අප ගෞතම මුනිදුන් ඊසාන දෙසින් වැඩ සිටිමින් සතියක් පුරා සම්බුදු දෙනෙත් නොසොල්වා අනිමිස ලෝචන පූජාව පැවැත් වූ සේක. අතීතයේ සිටම මිනිසුන් වන අප තමා අදහන ආගමට හා ධර්මයට ඉතාම ගෞරවයක් දක්වන බව සැබෑය. එම නිසා නිවසක පූජාසනය පිහිටවිය යුත්තේද පූජනීයත්වය සහ ගෞරවය ආරක්ෂා වන පරිදිය. නමුත් බොහෝ දෙනා තමා අදහන ආගමට හා තම ශාස්තෘන් වහන්සේට නොහිතා හෝ නොදැනුවත්කම මත අගෞරවයට පත් කරන අවස්ථා තම නිවස තුළම දක්නට ඇත. නමුත් එය එසේ නොවිය යුතුය.
දිනෙන් දින වර්ධනය වන විවිධ වර්ගයේ අපරාධ හමුවේ තව තවත් පුද්ගලයින් ආගම හා ධර්මයෙන් දුරස්වීම මෙම අපරාධ තව තවත් වැඩි වීමට හේතුවකි. අපගේ සිත් තුළ ඇති වන විවිධ අයහපත් සිතුවිලි එනම් තරහව, කළකිරීම්, වෛරී හැඟීම් පාලනය කර ගැනීමටත් මෛත්‍රී සහගත සහ මිත්‍රශීලී හැඟීම් වර්ධනය කර ගැනීමටත් ආගම හා ධර්මය මහඟු පිටිවහලකි. අංගුලිමාල දමනය වැනි මේ සඳහා දිය හැකි උදාහරණ බොහෝ ඇත. තවද පටාචාරාව වැනි කළකිරීමෙන් දැවුණු සිත් ඇතිව දිව ගිය බොහෝ දෙනා සැනසූ අවස්ථාද බුද්ධ දේශනා තුළ මනාවට සඳහන්ව ඇත.
වර්තමානයේද විවිධ කම්කටොළු බාධා ඇතිව සිටින පුද්ගලයින්ට සිත් තුළ නිවීමක් සැනසීමක් මෙන්ම තමා කරන වැඩ කටයුතුවලට ආශිර්වාදයක් ලබා ගැනීමටත් තමාගේ සේවා ස්ථානයට හෝ පාසලට හෝ ඕනෑම සුබ කටයුත්තකට නිවසින් පිටත්ව යාමේදීත් තම නිවස තුළ පූජාසනයක් තිබීම ඉතාම සුදුසු දෙයකි. එනම් පූජාසනයක් නිවසක තිබීම අත්‍යාවශ්‍ය අංගයක් බව පැහැදිලිය.
මෙහීදී බුදු කුටියක් හෝ පූජාසනයක් ඉදිකිරීමේදී සලකා බැලිය යුතු වාස්තු ශාස්ත්‍රානුකූල සාධක බොහෝ ප්‍රමාණයක් මෙම විෂය තුළ පෙන්වා දී ඇත. එය පෙර සඳහන් කළ පරිදි එම ස්ථානයේ ගෞරවය හා පූජනීය බව ආරක්ෂා වන පරිදිය.නිවසක බුදු මැදුරක් හෝ පූජාසනය තිබීමට සුදුසුම දිශාව වශයෙන් පෙන්වා දී ඇත්තේ ඊසාන දිශාවය. එසේ ගැනීමට නොහැකි අවස්ථාවක විකල්පයක් වශයෙන් උතුරු දිශාව හෝ නැගෙනහිර දිශාව මේ සඳහා වඩාත්ම සුදුසුය.
මෙහිදී ප්‍රථමයෙන් ඊසාන දිශාව පූජාසනය සඳහා සුදුසු වීමට වාස්තු ශාස්ත්‍රානුකූල හේතු හා නූතන වාස්තු ශිල්පය මත බලපාන හේතු සාධකද ඇත. නූතන වාස්තු ශිල්පය මත අන්තරික්ෂ ශක්තිය පෘථිවියට ගලනය වන්නේ ඊසාන දිශාවෙන්ය. වාස්තු පුරුෂ සංකල්පය මත වාස්තු පුරුෂයාගේ හිස පිහිටා ඇත්තේ ඊසාන දිශාවේය. එම හේතුව මත මෙම දිශාව නිතරම පිරිසිදුව තබා ගත යුතු දිශාවක් ලෙස මෙම ශාස්ත්‍රය තුළ පෙන්වා දී ඇත.
එම නිසා පූජාසනය ඊසාන දිශාවේ තැම්පත් කිරීම ඒ සඳහා ලබා දෙන ගෞරවයකි. මීට අමතරව අධ්‍යාත්මිකව ප්‍රබල වීම චුම්භක ශක්තිය හා සූර්ය ශක්තිය අධික දිශාවන් ද්විත්වය වන උතුර හා නැගෙනහිර දිශාවන් හි මධ්‍යගතව පිහිටීම නිසා මේ සඳහා වඩාත් සුදුසුය.
මෙම දිශාව අධ්‍යාත්මික ශක්තිය වැඩි වශයෙන්ම පවතින දිශාව වේ. ආපෝ ධාතුව වැඩි වශයෙන්ම බලාත්මක මෙම දිශාවේ. මරු නොමැති දිශාවද වේ. තවද අප ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව ඊසාන දිශාවේ සිට නෙත් නොපියා අනිමිස ලෝචන පූජාව පැවැත්වීමද ඊසාන දිශාව තුළ බුදු මැදුරක් ඉදි කිරීම සඳහා වඩාත් සුදුසු බව හැඳින්විය හැකිය. නමුත් ඊසාන දිශාව පූජාසනය තැන්පත් කිරීමට නොහැකි අවස්ථාවක දී ඊට යාබදව ඇති උතුර හා නැගෙනහිර දිශා වල ඇති සුදුසු ස්ථානයක් මේ සඳහා යොදා ගත හැකිය.
