ප්ලාස්ටික්, පොලිතින් ගැන විශාල ආන්දෝලනයක් අපේ සමාජයේ තිබෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් පොලිතින් භාවිතය ශුන්‍ය කිරීමත් අපහසුයි. නමුත් ඉවත දමන ප්ලාස්ටික්, පොලිතින් භාවිතයෙන් පෙට්‍රල්, ඩීසල් නිෂ්පාදනය කරන ක්‍රමවේදයක් ගැන දැනගන්න ඔබ සතුටු ඇති. පාරිසරික ගැටලුවලට වගේම ඉන්ධන මිල ඉදිරියේ විකල්ප විසඳුම් සපයන ඔහු මීගමුව කටාන ප්‍රදේශයේ පදිංචි ගාමිණී සෙනරත් චන්ද්‍රසේකර
මහව විජයබා මධ්‍ය මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ගාමිණී එයින් අනතුරුව මොරටුව එන්. ඩී. ටී. (NDT)පාඨමාලාව හදාරා විවිධ ආයතනයන්හි සේවය කළා. ඒ අතර ඔහු නවෝත්පාදන කීපයක්ම හඳුනාගෙන තිබෙනවා. එයිනුත් අද කාලයේ අපට ගැටලුවක් බවට පත්ව තිබෙන ප්ලාස්ටික් පොලිතින් භාවිතයට වගේම තවත් අතකින් විකල්ප බලශක්ති වෙනුවෙන් වූ විසඳුමක් වෙනුවෙන් වූ අලුත් උත්සාහයක නිරත වුණා.
අපි ප්ලාස්ටික් සහ පොලිතින් පාරිසරික වශයෙන් ගැටලුවක් බව කතා කරනවා. ඒ නිසාම ප්‍රතිචක්‍රිකරණය වැනි විකල්ප විසඳුම් අනුගමනය කරනවා. නමුත් මේ විකල්ප නිෂ්පාදනයත් ප්ලාස්ටික් හෝ පොලිතින් විදිහට නැවත පරිසරයට එකතු වෙනවා. ඒ වගේම අපි ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය ශුන්‍ය කරමු කිව්වත් ඇතැම් නිෂ්පාදන ඇසුරුම් වෙනුවෙන් ආදේශක සොයන්නත් අපහසුයි.
ඒ වුණත් අපි ප්ලාස්ටික් සහ පොලිතින් භාවිත කරගෙන බොරතෙල් හෝ පෙට්‍රල් ඩීසල් නිෂ්පාදනය කළොත් නැවත මේවා කාබන්ඩයොක්සයිඩ් සහ ජලය විදිහට එකතු වෙනවා මිස ප්ලාස්ටික් හෝ පොලිතින් විදිහට පරිසරයට එකතු වෙන්නේ නැහැ.
ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතයෙන් ඉන්ධන…
ප්ලාස්ටික් සහ පොලිතින් කියන්නේ (Polyethylene) බොරතෙල් සහ ඩීසල් නිපදවන විට සෑදෙන අතුරුඵලයක්. පෙට්‍රල් සහ ඩීසල්වල තිබෙන්නේ කෙටි කාබන් දාම සංයෝග පොලිතින් සහ ප්ලාස්ටික්වල තිබෙන්නේ බහු අවයවීකරණය වුණ දිගු දාම කාබන් සංයෝග. මේවා සුදුසු උත්ප්‍රේරක හමුවේ තාපවිඝටනයට භාජනය කිරීමෙන් අපට වැදගත් වෙන පෙට්‍රල්, ඩීසල් වැනි සංයෝග ලබා ගත හැකියි. එමෙන්ම පෙට්‍රල් සහ ඩීසල් වගේම එල්. පී. ගෑස් වැනි දේ අයත් වන්නේ “ඇල්කෙනය” Alkaline රසායනික සංයෝගයට ශ්‍රේණියට. නමුත් ප්ලාස්ටික් සහ පොලිතින් යන දේ ඇල්කෙන නොවුණත් තාප විඝටනය මගින් ඒවා “ඇල්කෙන” බවට හැරවිය හැකියි.
