සෝමලතා කේමදාස
ප්‍රේමසිරි කේමදාස කියනවටත් වඩා මං කැමතියි ඔහුව මාස්ටර් කේමදාස විදිහට හඳුන්වන්න. මොකද ලංකාවේ ‘මාස්ටර්’ කියන වචනෙ ඇහුණ ගමන් ඊළඟට මතක් වෙන නම ‘කේමදාස’ නිසා. කේමදාස මාස්ටර් කියන්නෙ අපේ රටේ සංගීතය වෙනස්ම මාර්ගයකට ගත්ත හෙළ සංගීතයේ ගාන්ධර්වයෙක්. කොහේ හිටියත් පුංචි සංගීත කණ්ඩයක් කන වැකුණු සැණින්ම මේ නම් මාස්ටර්ගෙ සංගීතයක් කියල අඳුරගන්න පුළුවන් තරමටම ඔහුගේ සංගීතය අපේ ඇට,මස්,ලේ නහරවලට කාවැදිලා. ඔහු අපෙන් සමුඅරන් දාසය වසක් ගතවෙලා. අද සෙනෙහසක නවාතැන වෙන්වෙන්නෙ මේ අමරණීය සෞන්දර්යයාගේ ආදරණීය බිරිඳ සහ දියණියන් දෙදෙනා වෙනුවෙනුයි. පෙම්වතිය අවදියේ පටන් මේ මහා මිනිසාට හෙවණැල්ලක් වෙමින් ආපු ගමන්මග ගැන අපි මුලින්ම කතා කළේ මාස්ටර්ගේ ප්‍රියාවිය එක්ක. ඇය සෝමලතා කේමදාස පෙරේරා.
මාස්ටර් වගේ කර්යබහුල සැමියෙක් එක්ක පවුලක් ගෙනියන්න ඔබට පහසු වුණාද?
ඔව්. කොච්චර කාර්යබහුල වුණත් පවුලේ වගකීම් හැමදේම එයා ඉටුකළා. මට ගෙදරට උවමනා කිසිම දෙයක් ගේන්න කඩේටවත් යන්න දුන්නෙ නෑ. හැමදේම ගේන්නෙ එයා. ගෙදර බඩු ඉවරවේගෙන එද්දි මටත් කලින් එයා දන්නවා. ඉඟුරු කෑල්ලෙ ඉඳන් හැමදේම අරන් ඇවිත් බොරුවට මගෙන් අහනවා පරණ බඩු තව කී දවසකට තියෙනවද කියලා. සමහර වෙලාවට ඒ දේවල් ඇත්තටම ඉවරයි. ඒත් එයා කෑගහන නිසා මං බොරුවට කියනවා තව දවසකට විතර ඇති කියලා. මං දන්නවා එයා එහෙම අහන්නෙ බඩු ටික ගෙනල්ලා තමයි කියලා.
ඉතිං මාස්ටර් නැතිවුණාට පස්සේ කොහොමද ඒ දේවල් කළමනාකරණය කරගත්තේ?
ප්‍රේමසිරි නැති වෙනකොට මං දන්නෑ සීනි කිලෝ එකක් කීයද කියලවත්. මමයි ගයාත්රියි දවසක් කඩේකට ගිහින් බඩුවල ගණන් අහනකොට ඒ මුදලාලි මගෙන් ඇහුවා මිස් ලංකාවෙ නෙවේද මෙච්චර කල් හිටියේ කියලා.
මාස්ටර් මොනවගේ චරිතයක්ද?
හරිම කලබලකාරී චරිතයක්. ඉක්මනට කේන්ති යනවා. ඒ තරම්ම ඉක්මනින් කේන්තිය නැති වෙනවා. මම එයාට ආදරේට කතා කළේ ළමයො කියලා.
ඒ කේන්තිය ඇතුළෙ ආදරණීය සැමියෙකුත් ඉන්න ඇති…
අපොයි ඔව්. ඉස්සර මගේ උපන්දිනේට එයා දුවලා දෙන්නා එක්ක ගිහින් මට සාරියක් අරන් ඇවිත් ගෙදර හංගනවා. හැබැයි හංගන්නෙ හොඳට පේන තැනක. ඒත් එයා හිතන්නෙ ඒක මට පේන්නෙ නෑ කියලා. ඉතින් මමත් තෑග්ග දැක්කෙ නෑ වගේ රඟපානවා.
