බුද්ධ කාලින භාරතයේ පටන් කාන්තාව වෙනුවෙන් සමාජය තුළ වූයේ අතිශයින්ම දුක්ඛදායක පරිසරකි. බාල කාලයේ මව්පියන් යටතේද, තරුණ කාලයේ ස්වාමිපුරුෂයා යටතේද, මහලු කාලයේ දරුවන් යටතේද ඇය නිවැසිය යුතුය. මළ දරුවා කරගසා ගෙන නොමළ ගෙයකින් අබ මිටක් ඉල්ලමින් ගිය කිසාගෝතමියද දරුවන් සහ සැමියා මිය ගිය නිසා උමතු බවට පත් පටාචාරාද බුදු පුතු පිටුපසින් ගිය කුමාර කාශ්‍යප මාතාවද මේ සෑම සිදුවීමක් පිටුපසින්ම ඇත්තේ මව් ගුණයයි.
බුදුරජාණන් වහන්සේ අම්මා දෙවැනි බුදුන් තරම් උතුම් යැයි වදාළ සේක. දරුවකු ගැන සියයට සියයක් දන්නේ මවකි. කොටින්ම පියා හෝ දරුවා ගැන සියයට සියයක් දන්නේ නැත. බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයම දැනවදාළ නිසා අපි උන්වහන්සේ අමාමෑණියන් ලෙසින් හඳුන්වමු. මවක් දරුවා ගැන සියයට සියයක්ම දන්නා නිසා ඇය “දෙවැනි බුදුන්” ලෙසින් හැඳින්වෙනවා.
මගෙ පුතේ නුඹ බුදුවේවා. ඒ අම්මාගේ වචනයේ ශක්තියයි. ඒ ආශිර්වාදයෙන්ම මතු බුදුවීමට අප බෝසතාණන් වහන්සේ විවරණ ලැබූහ. අම්මා අප දැනහඳුනාගෙන ඇත්තේ උත්තරීතර චරිතයක් ලෙසටයි.බ්‍රාහ්මණ සමාජය විසින් ස්ත්‍රි බුද්ධිං විනාසාය යනුවෙන් යම් තැනක කාන්තාව ආධිපත්‍ය දරන්නේ නම් එතැන ඇත්තේ විනාසයයි යනුවෙන් අර්ථ කථනය කළත් එදා පටන් අද දක්වා කාන්තා නායකත්වයෙන් ලෝකයට ලද ආලෝකය සුළුපටු නැත.
ද්වංගුල පඤ්ඤා හෙවත් දැඟුල් නුවණැත්තියක් යන ලේබලය තුළ මානව අයිතිවාසිකම් ඇහිරි සිය යුතුකම් පමණක් ඉටු කිරිමේ මෙහෙවර වෙනුවෙන් ඇගේ ජිවිතය සිමා විය. දරුවන් හදාවඩා ගෙන හොද්දට ලුණු ඇඹුල් දමන පදම ඉගෙන ගැනීම හොඳටම සෑහෙනු ඇතැයි එදා කාන්තාව මුල්කර ගත් ආකල්පය විය. බුදුරජාණන් වහන්සේ විසින් කාන්තාවන්ගේ ජිවිතයට ලබාදුන් ආලෝකය අසිමිතය. අනුවණ පුතෙකුට වඩා නුවණැති දියණියකගෙන් පවුලට ලැබෙන ශක්තිය ගැන බුදුරජාණන් වහන්සේ විසින් ඇගයිමෙන් දේශනා කළහ. අද වන විට ඉංජිනේරු, අභ්‍යවකාශ, වෛද්‍ය, මානව සම්පත් කළමනාකරණ, විධායක වැනි විවිධ ශ්‍රේණිවල පටන් කාන්තාවගේ දායකත්වය සුළුපටු නැත.
කාන්තා භුමිකාව පවුලේ ආලෝකයයි
මව්පිය සෙවණේ සුරතලයට හැදෙන වැඩෙන දියණිය මතුයම් දිනක ඇයගේ අනාගතය වෙනුවෙන් වූ පවුලක් නිර්මාණය කරගන්නීය. ලෝකයේ පැවැත්ම එයයි. කාන්තාවකගේ විවාහය ජීවිතයේ තවත් හැරවුම් ලක්ෂයකි.ඒ වගේම එය පිරිමියෙකුගේ දෙවැනි උපතයි. කාන්තාවකගේ හැසිරීම අනුව පවුලේ භුමිකාව හැඩගැසෙනු ඇත. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව පවුලක කාන්තාවකගේ ගති පැවැතුම් අනුව සැමියාගේ දරුවන්ගේ වගකීම් සහ යුතුකම් සම්භාරයක් ඇය විසින් දරාගෙන සිටින්නීය.
පුබ්බුට්ඨායිනෝ ( සැමටම පළමුව අවදි වීම )
ඔබ මේ ගීතය අසා ඇති.‘ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩිනා’ අපි එය අත්දැකීමෙන්ම දනිමු. නිවසේ කටයුතු වෙනුවෙන් ඇය අනලස්ය. කැපවීමෙන් කටයුතු කරන්නීය. වගකීම් පැහැර නොහැර සැමියා සහ දරුවන්ගේ සුඛවිහරනය වෙනුවෙන්ම සැදී පැහැදී සිටින්නීය.
