ඉල්ලුමක් තිබෙනවා. කොස් ගෙඩියක නම් කටුව හැර අනිත් සියලුම දේ අමුද්‍රව්‍ය විදිහට ලබාදෙනවා.
ශාක පත්‍ර ගබඩා කිරීමේදී හානි වුණොත්?
අනවශ්‍ය අන්දමින් ශාක පත්‍ර ගබඩා කර ගැනීමක් අපේ නැහැ. ඇණවුමක් ලැබුණොත් අනුරාධපුරය අවට සිටින සැපයුම්කරුවන්ට අපි ඒ බව දන්වනවා. අපට ආයතනගතව සේවය කරන ස්ථිර සේවකයන් නැහැ. ඇණවුමක් ලැබුණ විට අවශ්‍ය විදිහට සේවකයන් සේවයේ යොදවා ගන්නවා. ඒ වගේම වැඩි තැනක් ලබා දෙන්නේ කාන්තාවන්ට.
ඇයි කාන්තාවන්ට විශේෂත්වයක්?
අපේ රටේ කාන්තාවන්ට තමන්ගේ නිවසේ ඉවුම් පිහුම් කටයුතු කරගෙන දරුවන් රැක බලාගනිමින් ආදායම් උපයා ගත හැකි ස්වයං රැකියාවන් ඕනෑ තරම් තිබෙනවා. දවසකට පන් මල්ලක් වියාගන්න පුළුවන් ප්‍රදේශයක සිටින කාන්තාවක් මුදල් උපයන්න විදේශගත වෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේ ඇණවුමක් ලැබුණ අවස්ථාවක කාන්තා ශ්‍රමය අපට ලබාගන්න පුළුවන්. ඔවුන්ට වැඩි තැනක් ලබා දෙන්නෙත් ශ්රමයට වටිනාකමක් විදිහටයි.
රූපලාවන්‍ය නිෂ්පාදනත් හදනවද?
ලස්සන වෙන්න කවුරුත් කැමැතියි. එතැනදී ස්වභාවික ශාකසාර සහ නිෂ්පාදන වෙනුවෙන් දැන් උනන්දුව ඇතිවෙලා තිබෙනවා. මම රූපලාවන්‍ය ආයතනයන්හි නිෂ්පාදන වෙනුවෙන් අවශ්‍ය එළවළු සහ පලතුරු පවුඩර් විදිහට සපයනවා. ඔවුන් මේ පවුඩර් යොදා ගෙන ෆේස් පැක්, මාස්ක් වැනි නිෂ්පාදන ඔවුන්ගේ සන්නාමයෙන් වෙළෙඳපොළට නිකුත් කරනවා. කැරට්, පැපොල්, පිපිඤ්ඤා වැනි ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කළ පවුඩර් රූපලාවන්‍ය නිෂ්පාදන ආයතන වෙත සැපයුම් කරනවා. එතැනින් පසුව ඔවුන්ගේ සන්නාමයෙන් මගේ අමුද්‍රව්‍යවලින් අලුත්ම නිෂ්පාදනයක් වෙළෙඳපොළට හඳුන්වා දෙනවා.
මේ අතරට ඔබේ නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමක් නැතිද?
හිසේ ආලේප කරන තෙල් අපේ නිෂ්පාදනයක්. ඊට අමතරව විජලනය කරන ලද එළවළු තිබෙනවා. තවත් නිෂ්පාදනයක් විදිහට සකස් කරන ලද ව්‍යංජන වර්ග තිබෙනවා. මේ ව්‍යංජන වර්ග බොහෝ විට පිළියෙළ කිරීමේදී සොයා ගැනීමට අපහසුයි. ඒ වගේම සකස් කිරීමේ ක්‍රියාවලියේ යම් අපහසුතාවන් තිබෙනවා. උදාහරණයක් විදිහට “කෙසෙල් බොඩ ව්‍යංජනය” බොහොම ගුණයි. නමුත් අමු කෙසෙල් බොඩයක් උයන්න හොයා ගැනීම පහසු නැහැ. මගේ නිෂ්පාදන එකතුවේ තිබෙන්නේ මෙය කොටස් විදිහට සකස් කළ පැකට් එකතුවක්. කෙසෙල් බොඩ වෙනම සහ තුනපහ, මිරිස් සහ පොල් කිරි සැෂේ පැකට් විදිහටයි. අවශ්‍යතාවට අනුව මේ තුනම එකට එකතු කරලා රසවත් ව්‍යංජනයක් පිළියෙළ කර ගැනීම පහසුයි.
මොනවද මේ ලෝකෙට ගිය පාට පාට ඉඳිආප්ප?
කෘත්‍රිම වර්ණ කාරක සහ රස කාරක ගැන කිසිම කැමැත්තක් නැති මම පාට පාට ඉඳිආප්ප හදන්න පුළුවන් පවුඩර් ලෝකෙට ඉදිරිපත් කළා.මට ඉන්නෙ දුවලා දෙදෙනෙක්. සකස් කළ ආහාර පානවලට මම ඔවුන් යොමු කළේ නැහැ. අපි පොඩි දවස්වල බඩගින්නක් ආවොත් අපට තිබුණේ හාල් බැදි අග්ගලා, ගෙදර අඹරා ගත් කුරක්කන්වලින් හදපු රොටියක්. ඒ නිසා තමයි මම බීට්, කැරට් වගේ එළවළුවලින් පවුඩර් නිෂ්පාදනය කළේ. මේවා ඔස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවලට යැව්වා. ඒ නිසා ලෝකෙ ඉඳිආප්ප පාට පාට වුණා. ඒ අපේ පාට කියලා ලෝකෙ කවුරුත් නොදැන ගත්තත් වස විස නැති වර්ණ යොදාගෙන සකස් කළ කෑම බීම මම නිසා ලැබුණා කියන ආත්ම තෘප්තිය මට තියෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️