ඔබ විසින් නිෂ්පාදනය කළ ප්‍රතික්‍රියාකාරකය ගැන…
2016 වසරේ මම ප්ලාස්ටික් සහ පොලිතින් යොදාගෙන ඉන්ධන සංශ්ලේෂණය කරන ප්‍රතික්‍රියාකාරකයක් ගොඩනැඟුවා. එහිම දෙවැනි ප්‍රතික්‍රියාකාරකය ඉතාම සාර්ථක වුණා. එයින් මා ඩීසල් වැනි ඉන්ධනයක් නිෂ්පාදනය කළා. උත්ප්‍රේරක හමුවේ පාලිත තත්ත්වයක් යටතේ මේ මගින් “ඇල්කේන” ශ්‍රේණියේ ඕනෑම ඉන්ධනයක් නිපදවා ගන්න පුළුවන්.
ඕනෑම වර්ගයක පොලිතින් යොදා ගැනීමට හැකියාවක් තිබෙනවාද?
ඉන්ධන නිෂ්පාදනය කිරීමේදී ප්ලාස්ටික් යනුවෙන් හඳුන්වන ඕනෑම දෙයක් පුළුවන්. PET [Polyethylene Terephthalate] සහ PVC හැර ඕනෑම පොලිතින් වර්ගයක් මේ සඳහා යොදා ගන්න පුළුවන්. PET කියන්නේ වතුර බෝතල් වැනි දේ නිපදවීමට ගන්නා [Polyethylene terephthalate] සංයෝගයක්. රබර් වගේම “රිජිෆෝම්” යනුවෙන් බහුලව හඳුන්වන “පොලිස්ටයින්රින්” මේ සඳහා යොදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොලිතින් සහ ප්ලාස්ටික් කිලෝ ග්‍රෑම් එකකින් බොර තෙල් නම් මිලි ලීටර් 500සිට 600 ක් පමණ නිෂ්පාදනය කර ගැනීමට පුළුවන්. මිල ගැන සංසන්දනය කළොත් අද තත්ත්වය අනුව ඉන්ධන ලීටරයකට රුපියල් 65 ක පමණ පිරිවැයක් දැරීමට සිදුවනවා.
ඉන්ධනවල වෙනසක්
කිසිම වෙනසක් නැහැ. අපට එදිනෙදා මිල දී ගත හැකි ඉන්ධන සමානම ඉන්ධන මේ ක්‍රමයෙන් ලබාගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වන්නේ ලැබෙන ඉන්ධනය නිතර පරීක්ෂා කරමින් ප්‍රතික්‍රියාකාරකයේ අවශ්‍ය සීරුමාරු සිදු කිරීමයි.
සාමාන්‍යයෙන් මේ පෙට්‍රල් කියන්නේ කාබන් පරමාණු 8 ක් සහිත ඔක්ටේන් යනුවෙන් හඳුන්වන සංයෝගයක්. නමුත් කිසිම විටෙක ඉන්ධන පිරවුම්හලකින් ලැබෙන පෙට්රල්වල ඔක්ටේන් පමණක් අඩංගු නැහැ. මේ දාමයේ කාබන් පරමාණු 7 සිට 9 ක් වන සංයෝග වගේම ‘ඇල්කේන’ නොවන තවත් බොහෝ ඉන්ධන තිබෙන්න පුළුවන්.
අපි භාවිත කරන පෙට්රල්වල විවිධ සංයෝග දහයකටත් වැඩි ප්‍රමාණයක එකතුවක් අඩංගුයි. ඒ විතරක් නොවෙයි කාබන් පරමාණු 8 එක දිගටම නැතුව ශාක දාම සංයෝග විදිහට ලැබෙන නිසා පෙට්රල්වල ගුණාත්මක බවත් වැඩි වීමට හේතු වනවා.
