බුදුදහම පිළිබඳව බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ බැඳීම් අත්හරින්න… තෘෂ්ණාවෙන් මිදෙන්න… යනුවෙන් උපදෙස් දෙන දහමක් ලෙසයි. නමුත් ලෞකික ජීවිතයට අවශ්‍ය ආදරණීය සම්බන්ධතාවයන් ගොඩනඟා ගැනීම ඒ අනුව පටහැනිය යැයි සිතුවත් “නකුල මාතා පිතු සුත්‍රය”, “සප්ත හරියා සුත්‍රය” ආදී සුත්‍ර දේශනාවන්හි අන්තර්ගතය සලකා බැලීමේදී බුදුදහම තුළින් දැහැමි ලෞකික ජීවිතය ප්‍රතික්ෂේප නොකළ අතර එය නිවැරදිව ගොඩනඟා ගැනීමේ මාර්ගය ඇති බැව් කවරෙකුට වුවද මනාව වටහා ගත හැක.
බුදුරජාණන් වහන්සේ තරම් නිර්මල ආදරය ගැන කතා කළ වෙනත් ශාස්තෘවරයෙක් නැහැ. නව යොවුන් දරුවන් තමන්ට නොලැබෙන ආදරය බාහිර ලෝකයෙන් ලබන්න යොමු වන නිසා අද අපේ දරුවන් විවිධාකාර සමාජ දූෂණ, අපචාරයන්ට පත් වී සිටිති. ඔවුන් ආදරය කුමක්ද යන්න වටහා ගෙන නැහැ. ඒ නිසා ආදරයට සදාචාරයක් අවශ්‍ය බව අමතක වී ඇත.
පුද්ගලයෙක් අධ්‍යාපනයෙන් පරිපූර්ණ වෙනවා වගේම හදවතේ ආදරය, කරුණාව, දයාව තිබීම වැදගත්. ආදරණීය මිනිසෙක් නිර්මාණය කිරීමේ මූලික ස්ථානය නිවසයි. බාල කාලයේ පටන් දරුවා ලබන ආදරය නිසා අනාගතයේදී ඔවුන් ආදරණීය මිනිසුන් බවට පත් වෙනවා.
ආදරය විටෙක සතුරු වීමක්
පවුල තුළින් දරුවා ලබන ආදරයම ඇතැම් විට ඔවුන්ගේ ජීවිතයට විශාල සතුරුකමක් වී තිබෙනවා. ඇතැම් මව්පියන් ප්‍රකාශ කරන අන්දමට මගේ දුවට පුතාට බත් ටික කවන්නේ මම නැත්නම් බත් ටික කන්නේ නැහැනේ. අම්මා බොහොම ආදරයෙන් මේ බත් ටික කවන්නේ ආදරයත් එක්කම නමුත් එයින් සිද්ධ වෙන්නේ කුමක්ද? මේ දරුවා ස්වාධීනව කටයුතු කරන ස්වාධීනව තීන්දු තීරණ ගත නොහැකි දුර්වල පෞර්ෂයක් ඇති චරිතයක් බවට පත් වෙනවා. එබඳු දරුවන් අනාගතයේදී වගකීම්, යුතුකම් හඳුනා නොගෙන කටයුතු කිරීම නිසා සමාජය ප්රතික්ෂෙප කරන චරිත බවට පත් වෙනවා.
හැම දෙයටම මධ්‍යම ප්‍රතිපදාවක්
අපේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමේදී ශරීරයට අධික දුක් දීම වගේම අධික සැප දීම අතහැර දමා මැදුම් පිළිවෙතක් තෝරා ගත්තා. අපේ ජීවිතයේදීත් මේ තත්ත්වය ඉතාම සාධාරණයි. හැම දෙයකම මධ්‍යම ප්‍රතිපදාවක් අවශ්‍යයි. කිසිම දෙයකට අන්තවාදී විය යුතු නැහැ.
