නිවසක් පරිපූර්ණ වන්නේ අපි එම නිවසට එකතු කරන ගෘහභාණ්ඩ හා අනෙක් දේවල් එක්ක. නිවසේ ජීව ගුණය රඳා පවතින්නේ ඒ මතයි. අපි නිවසක් නිර්මාණය කරනකොට තිබෙන ඉඩකඩට අදාළව ගෘහභාණ්ඩ ස්ථානගත කිරීම සිදුකරනවා. ඒ අනුව ඕනෑම අයෙකුට එම ඉඩකඩට අදාළව පහසුවෙන් එම ගෘහභාණ්ඩ තබාගැනීමට හැකියාව පවතිනවා.ගෘහභාණ්ඩ තෝරාගැනීමේදී එහි නිර්මාණශීිලී බව, හැඩය, වටිනාකම, දැවමය වටිනාකම සහ සුවපහසු බවද නිමාව සහ වර්ණය වැනි විවිධ කරුණු ගැනද අපි සෑම විටම සැලකිලිමත් වන පොදු කරුණු ලෙස දැක්වීමට පුළුවන්. එයින් ඔබ්බට අප අවධානය යොමු කළ යුතු ප්‍රායෝගික කරුණු කිහිපයක් ගැන උදාහරණ සහිතව මේ ලිපිය මගින් අවධානය යොමු කිරීමටයි මේ සූදානම.
නිවසේ ආකෘතියට දක්වන ගැළපීම
අප විසින් ගෘහභාණ්ඩ තෝරාගැනීමේදී බැලූ බැල්මට දැකුම්කලු නිමාව සහිත ගෘහභාණ්ඩ මිලදී ගැනීමට නිතර නැඹුරුතාවක් දැක්වූවද ඒවා නිවස නිර්මාණය කර ඇති වාස්තු සැලසුමට කොයිතරම් දුරට ගැළපෙනවා දැයි වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඔබ විසින් තොරාගන්නා පුටුවකට වුවද ඔබගේ නිවසේ ඇති වාස්තු සැලසුම සම්පූර්ණයෙන් බිඳ දැමීමට පුළුවන්.
පැරණි නිවසක් සඳහා ගෘහභාණ්ඩ තෝරාගැනීමේදී එම යුගයට අයත් නිමාවන් සහිත ගෘහභාණ්ඩ නැවත තෝරාගැනීම මගින් ගොඩනැගිල්ලේ ද අනෙකුත් ගෘහභාණ්ඩ අතරද සම්බන්ධයක් ගොඩනැගෙනවා.ඒ තුළින් අවකාශයේ ඇති ගුණාත්මක බව වැඩි කරගැනීමට පුළුවන්.
පැරණි නිවසක් අලුත්වැඩියා කිරීමේදී පැරණි පෙනුම පවත්වා ගත්තද විටෙක ඒ සඳහා නවීන ආරයට ගැළපෙන ගෘහභාණ්ඩ තෝරාගැනීම නිසා නිවසේ ඇති සැලසුම නිවැරදිව හඳුනාගැනීම නොහැකි වී යනු ඇත.
එමෙන්ම තිබෙන ඉඩකඩ තුළ යුග දෙකකට අයත් නොගැළපෙන සම්මිශ්‍රණයන් එහිදී දැක ගැනීමට හැකිවේ. ඒ අනුව නිවස යම් ආකාරයකට අලුත්වැඩියාවක් සිදු වී ඇති බවත් එම කොටස සම්පූර්ණ අවකාශයෙන් වෙනම කොටසක් ලෙස කැපී පෙනීමක් පැහැදිලිව දැකගත හැකි වේ.
මේ වන විට වෙළෙඳපොළ තුළ පැරණි නිමාවන් සහිත නිර්මාණය වූ විවිධ මාදලියේ අලංකාර ගෘහභාණ්ඩ විශාල ලෙස දැකගැනීමට පුළුවන්. ඒ අනුව එහිදී ඔබට වඩාත්ම ගැළපෙන දෑ තෝරා ගැනීමට ඔබ උත්සුක විය යුතුය. පැරැණි සංකල්පය අනුව නිමා වූ නිවසක අනෙක් ගෘහභාණ්ඩ සමග නවීන පන්නයේ සෝෆා ආලින්දයට එකතු කර තිබීම සමාජයේ බහුලව දකින්නට ඇති වරදක් ලෙස පෙන්වා දිය හැක.
