ශුක්රා මුනව්වර්
අපි පුංචි කාලෙ ඉඳන් ටීවි එක ඉස්සරහා ඉඳගෙන හරිම ආසාවෙන් නරඹපු වැඩසටහනක් තමයි ලක්ෂපති කියන්නෙ. දශකයකට එහා මේ වැඩසටහන විකාශය වෙනවා වුණත් අවසන් පැණය තෙක් නිවැරදිව උත්තර දීලා මිලියන දෙක ජයග්‍රහණය කළේ පස්දෙනෙකු විතරයි. ඒ අතරින් 2021 වසරේ මෙරට ලක්ෂපති ඉතිහාසයේ මිලියන දෙක ජයග්‍රහණය කළ ළාබාලතම තරගකාරිණිය වුණේ ශුක්රා මුනව්වර්. අවසන් තරගයට කලින් ඉඳන්ම ඇගේ අසීමිත දක්ෂතාවය සහ මුකරිකම හේතුවෙන්ම ශුක්රා කියන නම හැමෝම කතාවෙන නමක් බවට පත්වුණා. ඉතින් එදා මේ අපූරු සිදුවීම වෙලා අවුරුදු හතරක් ගතවුණ තැන අපිට හිතුණා ශුක්රාගේ වර්තමාන වතගොත ටිකක් හොයලා බලන්න…
ශුක්රා කොහොමද ඉතින්?
හොඳින්, සතුටින් ඉන්නවා.
මොනවද මේ දවස්වල කරන්නේ?
මම දැන් ඉන්නේ මගේ උපාධිය ලබාගන්න අවසන් වසරේ. ඒ අතරේ චාටඩ් කරනවා. මගේ චැරිටි ප්‍රොජෙක්ට් එකක් තියෙනවා ශුක්රා ෆවුන්ඩේෂන් කියලා. ඒකෙන් අපි අනුග්‍රාහකයො හොයාගෙන ලංකාවේ දුප්පත් පාසල් වලට උදව් කරනවා. මට දුප්පත් ළමයි වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් නම් ඒක මට අනිත් පැත්තට ආශිර්වාදයක් වෙලා ලැබේවි කියන විශ්වාසය මං ගාව තියෙනවා.
එදා ලක්ෂපතියෙදි තිබුණ ශුක්රාගේ CEO සිහිනය තාම තියෙනවද?
ඔව් ඔව්. මට පොඩි කාලෙනම් ආසාව තිබුණෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න. නමුත් සාමාන්‍ය පෙළ කරනකොට මට හිතුණා බිස්නස් පැත්තෙන් මට ගොඩ යන්න පුළුවන් වෙයි කියලා. උසස්පෙළ කළෙත් ඒ ටාගට් එක හිතේ තියාගෙන. ඊට අදාළ ඉගෙනීම් වැඩකටයුතු වල තමයි මම මේ වෙද්දිත් නියැලිලා ඉන්නේ.
පවුලේ තව කවුද ඉන්නේ?
පවුලේ ඉන්නේ මමයි අම්මයි තාත්තයි අක්කලා දෙන්නයි මල්ලියි. අක්කලා දෙන්නා විවාහකයි. මල්ලි සාමාන්‍ය පෙළ කරනවා.
දැන් ශුක්රාගේ වයස කීයද?
දැන් මට අවුරුදු 20යි. මම ලක්ෂපති එකට එනකොට මට වයස අවුරුදු 17යි.
අපි අවුරුදු හතරක් ආපස්සට ගිහින් ලක්ෂපති වැඩසටහනේ ඔබේ තරඟය ගැන මතකය ආයෙත් අවදි කළොත්…
මම පොඩි කාලේ ඉඳන්ම ලක්ෂපති වැඩසටහන බලනවා. ඒ බලද්දි මටත් ආසාවක් ඇති වුණා මේ වැඩසටහනට යන්න. චන්දන සර් එක්ක කතා කරන්න වගේම මගේ දැනුම බෙදාගන්න ඒක හොඳ අවස්ථාවක්නෙ. ඒ නිසා ලොකු ආසාවක් තිබුණා. මං දන්න දේවල් මට කතා කරන්න වගේම චන්දන සර් දන්න දේවල් මට දැනගන්නත් පුළුවන්නෙ.
කොරෝනා වසංගතේ එක්ක ඉගෙනීම් කටයුතු වැඩ කරගන්න අපහසු වුණ වෙලාවෙ තමයි මට ඇත්තටම හිතුනේ මේ තරගෙට සහභාගි වෙන්න ඕනේ කියලා. මොකද මට ඒ කාලේ ලැප්ටොප් එකක් ගන්න ලොකු උවමනාවක් තිබුණා ඉගෙනීම් වැඩවලට.
තරුණ ගෑණු ළමයෙක් විදිහට ආගම්වාදය ගැන මොකද හිතන්නේ?
