ආදරේ කියන්නෙම පුළුල් මාතෘකාවක්. නමුත් බහුතරයකට ආදරය ගැන තියෙන්නේ වැරදි ආකල්පයක්. ඒකට එක හේතුවක් තමයි අපි ආදරය ලබන්න කැමති විදිහ. අපි හිතාගෙන ඉන්නවා අපි ආදරය ලබන්න කැමති විදිහ තමයි ඇත්ත ආදරය කියලා. හිතින් මවාගෙන ඉන්නවා පාට්නර්ගෙන් ලැබෙන්න ඕනෙ මේ වගේ ආදරයක් කියලා. ඒත් ආදරේට කිසිම හැඩයක්, ස්වරූපයක් නෑ. ආදරයක් කියන්නේ ස්වභාවධර්මයේ උවමනාවට දෙන්නෙක් එකතු කරන්න දරන උත්සාහයකට. මොකද වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් ඒ දෙන්නා එකතු වෙන්නම ඕනේ. මුලින්ම දෙන්නෙක් අතර ඇතිවන ආකර්ෂණය ආදරයකට පෙරලගන්නම ඕනේ.
අපි ඕන තරම් දැකල තියෙනවනේ සමරිසි ආදර කතා. ඒ කියන්නේ ගෑනු කෙනෙක් ගෑනු කෙනෙක්ට ආදරෙයි, පිරිමි කෙනෙක් පිරිමි කෙනෙක්ට ආදරෙයි. හැබැයි ලංකාව වගේ රටවල ඒවා ස්වභාවිකයි කියලා පිළිගන්නේ නෑ. නමුත් ඒ ගැන කට නොඇරියාට ඒකත් ස්වභාවික සංසිද්ධියක්. ඇත්තටම මේ ආදරය කියන පෙළඹවීම පිටිපස්සෙ තියෙන්නෙ හෝමෝන ක්‍රියාවලියක්.
ඒත් මේක කොච්චර තේරුම් කරන්න ගියත් මිනිස්සු ඒක පිළිගන්නේ නෑ. ඒ වෙනුවට මිනිස්සු අහන්නෙ මොනවද මේ අපි කියන විකාර කතා කියලා. මිනිස්සු හිතන්නේ තමන් යාළු වෙලා ඉන්න ගෑණු ළමයා හෝ පිරිමි ළමයා තමන්ට ආදරේ කරන්න ඕන කියන දේ විතරයි. තමන් හිතාගෙන ඉන්න විදිහේ ආදරයක් අනිත් කෙනාගෙන් ලැබෙන්නේ නැති වුණාම තමයි ආදරේ ඉල්ලලා රණ්ඩු කරන්නේ. කොහොම හරි එයාව තමන්ගේ කරගන්න සටන් කරන්නේ.
ඇත්තම කතාව කවුරුත් ආදරණීය වෙන්න උත්සාහ කරනවා අඩුයි. අනිත් කෙනාව තේරුම් ගන්න උත්සාහ කරනවා අඩුයි. ගොඩක් අය රණ්ඩු වෙන්නෙම ‘ඇයි ඔයාට බැරි මාව තේරුම් ගන්න?’ කියන ප්‍රශ්නෙත් එක්ක. ඊට අමතරව ‘ඇයි ඔයා මට ආදරේ නැත්තේ?’, ඇයි ඔයා අහවලා දිහා බැලුවේ? වගේ ප්‍රශ්න දාගෙනත් රණ්ඩු කරනවා. ඇත්තටම කිව්වොත් ඒක රණ්ඩු කිරිල්ලක්ම නෙවෙයි.
ආදරය ඉල්ලීමක්. එක්කෝ අහන කෙනාට ඒක තේරෙන්නෙ නෑ. නැත්නම් කියන කෙනාට තේරෙන්නේ නෑ. අනිත් කෙනා ගැන ආදරයක් දැනෙන්න එයාගේ මොකක් හරි විශේෂත්වයක් තියෙන්න ඕනේ. කවුරුත් ඇයි ඔයා මට ආදරේ නැත්තේ කියලා අහනවා මිසක් මට ආදරේ කරන්න තරම් මොනවද මං ළඟ තියෙන විශේෂ දේ කියලා අහන් නෑ. කල්පනා කරන්නේ නෑ.
