පුංචි කාලේ පොඩි දරුවන් අහස දිහා බලාගෙන විවිධ ප්‍රශ්න අහනවා. වළාකුළු ගමන් කරන්නේ කොහාටද? කුරුල්ලන් පියාඹන්නේ කොහොමද? මේ වගේ ප්‍රශ්න මව්පියන්ගෙන් අහනවා ඇනී දිව්යාටත් ඒ පොදු ප්‍රශ්න නොතිබුණා නොවේ.ඇය අහස දිහා බලාගෙන මටත් ආසයි කුරුල්ලෙක් වගේ අහසේ පියඔන්න. ඔයාට පියඹන්න නම් අත්තටු ඕන. කුරුල්ලන්ට අත්තටු තියෙනවා. හැබැයි දුවේ ඔයාට කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. කවදා හෝ පයිලට් කෙනෙක් වෙන්න. එතකොට ඔයාට ඕන විදිහට අහසේ පියාසර කරන්න පුළුවන්. ඇයගේ මව කිව්වා.පියාසර නිලධාරිනියක ලෙසින් අනාගතය ජය ගන්නා සිහිනය ඇගේ හිතට ඇති වුණේ එතැනින් කිව්වොත් නිවැරදියි. මේ වන විට ඉන්දියාවේ ළාබාලතම පියාසර කොමාන්ඩෝවරිය ඇයයි.
පවුලේ ආභාසයක් තිබුණේ නැහැ
පියාසර නිලධාරිනියක ලෙසින් අනාගත සිහිනය වෙනුවෙන් ඇයට පවුලෙන් කිසිම ආභාසයක් ලැබුණේ නැහැ. නමුත් සහයෝගය උපරිම විදිහට ලැබුණා. 1987 වසරේ පන්ජාබයේ පතන්කොට් ප්‍රදේශයේ උපත ලද දිව්‍යා විජයවාද කෙන්ඩ්රය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා.
ඇගේ පාසල් කාලයේදී තම මිතුරු මිතුරියන් අනාගතයේදී වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වීම ගැන අනාගත සිහින ප්‍රකාශ කළත් දිව්‍යාගේ එකම සිහිනය වුණේ පියාසර නිලධාරිනියක ලෙසින් තම වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමයි. ඇය ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණත් ඒ පාඨමාලාවේ රැඳී සිටියේ නැහැ. පියාසර විද්‍යාව පිළිබඳ උපාධි පාඨමාලාවක් තෝරා ගත්තා. ඊට අමතරව ඇය නීති උපාධිය සම්පූර්ණ කළා.
පියාගේ සහයෝගය
පුංචි කාලයේ අම්මා විසින් දිව්‍යාගේ හිතට ඇතුළු කළ අදහස මුදුන්පත් කර ගැනීමට පියාගෙන් විශාල සහයෝගයක් ඇයට ලැබුණා. අම්මා විසින් දිව්‍යාගේ හිතට පියාසර නිලධාරිනියක ලෙසින් ලබා දුන් සිහිනය පියාගේ නිශේධ බලයෙන් ප්‍රතික්ෂේප වුණේ නැත. ඒ ගැන දිව්‍යා ඇගේ වචනයෙන්ම මේ විදිහට සඳහන් කරනවා.මගේ පියා හමුදා සොල්දාදුවෙක් ලෙසින් වෘත්තීය ජීවිතය ආරම්භ කළා.
නමුත් ඔහු වෘත්තීය ජීවිතය තුළ උසස් නිලතල ලබා ගැනීමට පසුබට වුණේ නැහැ. ඔහු තමාගේ වෘත්තිය වෙනුවෙන් කැප වුණා. මම ඒ ගැන හරිම ආඩම්බරයි.ඒ වගේම පියාසර නිලධාරිනියක ලෙසින් අද මේ වගේ කීර්තියක් ලබා ගැනීමට ඔහු ජවය ලබා දුන්නා. පියා බැංකු ණයක් ලබා ගෙන මාව ඉන්දිරා ගාන්ධි පියාසර විදුහලට ඇතුළත් කළා.
භාෂාව ප්‍රශ්ණයක් වුණා
මම උපන් පළාතේ හින්දි කතා කරන අය සුලබයි. ඉංග්‍රීසි ඌරුව අපට නැහැ. මට මේ ප්රශ්නය ඉදිරිපත් කළා. පියාසර නිලධාරිනියක ලෙසින් සේවය කරන විට ලෝකයේ විවිධ රටවල මගීන් සමග සන්නිවේදනය සිදු වෙනවා. මෙහිදී ඉංග්‍රීසි භාෂාව අනිවාර්යයෙන් කතා කරන්න වෙනවා. නමුත් ඉන්දියානු කාන්තාවක් විදිහට ඔබේ උච්චාරණය වෙනස්. ඒ නිසා පියාසර නිලධාරිනියක වීමට එය බාධාවක් බැව් බොහෝ දෙනා සඳහන් කළා. නමුත් මම පසුබට වුණේ නැහැ.
