දේශගුණ විපර්යාසයන් නිසා අද ලෝකය පුරා අධික උෂ්ණත්වය පිළිබඳව වූ අරගලයට අප හැම දෙනාම මුහුණ දී සිටින්නෙමු. මේ අඛණ්ඩ අරගලය ඉදිරියේ අප විසින් අඳින ඇඳුම් පිළිබඳවත් යම් යම් සීමාවන් පනවා ගැනීම ගැන පර්යේෂකයන්ගේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව කාලගුණ තත්ත්වයට සුදුසු ඇඳුම් ඇඳීම නිසා බලශක්තිය ඉතිරි කර ගැනීම, හරිතාගාර වායු විමෝචනය අවම කර ගැනීම සහ මුදල් ඉතිරි කර ගැනීමේ හැකියාව ඇති බැව් පර්යේෂකයින් විසින් මේ වන විටත් හඳුනා ගෙන අවසානය.
කළු සහ සුදු ඇඳුම්
කළු වර්ණය ආලෝකය අවශෝෂණය කරන අතර සුදු වර්ණය සූර්යාලෝකය පරාවර්තනය කරනු ලබනවා. ඒ නිසා බොහෝ දෙනෙක් ගිම්හාන කාලයේදී සුදු වර්ණයෙන් යුක්ත වූ ඇඳුම් ඇඳීමට වැඩි නැඹුරුතාවයක් දක්වනවා. නමුත් සුදු ඇඳුමක් ඇඳීමෙන් සූර්යාලෝකය පරාවර්තනය වීමක් සිදු වුණත් ඒ සඳහා අප අඳින ඇඳුමේ හැඩය, එහි ඝනකම සහ ඒ අඳින ඇඳුම ශරීරයේ හැඩයට අනුකුලව පවතින්නේද යන්නත් සාකච්ඡාවට යොමු කළ යුතු තත්ත්වයක් බවට පත්ව තිබෙනවා. 1980 වසරේදී අප්‍රිකාවේ කාන්තාර ප්‍රදේශ මැදපෙරදිග සහ අරාබි අර්ධද්වීපයේ ආදීවාසි සංචාරක බෙඩුවින් ගෝත්‍රික ජනතාව කළු සහ සුදු වර්ණයෙන් යුක්ත ඇඳුම් ඇඳ සිටන්නේ ඇයි යන්න අධ්‍යයනයට යොමු වී තිබුණා.
කළු ඉතා හොඳ තාප විකිරණයක්. එයින් අදහස් වන්නේ ශරීරයෙන් පිටවෙන තාපය අවශෝෂණය කර ගන්නා බවයි. ඒ නිසා ඔබේ ශරීරය සිසිල් වීමට පුළුවන්. “බෙඩුවින්” ජනතාව සුළං සහිත කාලවලදී ලිහිල් කළු ඇඳුම් අඳින අතර ඒ නිසා රෙදි සහ සම අතර අවකාශයයේ ඇති උණුසුම ඉහළට වායුධාරාවක් ලෙස ගමන් කිරීම සිදු වෙනවා. ඒ නිසා ශරීරයට සිසිල්බවක් දැනෙනවා. ඒ අනුව “බෙඩුවින්” ජනතාව කළු වස්ත්‍රයක් ඇඳ සිටියාම අවශෝෂණය කර ගන්නා තාපය සමට ළඟා වීමට පෙරාතුව නැති වී යනවා. අපගේ ශරීරයෙන් නිකුත් වන තාපය සුදු ඇඳුම්වල ගැටුන පසු එය නැවත අප දෙසටම පරාවර්තනය වෙනවා.
ඇඳුමේ හැඩය
ඇඳුමේ වර්ණයට වඩා හැඩයත් ඉතා වැදගත්. ඔබ සිරුරට තද ඇඳුම් අඳිනවා නම් සුදු පැහැයේ ඇඳුම් සුදුසුයි. ක්‍රීඩා කිරීමේදී අඳින පෝලෝ කමිස වෙනුවෙන් භාවිත කරන “සියර්සකර්” සහ “පීක්” වැනි රෙදි ශරීරයට ඇලී පවතිනවාට වඩා ඔබේ සම සහ රෙදි අතර පරතරය පවත්වා ගෙන යෑමට උපකාරී වෙනවා.