නිවසක පූජාසනය තැන්පත් කිරීමේ දී සුදුසු දිශාවක තැන්පත් කළද ඒ අවට ඇති ගෘහ අංග වලින් අගෞරව නොවන පරිදි පූජාසනය තිබීම වඩාත් සුදුසුය. පූජාසනය සඳහා සුදුසු දිග පළලක්ද ඇති අතර ඒ සඳහා වෙනම මැඳුරක්, කුටියක් හෝ පූජා කාමරයක් සැලසුම් කරන අවස්ථාවක නම් දිග පළල සමාන වූ සමචතුරස්‍රාකාර ස්ථානයක් වීම වඩාත් සුදුසුය. මෙයට උදාහරණ වශයෙන් ලෝවාමහා ප්‍රාසාදය දිග අඩි 232 අඟල් 2 ද පළල අඩි 231 අඟල් 2 ද වේ. එනම් ආසන්නවම හරි හතරැස් ආකාරයට සැලසුම් කර ඇත.
නිවසක නාන කාමරයක හෝ වැසිකිළිය ඇති බිත්තියකට පිටුපා බුදු මැදුරක් ඉදි කිරීමද නුසුදුසුය. එමෙන්ම නිවසක උඩු මහලක් ඇති අවස්ථාවක දී පූජාසනය ඇති ස්ථානයට ඉහළින් ගමන් කරන ස්ථනයක් නොවිය යුතුය. පූජාසනයට ඉහළින් ඉහළ මාලයේ නිදන කාමර, නාන කාමර තිබීම ඉතාම නුසුදුසු කරුණක් වන අතර එය නොදැනුවත්කම හෝ වැඩිදුර නොසිතිම මත තම ආගමික ශාස්තෘත් වහන්සේලාට කරන අගෞරව කිරීමකි.
ඉහළ මහළක් ඇති නිවසක තරප්පු පෙළට යට ඇති හිස් ඉඩ ප්‍රයෝජනයට ගැනීමට සිතා තරප්පුව යට කලාතුරකින් පූජාසනය ඉදි කරන අවස්ථාද ඇත. මෙයද ඉතාම නුසුදුසු කරුණකි. වැඩිදුර නොසිතීම මත සිදු කරන අගෞරව කිරීමකි. මෙහිදී නිවසක උඩු මහල තුළ පූජාසනයක් තිබීම වඩාත් ගෞරවනීය බව සදහන් කළ යුතුය. එසේ නොමැති නම් නිවසේ බිම සිට වහලය දක්වා හිස් අවකාශයක් ලෙස (void) යොදමින් සැලසුම් කර ගැනීම මහල් නිවසක දී සුදුසුය.
පූජාසනය තුළ බුදු පිළිම තැම්පත් කිරීමේ දී ගෙහිමියාගේ නාභියත් ඇස් මට්ටම ඇති සීමාව සුදුසු ලෙස සැලකේ. නමුත් ඇතැම් අවස්ථාවල හිසට ඉහළින් ස්ථාන ගත කිරීමද ගැටලුවක් නොවන නමුත් නිතර පිරිසිදු කිරීමද පහන් දැල්වීම ආදි පූජා කටයුතු කිරීමට බාධාවක් නොවන උස මට්ටමක් තිබීම වඩාත් සුදුසුය. පූජාසනය නිතර පිරිසිදු කිරීමට පහසු සහ තම ආගමික වතාවත් පහසුවෙන් සිදු කිරීමට හැකි පරිදි සැලසුම් කර ගැනීම වඩාත් සුදුසුය.
මෙහිදී බුද්ධ ප්‍රතිමා වහන්සේ පිළිබදව සලකා බැලීමේ දී නිවසකට වඩාත් සුදුසු වන්නේ හිදි බුද්ධ ප්‍රතිමාවන්ය. මේ සඳහා සුදු පැහැති සමාධි බුද්ධ ප්‍රතිමාව වඩාත්ම සුදුසුය. නිවසකට මැද හිස් වූ කුහර සහිත ප්‍රතිමා නුසුදුසුය. එමෙන්ම ශීර්ෂය පමණක් සහිතව හෝ එවැනි ආකාරයකට විකෘති කරන ලද අගෞරවයක් ඇති වන ආකාරයෙන් සකස් කරන ලද ප්‍රතිමා කිසිවිටකත් සුදුසු නොවේ.
එනම් ගෞරවය පිළිබඳ බැලීමේදී පූජා ස්ථානය පමණක් නොව ප්‍රතිමා වහන්සේලාගේද ගෞරවය හානි නොවන ලෙස තිබිය යුතුය. මෙයද තම ආගමික ශාස්තෘන් වහන්සේලාට කරන ගෞරවයකි. නිවසක පූජා කටයුතු කිරීමේ දී ඒ සඳහා මෙවැනි ආකාරයට වාස්තු ශාස්ත්‍රානුකූල හා ගෞරවාන්විත ස්ථානයක් තිබිය යුතු අතර එම දිශාවන්ගේ ඇති වැදගත්කමද උපයෝගී කර ගනිමින් සිත නිවන පූජාසනයක් තිබීම මත දැවුනු තැවුනු සිත් පවා සුවපත් වනු ඇත.
වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැළසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes, මිනුවන්ගොඩ
අර්චිත ඉඳුවර ✍️