ඔබ දෙදෙනාගේ හමුවීම සිද්ධ වුණේ කොහොමද?
මගේ අයියගෙ යාළුවෙක් තමයි ප්‍රේමසිරි. දවසක් ප්‍රේමසිරිව පූසෙක් හූරලා තිබුණා. නමුත් කොච්චර බෙහෙත් කළත් හොඳ වෙලා තිබුණෙ නෑ. පූසගේ විස යන්න නම් දුන් තෙල් කන්න කිව්වයි කියල එයා අපේ අයියට කිව්වම අපේ ගෙදර දුන් තෙල් තියෙනවා, යමු කියල අයියා කියල තිබුණා. ප්‍රේමසිරි මුලින්ම අපේ ගෙදර ආවේ දුන්තෙල් ගන්න. එතනින් පස්සේ පටන්ගත්ත හැඳුනුම්කම ප්‍රේම සම්බන්ධයක් දක්වාම දුර ගියා. නමුත් මට ප්‍රේමසිරිගේ නම මතක තියාගන්න අවුරුදු දෙකක් විතර ගියා. මම හැමතිස්සෙම එයාගෙ නම වෙනුවෙට කිව්වේ අර මියුසික් කරන එක්කෙනා කියලා.
කේමදාස මාස්ටර් කියන්නෙ ලොකු කට්ටක් කාලා තැනකට ආපු කලාකරුවෙක්. ඒ කාලේ ලංකාවේ තිබුණ කලාව ගැන මාස්ටර් තෘප්තිමත් වෙලා හිටියද?
කොහෙත්ම නෑ. හින්දි තනුවලට සිංහල වචන දාලා සිංදු හදනවට එයා තදින්ම විරුද්ධ වුණා. නමුත් ඔහු ඔහුගේම නිර්මාණවලින් ඒවට විරුද්ධව නැගී හිටියා. බොහෝ දෙනෙක් හින්දි තනුවලට සිංහල වචන දාලා සිංදු හදද්දි ප්‍රේමසිරි ‘සුළං කුරුල්ලෝ’ වගේ අදටත් මිනිස්සු රසවිඳින නිර්මාණ බිහිකළා.
බිරිඳක් විදිහට මාස්ටර්ගේ වැඩවලට සහයක් වුණේ කොහොමද?
එයාගෙ සිම්ෆනිවල රිහර්සල් කරද්දි හැමෝටම කන්න බොන්න දුන්නේ ප්‍රේමසිරි. සමහරදාට එකපාරටම කියනවා හෙට හවසට කට්ලට් සීයයි, සැන්විචස් සීයයි ඕන කියලා. ඉතින් මම ඒවා හදලා දෙනවා.
ඔහු ගැන තව මතකයක් වචන කළොත්…
ප්‍රේමසිරි නැතිවුණ දවසේ අපේ ගෙදරට ආවා බුලත් විට විකුණපු ගෑනු කෙනෙක්. එයා ඇවිත් මාත් එක්ක කිව්වා අනේ මේ මහත්තයා හැමදාම කාර් එක නවත්තලා මට රුපියල් 50ක්, 100ක් දීල යනවා. මහත්තයා වෙනුවෙන් මගෙන් මොනවද වෙන්න ඕනේ කියලා. මං කිව්වා කිසිම උදව්වක් ඕනේ නෑ,
ඔයාට ඕන වෙලාවක මෙහෙ එන්න. අපි පුළුවන් උදව්වක් කරන්නම් කියලා. ඊටපස්සේ ඒ ගෑනු කෙනා කිව්වා අනේ මට මහත්තයා කරපු උදව් හොඳටම ඇති, එහෙනම් හත්දවසෙ දානෙ දැහැත් වට්ටිය මං හදලා දෙන්නම් කියලා. ඒ වගේ පොඩි පොඩි මිනිස්සු ගොඩක් එයාගේ ජීවිතේ හිටියා.