මේ ඉන්ධන යොදාගෙන වාහන ධාවනය වීමක් සිදුවුණාද?
මම නිෂ්පාදනය කළේ ඩීසල් පමණයි. අත්ට්‍රැක්ටරයට යොදාගෙන සිදුකළ පරීක්ෂණය සාර්ථකයි. වෙනත් වාහනයකට භාවිත කරන්න පෙර සම්මත ක්‍රම අවශ්‍යයි. ඒ සඳහා විද්‍යාගාර පහසුකම් අවශ්‍යයි. ඒ වගේම ඉන්ධන කාබන් පමණක් අඩංගු සංයෝගයක් නොවෙයි. මේ ඉන්ධන වෙනුවෙන් අතිරේක Addities ලෙස තවත් අතුරු කොටස් එකතු කරන්න අවශ්‍යයි. ඒ සඳහා විද්‍යාගාර පරීක්ෂණ සිදුකොට අදාළ දත්ත සමග සහතිකයක්
ලබාගන්න අවශ්‍යයි. ඊට පසුව සුදුසු පරිදි ප්‍රතිකාරකය සුසර කර නැවත පරීක්ෂණ සිදුකරන්න වෙනවා. එහෙම එකතු වීමෙන් පසුව වාහනයේ එන්ජිමේ ආයු කාලය, දුම අඩු වීම සහ මෘදු බව වැනි පරීක්ෂණ සිදුකිරීමෙන් පසුව තමා වාහන එන්ජිමකට අලුත් ඉන්ධනයක් එකතු කිරීම සිදුවන්නේ.
ඉන්ධනයක් වාහනයක් ධාවනය කිරීමට සුදුසු තැනකට පත්වන්නේ ඊට පසුවයි. නමුත් මම තවම මේ සහතිකය ලබා ගත්තේ නැහැ. මෙම ප්‍රතික්‍රියාකාරකය නිෂ්පාදනය කිරීමට මට මිලියනයකටත් වැඩි මුදලක් වැය වුණා. බාහිරින් කිසිම මුදලක් ලැබුණේ නැහැ. නමුත් අත්ට්‍රැක්ටරය වෙනුවෙන් මම ඩීසල් යොදාගත්තා. ඒ නියමු පරීක්ෂණය සාර්ථකයි. මේ ඔස්සේ ඉදිරි පරීක්ෂණ සිදුකළොත් සාර්ථක විදිහට ඩීසල් නිෂ්පාදනය කරගන්න පුළුවන්.
ඔබේ අලුත් යන්ත්‍රයේ නිර්මාණ සැලස්ම ගැනත්…
මම 2017 වසරේ නිෂ්පාදනය කළ යන්ත්‍රය තවත් වැඩිදියුණුයි. ඉලෙක්ට්‍රොනික් උපාංග සමග පරිගණකයක් ආධාරයෙන් පාලනය සහ ක්‍රියාත්මක වීම සිදුවනවා. දවසේ පැය 24 ම ඉතාම ඉහළ ප්‍රමිතියක ඉන්ධන ලබාගත හැකියි. අවුරුද්ද පුරාම වැඩ කරනවා. ආයෝජකයින් කීප දෙනෙක්ම කතා කළා. නමුත් ඒ අතර මට සෑහීමට පත්වන කෙනකු හමුවුණේ නැති නිසා මුල්‍ය තත්ත්වය නිසා මේ වෙනුවෙන් තව ටික කාලයක් බලා සිටින්න වේවි.එහෙම නම් නිවසේ ඉවත දමන ප්ලාස්ටික් පොලිතින්වලටත් අගය එකතු කරන දවසක් ගැන බලාපොරොත්තුවක් ඇති කරගන්න ඔබටත් පුළුවන්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️