පුරුෂාධිපත්‍ය පාලනයක්
පියාසර පාසලේ පුරුෂාධිපත්‍ය ඉතා තදින් තිබුණා. එක්තරා රටකින් පැමිණි ශිෂ්‍යයෙක් මට මෙහෙම කිව්වා. ගැහැනුන් වුණාම පියාසර කිරීම නෙවෙයි, මුළුතැන්ගෙදර වැඩපල කරගෙන ඉන්න ඕන. මේවා පිරිමින්ට ගැළපෙන රස්සාවල්.මම ඔහුට මෙහෙම කිව්වා. හොඳයි මට පියාසර නිලධාරිනියක විදිහට වෘත්තීය ජීවිතයක් ආරම්භ කරන්න ගැහැනුකම මට ගැටලුවක් නොවෙයි.
එය මගේ අයිතියක්. ඔබට ගැටලුවකුත් නොවෙයි. ඉතින් ඔබටත් උයන්න, පිහන්න හැකියාව තිබෙනවා නම් මුළුතැන්ගෙය අකැප නැහැ. රස්සා ගැහැනු පිරිමි විදිහට ගළපන්න බැහැ. සමාජයට අවශ්‍ය විදිහට නොවෙයි, මට ගැළපෙනවා නම් මට හැකියාව තිබෙනවා නම් ඒක මගේ රස්සාව විදිහට තෝරා ගන්නවා. මම ඔහුට පහදා දුන්නා. ඇගේ විශිෂ්ට කැපවීම නිසා ස්පාඤ්ඤයේ පැවැති බෝයිං 737 පුහුණුවෙන් සමත් වුණා. වයස අවුරුදු 21 වනවිට ලන්ඩනයේ බෝයිං 777 ගුවන්යානා පුහුණුවෙන් සමත්ව “air India” ගුවන් සමාගම සමග සේවයට සම්බන්ධ වුණා.
වසර 15 ක සේවය
දිව්‍යා මේ වන විට වසර 15 ක සේවා කාලයක් සපුරා අවසානයි. නමුත් ඇය 2020 වසර ගැන සිහිපත් කරන්නේ ඉතාම සවේදීවයි. කොවිඩ් වසංගතය නිසා ඇගේ සමීප හිත මිතුරන් බොහෝ දෙනෙක් ජීවිතයෙන් සමු ගත්තා. ඒ අමිහිරි මතක තවමත් ඇයගේ හිතට කම්පනයක්.
සමාජ සත්කාර
දිව්‍යා මේ වන විට සමාජ සත්කාර කටයුතු වෙනුවෙන් බෙහෙවින්ම උනන්දුයි. ඇය ලාදුරු රෝහල් වෙනුවෙන් මුල්‍ය පරිත්‍යාග ලබා දී තිබෙනවා. ළමා නිවාස සහ වැඩිහිටි නිවාස වෙනුවෙන් ධන පරිත්‍යාගයෙන් උදව් ලබා දෙනවා. දිව්‍යාගේ පවුලේ සහෝදර සහෝදරියන් විදේශගතව අධ්‍යාපනය ලබන අතර ඒ වෙනුවෙන්ද ඇය උදව් උපකාර ලබා දෙනවා.
මේ සියල්ල තුළ දිව්‍යා ඇය වෙනුවෙන් යමක් කර ගැනීමට උනන්දුවක් නැහැ. මව්පියන් වෙනුවෙන් නිවසක් මිල දී ගත්තත් ඇගේ අනාගතය වෙනුවෙන් සම්පත් එක් රැස් කිරීමක් නැහැ. අනාගතයේදී කාබනික කුරුඳු කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම ඇගේ තවත් ඉලක්කයක් වී තිබෙනවා.මට මගේ අම්මා ඉතා හොඳ පාඩමක් කියා දී තිබෙනවා. අවංක වෙන්න, ශක්තිමත්ව නැගී සිටින්න, නිවැරදි දේ කුමක්ද? එය තෝරා ගන්න. ඊට වඩා වෙනත් සුදුසුකමක් ඇත්තේම නැති බැව් දිව්‍යා සඳහන් කරනවා.
( globle Indian.com ඇසුරෙන්)
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️