මම ඊළඟට කතා කළේ මාස්ටර්ගෙ එකම දූවරු දෙන්නා වන අනූපා කේමදාස සහ ගයාත්‍රි කේමදාස එක්ක
මුලින්ම කියන්නකො අනූපාගේ වෘත්තිය මොකක්ද?
මම ජීවත් වෙන්නේ කැනඩාවේ. පරිගණක විද්‍යාව සම්බන්ධ රැකියාවක් කරන්නේ. සංගීතය සහ චිත්‍ර කලාවත් ඒ හා සමානව කරනවා.
වැඩියෙන්ම දක්ෂ සංගීතයට ද චිත්‍ර කලාවට ද කියල ඇහුවොත්…
මං හිතන්නේ මගේ හැකියාව තියෙන්නේ චිත්‍ර කලාවට. අවුරුදු තුන හතරෙ ඉඳන්ම මම චිත්‍ර අඳිනවා. මට මතකයි මං ඇඳපු හැම චිත්‍රයම තාත්තා බිත්තියක ඇලෙව්වා. සංගීතයට යොමු වුණේ තාත්තා නිසා. අම්මයි තාත්තයි තමයි මාව චෙලෝ එක වාදනය කරන්න උනන්දු කෙරෙව්වෙ.
මාස්ටර්ගේ ජීවිතයෙන් අනූපාගේ ජීවිතයට ලැබුණේ මොන වගේ වටිනාකමක්ද?
තාත්තා මං වෙනුවෙන් කරපු සමහර දේවල් මට තේරුණේ සෑහෙන කාලයක් ගියාට පස්සේ. මම තාත්තගෙන් ගත්ත ලොකුම ආදර්ශය කරන්න බැරි දෙයක් නෑ කියන එක. මොකද ඒක තාත්තා තාත්තගෙ ජීවිතය තුළ කරලා තියෙනවා. ඔහු හරිම සංවේදී පුද්ගලයෙක්. හරිම කලබලකාරී චරිතයක් වුණාට එයා වටේ වෙන හැම දේ ගැනම හොඳ අවධානයකින් හිටියා.
නිවාඩුවට ලංකාවට ආවම කොහොමද දවස් ගෙවෙන්නෙ?
ගෙදර ආවම මම චිත්‍ර අඳිනවා. (අනූපා උත්තරේ දීලා ඉවර කරන්නත් කලින් ඒකට තවත් උත්තර සැපයුවේ ගයත්‍රි) අක්කා ලංකාවෙ ඉන්න මාස කිහිපය මාරයි. එයා හරි ආසයි උයන්න.
ඉතින් අක්කා ලංකාවේ ඉන්න කාලේ අපිට හොඳට රසට කන්න පුළුවන්. එයා ලෝකෙ වටේම ඇවිදලා ඒ රටවල තියෙන කුළුබඩු පවා ලංකාවට අරගෙන එනවා.
අනූපා: තාත්තත් මං වගේ. සංගීතය ඇරුණම එයාගෙත් කැමතිම දේ කෑම.
ඒ කියන්නේ මාස්ටර්ටත් හොඳට උයන්න පුළුවන්ද?
අනූපා: අපෝ නෑ. උයන්න තියා තාත්තා වතුර එකක්වත් වක්කරගන්නෙ නෑ. හැබැයි එයා රසට කන්න කැමතියි.
ගයාත්‍රි: තාත්තා හැම ඉරිදම පාන්දර 4 ට මාළු මාකට් යනවා. එතකොට අයිස් දාන්න කලින් අලුත්ම මාළු ගන්න පුළුවන්.
තාත්තා ඒ කාලේ කිව්වෙ පුතාලට මන් නැති කාලෙක හොඳ සංගීතයක් නම් පිටරටකින් හරි අහන්න පුළුවන් වෙයි. හැබැයි මෙච්චර අලුත් මාළු කොහෙන්වත් හොයාගන්න බැරි වෙයි කියලා.
දුවලා විදිහට තාත්තව දැනුනේ කොහොමද?