අමුද්‍රව්‍යත් වැදගත්
මෝස්තර ශිල්පිනියක මෙන්ම විලාසිතා රචිකාවක වන හෙදර් නිව්බර්ගර් සඳහන් කරන අන්දමට “ඩෙනිම් ජම්ප් සූට්” එකක් ඇඳ ගෙන සිටින විට ගෝස් හෝ ෂිෆොන්වලින් නිම කරන ලද ඇඳුමක් ඇඳ ගෙන සිටින අයෙකුට වඩා උණුසුමක් දැනෙනවා. කපු සහ සිල්ක් වැනි අමුද්‍රව්‍යකින් සාදන ලද රෙදි ගොතන රෙදිවලට වඩා ලිහිල් බවකින් යුක්තයි. ඇඳුමකින් දහඩිය වාෂ්ප වීම අවහිර නොවිය යුතුයි. එය ජලවාෂ්ප ගමන් කිරීමට සුදුසු ලෙසින් වූ රෙදි වර්ගයකින් නිර්මාණය වීම වැදගත්.
අග්නිදිග ලුසියානා විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය රෙට් ඇලන් පෙන්වා දෙන අන්දමට ක්‍රීඩා ඇඳුම් නිර්මාණය කිරීමේදී දැන් නව අමුද්‍රව්‍ය යොදා ගැනීම සිදු වෙනවා. මේ වෙනුවෙන් කපු යොදා ගැනීම එතරම් සුදුසු නැති බැව් මහාචාර්ය රෙට් සඳහන් කරනවා.
නයිකි සහ අඩිඩාස් වැනි සමාගම් විසින් ස්මාර්ට් රෙදිපිළි නිර්මාණයට මිලියන ගණනක් මුදල් ආයෝජනය කරන අතර දැන් විද්‍යාඥයන් විසින් සිරුර සිසිල් කිරීමේ රෙදි පිළි මොනවාදැයි විද්‍යාත්මක අධ්‍යයනයන්හි නිරතව සිටියි. මේ නිසා MIT විද්‍යාඥයන්ගේ හඳුනා ගැනීමට අනුව සූර්යාලෝකය පරාවර්තනය කරන, අවශෝෂණය නොවන නමුත් අධෝරක්ත කිරණ විනිවිදව ගමන් කරන, අමුද්‍රව්‍ය සහ සම අතර සිරවීමට වඩා තාපය ශරීරයෙන් පිටවීම වැනි ගුණාංග රාශියක් ඔවුන්ගේ නිර්ණායකයන්ට ඇතුළත්.
මේ අනුව මයික්‍රොමීටරයක් පමණ විෂ්කම්භයකින් යුක්ත නයිලෝන් සහ පොලියෙස්ටර් තන්තු තුනී කරන ඒවා මයික්‍රොමීටර් 30 ක ඝනකම ඇති නූල් බවට පත් කර ගැනීමෙන් එය අඳින පුද්ගලයාට වඩතේ සුවපහසු උෂ්ණත්වයක් පවත්වා ගත හැකි බැව් ඔවුන්ගේ අදහසයි. ඊට අමතරව එක්සත් ජනපදයේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් විසින් වෙනත් අමුද්‍රව්‍ය ආලේප කරන ලද කෘත්‍රිම තන්තු නිපදවා ඇති අතර ඒවා බාහිර තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ව්‍යුහය වෙනස් කර ගැනීම සිදු කරනවා. එවිට උෂ්ණත්වය ඉහළ යන විට තාපය නිකුත් කරනවා.නූල් අතර සංකෝචනය සහ ප්‍රසාරනය මගින් තන්තු අතර අවකාශය වෙනස් කරන නිසා රෙදිපිළි තුළට මනා වාතාශ්‍රයක් ලැබෙන අතර තාපය විමෝචනය කිරීමට ඉඩ සලසා දෙනවා. එවිට ඇඳුම නිසා කිසිම අපහසුතාවයක් ඇති වෙන්නේ නැහැ.