ආදරය කියන්නේ ගනුදෙනුවකට. තමන් හොයන දෙයක් තව කෙනෙක් ළඟ තිබ්බොත් තමයි තමන් එයා ගාවට යන්නේ. නමුත් කවුරුත් මේක ගනුදෙනුවක් කියන දේ පිළිගන්න අකමැතියි. හාල් ගන්න කවුරුත් සිමෙන්ති කඩේකට යන්නේ නෑනේ. හාල් එතන ගන්න තියෙනවනම් විතරයි යන්නෙ. එහෙම නැතුව මුදලාලි සිමෙන්ති විතරක් විකුණ විකුණ ඉඳලා ඇයි මගේ කඩේට එන්නේ නැත්තේ කියලා අහන එකේ තේරුමක් නෑ. ඒ වගේ අනිත් කෙනා ආදරය කරන දෙයක් තමන් ළඟ නැත්නම් ඒ කෙනා තමන් ළඟට එන්නේ නෑ.
ආදරය, විවාහයට කලින් කවුරු එක්ක වුණත් ඇති වෙන්නේ හිතවත්කමක්නේ. හිතවත්කම ඇතුළෙම තියෙනවා වත්කම. ඒ වත්කම ඇතිවෙන්න ඕනි හිතේ. ඒක ලස්සනට, උගත්කමට, සල්ලිවලට වගේ දේවල්වලට ඇතිවෙන්න පුළුවන්. දෙන්නෙක් විවාහ වෙන්නේ සතුටින් ඉන්න. ඒත් තමන් හොයන සතුට අනිත් කෙනාගෙන් ලැබෙන්නේ නැත්නම් එතන සතුටක්, ආදරයක් නෑ.
නමුත් මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් ඉස්සර කරගන්නේ තමන් යාළුවෙලා හිටපු කාලය, කසාද බැඳපු අවුරුදු ගාණ, ළමයි ගාණ. ඒ නිසා අනිත් කෙනා අනිවාර්යයෙන්ම තමන්ට ආදරය කළ යුතුයි කියලා එයාලා හිතනවා. ආදරේ කියන්නේ අවුරුදු ගාණක් යාළුවෙලා ඉඳලා බැන්ද නම් මොන ප්‍රශ්න තිබුණත් එකට ජීවත් වෙන එකට නෙවෙයි. ඒක හිතක ඇතිවෙන හැඟීමක් මිස බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන දේ තේරුම් ගන්න ඕනෙ.
අනිත් කෙනාගේ හිතේ තමන් ගැන වටිනාකමක් හදාගන්න එක තමන්ගේ වැඩක්. තමන්ගේ වටිනාකම අඳුරගෙන ඒක වැඩිදියුණු කරගන්න එක තමන්ගෙ වැඩක්. තමන්ගේ මෙලෝ වටිනාකමක් නැතුව, තව කෙනෙක්ට කතා කරන්න දන්නේ නැතුව, සලකන්න, ගරු කරන්න දන්නේ නැතුව කොහොමද අනිත් කෙනාගෙ හිතේ ආදරයක් ඇතිවෙන්නෙ? එයාට තමන්ව රැකගන්න ඕන කියලා හැඟීමක් පහළ වෙන්නේ? ගරු කිරීමක් නැති තැන ආදරයක් නෑ.
හැම ආගමක ආදරේ තිබුණට ආදරේට ආගමක් නෑ. ඒකනෙ විවිධ ආගම්වල අය එකිනෙකාට ආදරේ කරන්නෙ. මුලින්ම තමන්ගෙ වටිනාකම හදාගන්න. අනිත් කෙනා තමන්ට කැමති වුණේ තමන්ගෙ ලස්සන පෙනුමටනම්, බැන්දට පස්සෙ හැසිරීමේ, ගතිපැවතුම් වල ඒ ලස්සන නැත්නම් වටිනාකම වගේම ආදරෙත් නැති වෙලා යනවා. එහෙම නොවී ඉන්නවනම් ආදරේ ඉල්ල ඉල්ල යන්න ඕනෙ නෑ. ආදරේ කරන්න හේතු නැතුව කවුරුත් ඔයාට ආදරේ කරන්නෙ නෑ.
ආදරේට හැමෝම කැමතියි. ගෑනු ළමයි ඒ අතරින් වැඩියෙන් ආදරේ හොයනවා. මම දන්නවනම් ඔයාට ගොඩක් ආදරේ ඕනෙ කියලා මට පුළුවන් ඔයාට ආදරෙයි කියල පෙන්නන්න. ඒක හරියට දැලට ඇහුවෙනකල් මාළුවෙක්ට දෙන ඇමක් වගේ. ඊටපස්සෙ තමයි බැඳලා කාලයක් ගියාම බිරිඳ සැමියගෙන් අහන්නෙ ‘කෝ මුලින් ඔයා මට පෙන්නපු ආදරේ?’ කියලා. අනිත් කාරණේ ආදරේ දෙන්න කලින් හොඳට හිතලා බලන්න තමන් ළඟ ආදරේ තියෙනවද කියලා.
ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක හා මනෝ චිකිත්සක
ඩී. එස්. හේවගේ
එරංදි කෞශල්‍යා ✍️