නවීන සංකල්පයකට අනුව නිමවූ නිවාස වලදීද ඉතා සැහැල්ලු සරල හැඩතල සහිත නවීන පන්නයේ ගෘහභාණ්ඩ තෝරා ගැනීමට හැකියාව ඇත. මෑත කාලයේ ඉතා අඩු ඉඩ ප්‍රමාණයක නිර්මාණය වන නිවාස බහුල බැවින් සීමා සහිත ඉඩකඩ විශාල කර දැක්වීමට අවකාශයේ ඇහිරී ඇති බවක් නොදැනෙන ලෙස සරල සැහැල්ලු ගෘහභාණ්ඩ යොදාගැනීම මගින් ජීවන වටපිටාව පහසුකර ගැනීමේ හැකියාව ඔබට ඇත.
ගෘහභාණ්ඩවල ප්‍රමාණය
ඉතා වැදගත් කරුණක් ලෙස ඉඩෙහි ප්‍රමාණය අනුව ගෘහභාණ්ඩ තෝරාගැනීම් දැක්විය හැක. අලංකාර වූ පමණින් ගෘහභාණ්ඩ නිවසට ගෙනයෑම නොකළ යුත්තකි. ඔබගේ අවශ්‍යතාව අනුව ගෘහභාණ්ඩ තෝරාගත් පසු එය නිවසේ සැලසුමට අනුව, තැන්පත් කරන ස්ථානයේ මිනුම්ද ලබාගෙන භාණ්ඩයේ දිග පළල අනුව ගැළපේදැයි ද තීරණය කළ යුතුය.
ඒ අදාළ අවකාශය තුළ ගෘහභාණ්ඩ තැන්පත් කළ පසු ඒ අවකාශයේ පරිමාවට අනුරූප බව ඇතුළත ගෘහභාණ්ඩයේ පරිමාව අනුරූපයට සමාන වූ විට එය තුළින් අවකාශයේ ගුණාත්මක බව වැඩිවේ. භාණ්ඩ තැන්පත් කිරීමේදී නිවසේ ඇවිදින ඉඩට අවහිරයක් නොවන ලෙස ඔබගේ ගෘහභාණ්ඩයේ ප්‍රමාණය තීරණය කළ යුතු වේ.
එසේ නොවන අවස්ථාවක් ලෙස ඔබ යම් ස්ථානවලින් ගමන් ගන්නා විට ඔබේ පාදය පුටුවක හෝ වෙනත් ගෘහභාණ්ඩයක වැදී ඔබ වේදනාවට පත්වන අවස්ථා ගැන ඔබට අත්දැකීම් ඕන තරම් ඇත.
නිදන කාමරය තුළ ඇඳ තබාගත් පසු ඉඩකඩ මදි කියමින් ඔබ නගන මැසිවිලි මීට කදිම උදාහරණ වේ. ගෘහභාණ්ඩ තෝරා ගැනීමේදී හැකිතාක් ඔබට අවශ්‍යම ගෘහභාණ්ඩ පමණක් අවශ්‍ය ප්‍රමාණවලින් තෝරාගන්න උනන්දු වන්න. ගෘහභාණ්ඩ අවම වූ තරමට ඉඩකඩ විශාල වේ. සැහැල්ලුව, නිදහස අවකාශයට එකතු වේ.
ඒ තුළින් ඔබේ නිවසට ගුණාත්මක වටිනාකමක් එකතු වෙයි. නිතර දකින ගෘහභාණ්ඩ වෙනුවට දුර්ලභව දැකිය හැකි වෙනස් ආකාරයේ ගෘහභාණ්ඩ නිර්මාණ නිතරම තෝරාගැනීමට උත්සාහ කරන්න.
එමගින් නිවසට ආවේණික බවක් හා දුටුවන්ගේ මතකයේ රැඳෙන සුන්දර තැනක් බවට එම නිවස පත්කර ගැනීමට ඔබටත් හැකිවේ. අවශ්‍ය ස්ථානවලට පමණක් කැපී පෙනෙන වර්ණ භාවිත කරන්න. අනෙක් ස්ථානවලට ඇසට අපහසුවක් නොවන වර්ණ සහිත ගෘහභාණ්ඩ තෝරාගන්න.
ගොඩනැගිලි සැලසුම් තාක්ෂණවේදී
අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පිනී
කවිෂා පෙරේරා
Viharaa HomeDesign
අර්චිත ඉඳුවර ✍️