අධෝරක්ත කිරණ හා ඇඳුම්
සියලුම රෙදිපිළි වලින් අපේ ශරීරයෙන් නිකුත් කරන අධෝරක්ත කිරණ යම් ප්‍රමාණයකට ග්‍රහණය කර ගැනීම සිදු වෙනවා. ඒ නිසා සීතල කාලගුණයකදී අපව උණුසුම්ව තබා ගැනීම සිදු වෙනවා. නමුත් උණුසුම් දිනයකදී එය සුදුසු නැහැ. එවැනි දිනයන්හි අපේ ශරීරය සහ ඇඳුම අතර වාතයට ගමන් කළ හැකි ඉඩක් තිබිය යුතු ඇඳුමක් ඇඳීම වැදගත්. ස්වභාවික කපු, ලිනන්, නයිලෝන් සහ පොලියෙස්ටර් ලෙස රෙදි වර්ග කර තිබෙනවා. මේ රෙදිවලින් දහඩිය සහ තාපය උරා ගන්නා නිසා ඒවා සක්‍රීය ලෙසින් ශරීරයෙන් ජලය උරා ගන්නා රෙදි වර්ගවල වඩා වෙනස් බැව් පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා.
කපු රෙදි ඉක්මනින් තෙතමනය අවශෝෂණය කර ගන්නා නමුත් ඉක්මනින් වියලීමක් සිදු වන්නේ නැහැ. එය ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති. ඔබට අධික ලෙස දහඩිය දමනවා නම් ඇඳුම තෙත් වෙනවා ඉක්මනින් වියලීමක් සිදු වෙන්නේ නැහැ. ලිනන් ඇඳුමක ඇති තන්තු නිසා ශරීරය සහ ඇඳුම අතර වාතය ගමන් කිරීමේ හැකියාවක් තිබුණත් කපු මෙන්ම එයද ඉක්මනින් වියලීමක් සිදු වෙන්නේ නැහැ. මෙරිනෝ වූල් රෙදි වලින් ශරීරය සහ ඇඳුම අතර වාතය ගමන් කිරීමේ හැකියාව සහ ගන්ධයක් නිකුත් නොකරන නිසා එළිමහනේ කාලය ගත කිරීමට කැමැත්තක් දක්වන අය අතර ජනප්‍රිය තේරීමක් වී තිබෙනවා.
නයිලෝන් සහ පොලියෙස්ටර්
නයිලෝන් සහ පොලියෙස්ටර් බොහෝ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් වූ ඇඳුම් සඳහා යොදා ගන්නවා. ඒවායේ තෙතමනය ඉවත් වී ඉක්මනින් වියලෙනවා. නමුත් ගන්ධය රැඳී තිබෙනවා. මේ රෙදි වර්ග අතරින් නයිලෝන්වලට තෙතමනය අවශෝෂණය කර ගැනීමේ ඉහළ හැකියාවක් තිබෙන අතර එය පුළුල් ප්‍රදේශයක් කරා පැතිරීමෙන් වාෂ්පීකරණය ඉක්මන් කරනවා. නමුත් වියලීම ප්‍රමාදයි. මේ නිසා නයිලෝන් සහ පොලියෙස්ටර් වැනි කෘත්‍රිම තන්තුවලින් සාදන ලද ඇඳුම් තෙත් වූ විට අපහසුවක් දැනෙන නිසා එක් අධ්‍යයන වාර්තාවක දක්වා ඇත්තේ උණවලින් සාදන ලද ඇඳුම් වඩාත් යෝග්‍ය බවයි. උණවල තාප සන්නායකතාව පහළ මට්ටමක පවතින නමුත් සුවපහසු බව අහිමි නොකරයි.
ඇඳුම් ගලවා ඉන්න
මේ අතර එක්සත් රාජධානියේ ලෙස්ටෂයර්හි ලෆ්බරා විශ්වවිද්‍යාලයේ පාරිසරික කායික විද්‍යාව සහ ශ්‍රමක්ෂතා විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෝර්ජ් හැවනීන් සඳහන් කරන්නේ ඔබට ඇත්තටම සිසිල්ව සිටීමට අවශ්‍ය නම් ඇඳුම් සම්පූර්ණයෙන්ම ගලවා දමන්න. නමුත් එය සුදුසු නම් පමණයි. ඇඳුම ඔබේ සම පිළිස්සීමෙන් ආරක්ෂා කරනවා. එය ඇත්ත. නමුත් නිරුවතින් සිටීම සිසිල්වීමට වඩාත් සුදුසුයි. ඔබ අඳින ඇඳුම නිසා සම සහ වාතය අතර වාෂ්පීකරණ තාප හුවමාරුව සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙන බැව් මහාචාර්ය ජෝර්ජ් සඳහන් කරනවා.
(බී. බී. සී පුවත් ඇසුරෙන්)
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️