දියණියක්, තරුණියක්, බිරිඳක් මෙන්ම මවක් ලෙසින් විවිධ භූමිකාවන් රාශියක් ජිවිතය තුළ නිරූපණය කරනු ලබන කාන්තාව වර්තමානය වනවිට බහුල ලෙසින් ප්‍රචණ්ඩත්වයට හා ලිංගික හිංසනයන්ට ලක්වන ප්‍රවණතාවක් පෙනෙන්නට තිබේ. විශේෂයෙන් රැකියා ස්ථානයේදී කාන්තාවන්ට එරෙහිව ඇතිවන ප්රචණ්ඩත්වය සහ ලිංගික හිංසනය වර්තමානයේ සුලබ තත්ත්වයකි. මෙහිදී ගැටලුව වන්නේ එයට මුහුණ පාන කාන්තාවන්ගෙන් බහුතරයක් තමන් ලිංගික හිරිහැරයට හෝ අසාධාරණයකට ගොදුරු වන බව හොඳින්ම දන්නා නමුත් විවිධ සාමාජීය සහ පෞද්ගලික කරුණු හේතුවෙන් නිහඬව සිටීමයි.
තමන් වින්දිතයන් වුවත් සමාජය වරද තමන්ට වෙත පවරනු ඇතැයි හෝ තමාට අපකීර්තියක් ඇතිවෙ යැයි බියෙන් කාන්තාවන් විසින් නීතිමය වශයෙන් මෙවැනි අපරාධයන්ට සහ තමන්ට එරෙහිව සිදු වන අසාධාරණ ක්‍රියාවන්ට එරෙහිව පියවර ගැනීමට මැළිකමක් දක්වනු ලබයි.
බොහෝ කාන්තාවන් වර්තමානයේ රැකියාවන්හි නියුතු වේ. රැකියා ස්ථානයද ලිංගික හිංසනයන් නිරතුරුව සිදුවන පරිසරයකි. වාචිකව ලිංගික හිරිහැර සිදු වීම, කාන්තාවගේ විරෝධය නොතකා සිදු කරන ලිංගික ස්පර්ශය, ලිංගික අතවර සිදු කිරීම, සයිබර් හිරිහැර කිරීම් රැකියා ස්ථානයේදී ලිංගික හිංසනයන් සිදු වන ක්‍රම අතර වේ.මීට අමතරව කාන්තාවන්ට රැකියා ස්ථානයේදී සිදු විය හැකි තවත් හිංසනයන් බොහෝ පවතී. මාතෘ නිවාඩු හෝ කාන්තාවකට හිමි නිවාඩු නිසියාකාරව ලබා ගැනීමට ඉඩ නොදීම, රාජකාරි වේලාවෙන් පසුවත් සේවා ස්ථානයේ රැකියා කිරීමට සිදු වීම, රාත්‍රී කාලයේ වැඩ කිරීමට නියමිතව ඇති කාන්තාවකට ආහාර, විවේක කාමර ආදී නිසි පහසුකම් සපයා නොදීම ආදිය වේ.
රැකියා ස්ථානයේදී කාන්තා හිංසනයන් වැළැක්වීම පිළිබඳව ඉතා සාධනීය නෛතික ප්රතිපාදනයන් අප අසල්වැසි ඉන්දියාවෙන් සොයා ගත හැකිය. මෙම සාධනීය තත්ත්වයට මූල බීජ සැපයුවේ භාන්වරී දේවි නම් කාන්තාවගේ ඛේදාන්තයයි. ඇය රාජස්ථාන් ප්‍රාන්තයේ රාජ්‍යය නොවන සංවිධානයක සේවයේ නියුතුව සිටිය අතර ළමා විවාහ වැළැක්වීම සඳහා තම සේවය ලබා දුන්නාය.
මේ රාජකාරී කටයුතු අතරතුරදී ඇය සමූහ දූෂණයකට ලක් වන්නේ ප්‍රදේශයේ ප්‍රභූ කුලවන්තයන් සමූහයක් වෙතිනි. යුක්තිය පතා අධිකරණයට ගිය භාන්වරී දේවියට එහිදී සාධාරණයක් ඉටු නොවීය. නමුත් අධිකරණ තීරණයෙන් අතෘප්තියට පත් ඇය වෙනුවෙන් විශාඛා නම් වූ කාන්තා සංවිධානයක් ඉදිරිපත්වූ අතර අප්‍රසන්න සමූහ දූෂිතයන්ට එරෙහිව භාන්වරී දේවිය වෙනුවෙන් මෙම සංවිධානය විසින් ඉන්දීය ශ්‍රේෂ්ඨධිකරණයේ නඩුවක් ගොනු කරන ලදී.
නඩු විභාගයෙන් අනතුරුව ඉන්දීය ශ්‍රේෂ්ඨධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් සමඟ මාර්ගෝපදේශ කට්ටලයක් ලබා දුන් අතර විශාඛා එදිරිව රාජස්ථාන් ප්‍රාන්තය නම් වූ එම නඩු තීන්දුව හා ගරු අධිකරණය ලබා දුන් මාර්ගෝපදේශ පද්ධතිය සුපතල වූයේ Visaka Guildlines නමිනි. මේ මඟින් සේවා ස්ථනයක් තුළදී කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයන් වැළැක්වීමේ පියවරයන් රාශියක් දක්වා ඇත.ලිංගික හිරිහැර වැළක්වීම එවැනි හැසිරීම් වලට අකැමැත්ත ප්‍රකාශ කළ පසුත් බලපෑම් එල්ල කිරීම, ලිංගික ස්වභාවයේ අනවශ්‍ය වාචික හෝ වාචික නොවන හැසිරීම් සිදු කිරීම මෙමඟින් වැළක්විය යුතු බවට අර්ථ දක්වා ඇත.