අනූපා: තාත්තට කතාවට වඩා ක්‍රියාව හරි වැදගත්. ‘අනේ පව්’ කියලා එයා කවදාවත් සද්ද නැතුව හිටියෙ නෑ. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. සත්තුන්ට හරි ආදරෙයි. කොහේහරි ගමනක් යද්දි පාරක සතෙක් කන්න නැතුව හිටියොත් ඌව පහු කරගෙන නොදැක්කා වගේ යන්නෙ නෑ. ඉස්සර තාත්තා පාරෙන් අරන් ආපු පූසො දාහත්දෙනෙක් අපේ ගෙදර හිටියා.
ගයාත්‍රි: කවුරුත් ගණන් නොගන්න දේවල් තාත්තා හරියට ඔළුවට ගන්නවා. මට මතකයි අපේ පාසල් වාරයක් ඉවර වෙද්දි මගේ පන්තියේ ළමයෙක්ව ෆේල් කරල ඒ ළමයා හොඳටම ඇඬුවා.
මං තාත්තට ඒ විස්තරේ කිව්වම තාත්තා ප්‍රින්සිපල්ට ලියුමක් ලිව්වා මේ ළමයට තව එක වාරයක් ඉගෙනගන්න දෙන්න කියලා. ප්‍රින්සිපල් සාමාන්‍යයෙන් කාගෙවත් කීම් අහන කෙනෙක් නෙවෙයි.
ඒත් තාත්තට තියෙන ගරුත්වයට ඒ ළමයට තව වාරයක් ඉගෙනගන්න දුන්නා. ඒ වගේ තාත්තට වුවමනාවක් තිබුණා සමහර දේවල් වෙනස් කරන්න. තාත්තට අමාරුම කාලේ ඔක්සිජන් මාස්ක් දාලා හොස්පිට්ල් ඉන්නකොට පවා අපෙන් හැමතිස්සෙම මාස්ක් එක ගලවල ඇහුවේ ජනකලා කේන්ද්‍රය වටේ ඉන්න බල්ලන්ට කන්න දුන්නද? උන් මං එනකන් බලන් ඇති කියලා.
ගයාත්‍රිට තාත්තා ගැන තියෙන හොඳම මතකය මොකද්ද?
ආදරය. තාත්තා ඔපෙරා එක්ක කොච්චර කාර්යබහුල චරිතයක් වුණත් මගෙයි අක්කගෙයි වැඩ එයා මගහැරියේ නෑ. අපි දෙන්නම ඉගෙනගත්තෙ ලේඩිස් කොලේජ් එකේ. තාත්තා හැමදාම මොන වැඩේ තිබුණත් ඉස්කෝලේ ඉවර වෙන වෙලාවට අපිව ගන්න එනවා.
තාත්තව පුංචි කාලේ ඉස්කෝලෙකට ඇතුළත් කරන්න කවුරුත් හිටියෙ නෑ. තාත්තම තමයි තනියම ඉස්කෝලෙට පයින්ම ගිහින් විභාග ලියලා ඇතුළත් වුණේ. කොටින්ම අපේ ඉස්කෝලේ ගුරු දෙමාපිය හමුවලටත් හැමදාම ආවෙ අම්මා නෙවෙයි තාත්තා.
ගයත්‍රිත් යන්නෙ තාත්තගෙම අඩි පාරේ…
ඔව්. මගේ ක්ෂේත්‍රයත් සංගීතය. තාත්තගෙ ‘සංගීත මංජරිය’ දැන් කරන්නෙ මම. මීට මාස කිහිපයකට උඩදි මට ජනාධිපති සම්මාන දෙකක් ලැබුණා හොඳම සංගීතයට සහ හොඳම තනුවට. ඒ ‘ද නිව්ස්පේපර්‘ චිත්‍රපටය වෙනුවෙන්.
ගයත්‍රි ඔබ විවාහකයි. සැමියා ගැන සඳහනක් කළොත්…
ඔහු ඩැරන්. එංගලන්ත ජාතිකයෙක්. ඩැරන් ඉන්නෙත් අපි එක්ක ලංකාවේ.
එරංදි කෞශල්‍යා ✍️