කාලය සමග වෙනස්වීම
අද වන විට කාලය සමග මෙම ගති පැවැතුම් වෙනස් වීමටත් හේතු වී තිබෙනවා. පාන්දර අවදි වී ආහාර සකස් කිරීම වෙනුවට මැදියම් රාත්‍රිය පුරා සමාජජාලාවන්හි සැරි සැරීම නිසා නිවසේ කටයුතු වෙනුවෙන් කාලයක් නැති කාන්තාවන්ද අද නැතුවා නොවේ. ඒ නිසා කුමක් හෝ ක්ෂණික ආහාරයක් හෝ වෙළෙඳපොළෙන් මිලදී ගත් ආහාරයකින් පවුලේ කුස පුරවන කාන්තාවන් නිසා සැමියා ඇතුළු පවුලේ දරුවන් නිදන්ගත රෝග තත්වයන්හි ගොදුරක් බවට පත්වීමේ චෝදනාවත් බාරගැනීමට සිදුවන බැව් කනගාටුවෙන් වුණත් සඳහන් කිරීමට සිදුවනවා.
පච්ඡානිපාතියෝ :සැමටම පසුව නිදා ගැනීම.
අතීතයේ කාන්තාවන් රැකියාවන්හි නිරත නොවූ නිසා ඔවුන්ගේ භුමිකාව වූයේ පවුල පමණයි. නමුත් අද රැකියාව සහ අන්තර් පුද්ගල සම්බන්ධතාවයන්ගේ පුළුල් වීම නිසා ඔවුන් කාර්ය බහුලයි. ඒ නිසා සැමටම පසුව නිදාගැනීම ගැන අද කතාබහ කිරීමත් යම් තාක් දුරකට අපහසු තත්ත්වයකි.
නමුත් එදා නිවස බෙහෙවින්ම පිරිසිදුව, පිළිවෙළට තබාගැනීමට කාන්තාවකගේ මෙම හැසිරීම් රටාව උපකාරී විය. මුළුතැන්ගෙය අපිරිසිදුව තිබුණොත් ශ්‍රියා කාන්තාව උරණ වන බවට වූ විශ්වාසය නිසා නින්දට පෙරාතුව මුළුතැන්ගෙය පිරිසිදු කිරීම ඇගේ විශාල වගකීමක් ලෙස සලකන ලදි.
ඒ නිසාම නිවසේ මුළුතැන්ගේ පැවැති පිරිසිදුබව ගැන කතා කිරීමට දෙයක් තිබුණේම නැත.නමුත් අද කාන්තාවන්ගේ ජීවන රටාව නිසාම නින්දට යෑම ප්‍රමාද කිරීම අපහසුය. පවුලේ සාමාජිකයන් රාත්‍රි ආහාරය ගැනීමට වෙලාවක් කලාවක් නැත. ඒ නිසා පිඟන් කෝප්ප, වළං ආදිය ඉඳුල් පිටින්ම මේසය මතය. ඒ නිසාම කූඹින්, කැරපොත්තන්, මීයන් වැනි සතුන්ගේ බෝ වීම නිසා නිවස අපායක් බවට පත්වීම ගැනත් දැන් සිතන්නට කාලය එළැඹ තිබේ.
මනාපචාරියෝ ( සිත සතුටු වන සේ ප්‍රසන්න බව )
අතීතයේ කාන්තාවන්ට අද මෙන් වෛවාරණ ලෝකයක් තිබුණේ නැත. තමන්ගේ ඇඳුම් දෙක තුන වුණත් සෝදා පිරිසිදුව ඇන්ද අතර හිසකෙස් මනා සේ පීරා දුටුවන්ට ප්‍රිය උපදවන සේ සිටි බැව් අපි දනිමු.
පෙකනිය නොදක්වා -සළු ඇඳ බොලට දක්වා
එදා කුල කාන්තාවකගේ ඇඳුමෙන් පෙකනිය ප්‍රදර්ශනය වෙන්න බැහැ. ඒ වගේම ඇඳුම ඇස්වටය ළඟට තියෙන්න අවශ්‍යයි. නමුත් අද වෙන විට එදා ප්‍රදර්ශනය නොකළ යුතු බවට දැක්වූ අවයව ප්‍රදර්ශනය කිරීමට අද කාන්තාවන් බියක් නැත. විලාසිතාවන් කිරීමට කාන්තාවන්ට කිසිම බාධාවක් නැත. නමුත් එහි සීමාවන් දැනගෙන කටයුතු කිරීමත් වැදගත්ය.
පියවාදිනියෝ ( ප්‍රිය වචනයෙන් කතාකිරීම )
කාන්තාවකගේ බාහිර පෙනුමෙන් දකින, අප සිතන මෘදුබව ඇගේ වචනවල මෙන්ම හදවතේද තිබීම ඉතා වැදගත්. නමුත් ඇතැම් කාන්තාවන්ගේ “කටේ කෙටේරි “හෙවත් වචන ඉතා දරුණුය. දරුවන්ට පමණක් නොව, සැමියාට, සැමියාගේ පාර්ශවයේ ඥාතීන්ට නිගරු කිරීමට දරුණු ලෙසින් වචන භාවිත කරන බැව් රහසක් නොවේ. නමුත් බෞද්ධ ඉගැන්වීම් තුළ ශික්ෂණය ලත් කාන්තාවක් කිසිදු දිනක එවැනි වචන භාවිත කරන්නේ නැත. ඇගේ වචන මී පැණි සේ මිහිරිය. ඕනෑම රිදුන බිඳුණ හදවතක් සුවපත් කළ හැක.
රාජකීය පණ්ඩිත,
පූජ්‍ය කරවිලකොටුවේ ධම්මතිලක හිමි
සහකාර අධ්‍යක්ෂ
(පිරිවෙන්) අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය, බත්තරමුල්ල
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️