මමත් මේ සමාජයේ ඉන්න කෙනෙක් විදිහට මගේ මතය කිව්වොත් මේ ආගම්, ජාතිවාද නිසා ගොඩක් විනාස වෙන්නේ පොඩි දරුවන්ගේ ජීවිත. දරුවෝ සතුටින් නිදහසින් ඉන්න ඕන වයසක මේ ආගම් භේද ඒ දරුවො දැක්කම ඒකෙ කෙලවරක් නෑ දිගටම එයාලත් ඒක අරගෙන යනවා මිසක්.
මං කියන්නේ ජාති, ආගම් බේද සේරම නැති කරලා දාලා හැමෝටම එකතුවෙලා ජීවත් වෙන්න පුළුවන් සාමකාමී ලෝකයක් නිර්මාණය කරන්න ඕනේ. මුස්ලිම් යාළුවො එක්ක කතා කරන්න එපා, සිංහල යාළුවො එක්ක කතා කරන්න එපා කියලා එයාලව භේද කරවන්න හොඳ නෑ. එහෙම වුණොත් නිදහස් ආකල්ප තියෙන දරුවන් පිරිසක් මේ රටේ ඉදිරියේදී බිහිවෙන එකක් නෑ. ඒක තනිකර දෙමව්පියන්ගේ වගකීමක්.
ශුක්රා කියන චරිතය ගොඩනැගෙන්න පසුබිම සැකසුනේ කොහොමද?
පුංචි කාලෙ මට මතක විදිහට මං හරි අහිංසක ළමයෙක්. කොටින්ම කිව්වොත් ඇක්ටිව් ළමයෙක් නෙවෙයි. හොඳට ඉගෙනගන්නත් හැකියාවක් ඒ කාලෙ තිබුණේ නෑ. ඉස්කෝලේ ඔහේ පැත්තකට වෙලා හිටියේ. හය වසරට ගියාට පස්සේ තමයි මම පොඩ්ඩක් ඇක්ටිව් වුණේ. එතනින් පස්සේ පාසලේ හැමදේකටම මම ලැජ්ජා නොවී ඉදිරිපත් වුණා. මට ඉස්සර හොඳට කතා කිරීමේ හැකියාවක් තිබුණා.
ඒ නිසා පාසලේ රැස්වීම්වල කතා කරන්න ගොඩක් අවස්ථාව ලැබුණා. වචන වරදිද්දි ළමයි හිනා වුණා. ඒත් මම කමක් නෑ අද ඔයාලා හිනාවෙන්නකො ඊළඟ දවසෙ මම හරියට කරනවා කියලා හිතාගෙන දවසින් දවස වැරදි හදාගෙන ගියා. ඒ හැමදේම මට මාව බිහිකරගන්න උදව් වුණා.
අපේ රටේ ගොඩක් අය ලොකු ජනප්‍රියත්වයක් ලැබුණ ගමන් සෑහෙන්න වෙනස් වෙනවා. ඒත් ශුක්රා එදා වගේම අදත් නිහතමානියි…
මට ලැබුණ ආදරය, ප්‍රසිද්ධිය මම හීනෙකින්වත් හිතපු දෙයක් නෙවෙයි. මම ලක්ෂපති එකෙන් දින්නම මාව හොයාගෙන ගොඩක් මිනිස්සු අපේ ගෙදර ආවා. සමහරු අපේ ගෙදර එන දවසට මම ගෙදර නෑ. ඒ වගේම ගොඩක් කෝල්ස් ආවා. මට ඒ හැම කෝල් එකමත් ආන්සර් කරන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ගොඩක් වෙලාවට ඒවා ආන්සර් කළේ අක්කලා හෝ අම්මා. මොකද මට ගොඩක් වැඩසටහන්වලට යන්න වුණා ඒ කාලේ. ඉතින් එහෙම කෝල්ස් මගහැරුනම මං බැනුම් අහලත් තියෙනවා ශුක්රාට සල්ලි ලැබුණට පස්සේ මිනිස්සුන්ව අමතක වෙලා කියලා. එදා වගේම අදටත් මගේ කිසිම ලොකු කමක් නෑ.
මිනිස්සුන්ව අමතක නෑ. ගෙදරට කවුරු ආවත් මම සුහදව කතාබහ කරනවා. දවසක් පුංචි ළමයෙක් මාව බලන්න ඕනෙ කියලා අම්මලට කරදර කරලා ඒ අම්මයි තාත්තයි ළමයව එක්කන් ආවා මාව බලන්න. මිනිස්සු ආදරේ මගේ නිහතමානීකමට.
මට ආදරේ කරන නොකරන මිනිස්සුන්ට හැමවෙලේම මට දෙන්න පුළුවන් උපරිමය දෙන්න මං උත්සාහ කරනවා. ලැබුණ ගෞරවය, ප්‍රසිද්ධිය මැනේජ් කරගෙන යන්න ඕන ගමනක්. එක පොඩි දේකට පුළුවන් ඒ ගමන කඩාකප්පල් කරලා දාන්න. මේ ප්‍රසිද්ධිය මම භාවිත කරන්නේ අපේ රටේ දුප්පත්, අසරණ ළමයින් වෙනුවෙන් දෙයක් කරන්න.
එරංදි කෞශල්‍යා ✍️