විරුද්ධ ලිංගිකයන් වෙත ආකර්ශනය දැක්වීම පුද්ගල මනෝභාවයන්ගේ එක් සුවිශේෂී තත්ත්වයක්. එය ඉතාම සාමාන්‍ය තත්ත්වයක් නමුත් කාන්තාවන්ට බියක් දක්වන පිරිමින් ගැන ඔබ අසා තිබෙනවාද?
“කැලිස්ටා සමරේටා “යනුවෙන් හඳුන්වන ඔහු රුවන්ඩාවේ පදිංචිකරුවෙක්. මේ වන විට ඔහුගේ වයස අවුරුදු 75 ක්. මේ පුද්ගලයා කාන්තාවන්ට කොතරම් බියක් දක්වනවාද කියනවා නම් ඔහු තම උපන් නිවසෙන් පිටව ගොස් රුවන්ඩාවේ වනාන්තරයක හුදෙකලාව ජීවත් වනවා. මේ නිවස වටා අඩි 15 ක් පමණ උස තාප්පයක් ඉදිකරගත්තා. කාන්තාවක් දකියි යන බිය නිසා දිවා කාලයට නිවසෙන් පිටතට එන්නෙත් නැහැ. වනාන්තරයේ තිබෙන දෙයක් ආහාර ලෙස ගනිමින් ජීවත් වෙනවා.
කැලිස්ටා සමරේටා
රුවන්ඩා වැසියන් බොහොම පරිත්යාශීලියි. කැලිස්ටා මේ අන්දමින් හුදෙකලාව ජීවත්වන බැව් ගමේ අය දන්නා නිසා ඔහු වෙනුවෙන් ආහාරපාන සකස් කොට දොරකඩ තබා එනවා. කැලිස්ටා එම ආහාර බුක්ති වින්දත් කිසිම කාන්තාවක් සමග කතා කරන්නේ නැහැ. ගමේ උදවිය ඔහු වෙනුවෙන් ඇඳුම් පවා ගෙනැවිත් නිවසේ දොරකඩ තබා යන අතර ඒවාද ඇඳීමට කැලිස්ටා අකමැත්තක් දක්වන්නේ නැහැ. සමහර කාන්තාවන් කැලිස්ටා සමාජගත කිරීම වෙනුවෙන් ඔහුගේ නිවස අසලට කාන්තා ඇඳුම් ගෙනැවිත් තබනවා.
කැලිස්ටා ඒවා නම් භාර ගන්නේ නැහැ. ඔහු ඒ කාන්තා ඇඳුම් කැලයට විසි කරනවා. මේ අන්දමට රුවන්ඩාවේ වනාන්තරයෙ හුදෙකලාව ජීවත්වෙන කැලිස්ටා ගැන තොරතුරු පැතිරී ගියා. ඒ ගැන දැන ගැනීමට රුවන්ඩාවේ “ Afrimex” මාධ්‍ය ජාලය ඔහු සොයා ගෙන පැමිණියා. වයස අවුරුදු 16 දී පටන් ඔහු මේ අන්දමින් කාන්තාවන්ට බියක් දක්වන බව එදා මාධ්‍යට අදහස් දක්වමින් කැලිස්ටා කියා සිටියා. නමුත් එයට හේතුවක් ඔහුවත් දන්නේ නැහැ. කාන්තාවන් විසින් ලබාදෙන ආහාරපාන බාර ගත්තත් ඔවුන් තමා ස්පර්ෂ කරයි යන බිය සිතේ තිබෙන නිසා කිසිම දවසක කාන්තාවක් සමග කතා කිරීමට ඔහු උනන්දු වුණේ නැති බැව් මේ ගැන තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියා.
මනෝවිද්‍යාඥයන්ගේ හඳුනාගැනීම අනුව මෙය ‘Gynophobia’ යනුවෙන් හඳුන්වන මානසික රෝගයක්. බාල කාලයේදී කාන්තාවක් මුල් කර ගෙන ඇතිවුණ සිදුවීම් නිසා මෙවැනි මානසික තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබෙනවා. ජානමය බලපෑම් නිසාත් මෙවැනි තත්ත්වයක් ඇති විය හැකියි. සායනික ප්‍රතිකාර මගින් මේ රෝග තත්ත්වය සුව කිරීමට හැකි වුණත් කැලිස්ටාගේ වයස අනුව එය පහසු කාර්යයක් නොවන බවත් ඔවුන් සඳහන් කරනවා.
මෙහි තවත් ප්‍රභේදයක් ලෙස ‘Misogny’ මානසික රෝග තත්ත්වය සලකනු ලබනවා. මේ රෝගයේදී කාන්තාවන් සමග දැඩි වෛරයක්, ද්වේශයක් ඇතිවනවා. ඒ නිසාම පහර දීම පමණක් නොව ලිංගික අතවර කිරීමට පවා යොමුවීමේ අවදානමක් තිබෙනවා.
කාන්තාවන්ට බියක් දක්වන පිරිමින් වගේම පිරිමින්ට බියක් දක්වන කාන්තාවන් ගැනත් අමතක කරන්න බැහැ. පිරිමින්ට බියක් දක්වන කාන්තාවන්ගේ මානසික රෝග තත්ත්වය ‘Androphonia’ යනුවෙන් හැඳින්වෙනවා. බාල කාලයේදී පිරිමියෙකුගෙන් සිදුවුණ පීඩනය,ලිංගික අතවර නිසා කාන්තාවන් තුළ මෙවැනි මානසික තත්ත්වයක් ඇතිවීමට පුළුවන්. ඒ වගේම මෙවැනි මානසික තත්ත්වයන් සායනික ප්‍රතිකාර මගින් සම්පූර්ණයෙන්ම සුවකළ හැකි රෝග තත්ත්වයක්.
( Maravi post ඇසුරෙන් )
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️