රජයේ/පෞද්ගලික/ ස්වෙච්ඡා සේවයේ යෙදෙන ඕනෑම වින්දිතයෙකුට, මෙවැනි හැසිරීමක් පිළිබඳව සාධාරණ බියක් ඇතිවන අවස්ථාවක ඉදිරියට පැමිණිම මේ මඟින් දිරි ගන්වා ඇත.මේ අනුව ලිංගික හිරිහැර යනු ශාරීරික හිරිහැරම නොවන අතර අසභ්‍ය විහිළු කිරීම, වාචික අපයෝජනය, අසභ්‍ය කටකතා පැතිරවීම යනාදිය මගින් මානසික පීඩාකාරී පරිසරයක් නිර්මාණය කරන ඕනෑම ක්‍රියාවක් ලිංගික හිරිහැරයක් ලෙස සැලකේ. එමෙන්ම ආයතනය විසින් මෙහිදී වින්දිතයන්ගේ රහස්‍යභාවය සුරැකීමද සිදු කළ යුතුය.
මෙම මාර්ගෝපදේශකයන් මඟින් අභ්‍යන්තර පැමිණිලි කමිටු පවා ආයතනය තුළ පිහිටුවීමට අවශ්‍ය බව දක්වා තිබේ. එසේ නොකරන සේවා යෝජකයන්ට දඩ නියම කිරීම්, එකම වරද කීපවරක් සිදු කරන විට ආයතනයේ ලියාපදිංචිය අහිමි කිරීම වැනි දණ්ඩන ක්‍රියාමාර්ගද ඉන්දීය අධිකරණය විශාඛා මාර්ගෝපදේශයන් තුළ දක්වා ඇත.එමෙන්ම මෙය 2013 රැකියා ස්ථානයේදී කාන්තාවන් ලිංගික හිංසනයන්ගෙන් (වැළක්වීමේ, තහනම් කිරීම් සහ සහන සැලසීමේ) පනත මගින් තහවුරු කරන ලද අතර අද දිනයේ එය නීතියක් ලෙසින් සක්‍රීයව ඇත.
ශ්‍රී ලංකාවේ නීතියෙන්ද කාන්තාවන්ට රැකියා ස්ථානයේදී සිදුවන හිංසනයන් වැළැක්වීම සම්බන්ධයෙන් යම් පමණකට උනන්දුවක් දක්වා ඇත.
- 1956 අංක 47 දරණ ළමුන්, කාන්තාවන් සහ තරුණ පුද්ගලයන් සේවයේ යෙදවීමේ පනත.
- 1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාලීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) ආඥා පනත.
- 1942 අංක 45 දරණ කර්මාන්තශාලා ආඥාපනත වැනි පනත් මඟිනි.
මුල් කාලයේ දී කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවිම සම්පූර්ණයෙන් තහනම් කර තිබූ නමුත් ළමුන්, කාන්තාවන් සහ තරුණ පුද්ගලයින් සේවයේ යෙදවීමේ පනතේ සංශෝධනයන්ට අනුව කොන්දේසිවලට යටත්ව කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීමට අවසර ඇත.එහිදී සිය කැමැත්තට විරුද්ධව කිසිම ස්ත්‍රියකට රාත්‍රී කාලයේදී වැඩ කිරීමට බල කිරීම නොකළ යුතු අතර පස්වරු දහයෙන් පසු සේවයේ නියුක්ත කරවීමට පෙර කම්කරු කොමසාරිස් වරයාගේ ලිඛිත අනුමැතිය ලබා ගැනීම, රාත්‍රී කාලයේ වැඩ කරන කම්කරු ස්ත්රීන්ගේ සුබසාධනය සොයා බැලීමට සඳහා කාන්තා පාලිකාවක් පත් කිරීම, රාත්‍රී කාලයේ දී වැඩ කරන සෑම කම්කරු ස්ත්‍රියකට සේවායෝජකයා විසින් විවේක කාමර සහ කෑම සපයා දීම ආදී කරුණු මෙම ව්‍යවස්ථාපිත නීති තත්ත්වන් තුළ අන්තර්ගතව ඇත.
කාන්තාවන්ට වඩා යහපත් සේවා වාතාවරණයක් ඇති කිරීම සඳහා අවශ්‍යය වන්නා වූ ප්රතිපාදායන් ශ්‍රී ලංකාවේ අනාගත කම්කරු හා කාන්තා හිමිකම් පිළිබඳව වූ නව ව්‍යවස්ථා තුළ අන්තර්ගත වේ යැයි විශ්වාසය තැබිය හැකි වුවද නෛතික ප්‍රතිපාදනයන්ට අමතරව සාමාජීය කතිකාවතක් හා සිය හිමිකම් පිළිබඳව දැනුමක් කාන්තාවන් තුළ මෙයට වඩා ඇති විය යුතුමය.එමෙන්ම භාන්වරී දේවිය සතු වූවා වැනී දිරියක් ශක්තියක් ස්ත්‍රීන් සතු විය යුත්තේ තමන්ට සිදුවන හිංසනයන් පිළිබඳව වින්දිතයන් ලෙසින් නිහඬව සිටීමට නොව මෙම ලිංගික හිංසනයන් සඳහා ශක්තිමත් ප්‍රතිරෝධයක් නිර්මාණය කිරීමටය.
නීතිඥ තාරිකා ද සිල්වා