ඉතාම සරලව කිව්වොත් මේ විදිහට හිතන්න. අපි හැම දෙනෙක්ම පිරිසිදු බව අගය කරනවා. පිරිසිදුව ඉන්න උත්සාහ කරනවා. මුහුණ, කට, අත්පය සෝදනවා. නමුත් නිරන්තරව හේතු සාධක නැතුව අත් සෝදනවා නම් (Washing Disorder) එය මානසික රෝගයක්. අපට ජීවිතය පවත්වා ගැනීමට ආහාර අවශ්‍යයි.
නමුත් ආහාර මත හඹා යනවා නම් එහෙම නැත්නම් ආහාර තිබියදීත් නොකා කුසගින්නේ සිටිනවා නම් එයත් මානසික රෝගයක්. ආදරය ගැනත් ඒ වගේ සඳහන් කිරීම අවශ්‍යයි. ආදරය අවශ්‍යයි. දැනෙන්න ආදරය කිරීමත් අවශ්‍යයි. ඒත් දරුවෙකුට වුණත් අන්තවාදී ආදරය කරනවා නම් එය දරුවාට කරන අනාදරයක්.
ආදරය නොලැබුණොත් ආදරණීය පුද්ගලයෙක් ගොඩනැගෙන්නේ නැහැ. මා දන්නා එක් දරුවෙකු සිටියා. ඔහු සැබෑ දක්ෂයෙක්. 5 වසර ශිෂ්‍යත්වයෙන් ලකුණු 195 ක් ලබා ගත්තා. නමුත් ඔහුගේ පියා නිතරම මේ දරුවා අධ්‍යාපන කටයුතුවල උනන්දු නැහැ කියමින් දොස් නගනවා. තරවටු කරනවා. දවසක් මේ දරුවාගේ මව මා හමුවට පැමිණියා. ඇය ඉතාම සංවේදී කතාවක් මා සමග කිව්වා.
ස්වාමින් වහන්ස මගේ සැමියා සමග මම වසර ගණනාවක් ආදරයෙන් බැඳී සිටියා. අපි විවාහ වුණා. ඔහුගේ ළමා කාලය ඉතාම ශෝචනීයයි. සැමියාගේ පියා කිසිම දවසක ආදරයක් දක්වලා නැහැ. ඒ නිසා මම ඔහුට අනුකම්පා කරනවා.
නමුත් එදා ඔහු මව්පියන්ගෙන් නොලද ආදරය වගේම දැඩි පීඩනය නිසා ගොඩනැගුන මානසික තත්ත්වය නිසා අද අපේ දරුවා අසරණ වෙලා. මේ මානසික හැසිරීම අනුව අපට පෙනී යන්නේ කුමක්ද? ආදරය කරන්න නම් ආදරය ලබන්න ඕන. ආදරය නොලද හදවතකින් තවත් අයෙකුට ආදරය කරන්න බැහැ. ඒ නිසා දරුවන්ට දැනෙන්න ආදරය කිරීම ඉතාම වැදගත්.
ස්පර්ශය ඉතාම වැදගත්
අපට සැපයි කියා සිතෙන බොහෝ දේවල් තිබෙනවා. වායු සමීකරණය කළ කාමරයක සුව පහසු අසුනක සිටින විට එය සැපයි, සුවයි කියලා නමුත් එය කල් ඉකුත් වෙනවා. ඒත් මව්පිය දූදරු සම්බන්ධතාවය සමග ඇති වන ස්පර්ශය වෙන කිසිම දෙයකට සමාන කරන්න බැහැ.
අවුරුදු 80 ක් ගෙවුන මව පියා වුණත් දරුවෙක් ඇවිත් තමා වැළඳගන්නවාට සතුටුයි. “උකුලට නාවත් එදා වගේ මා ඔබෙ පොඩි පුතු අම්මේ” යැයි කියැවෙන ගීතයේ වගේම කොයිතරම් උස් මහත් වුණත් දරුමල්ලන් ලැබුවත් අම්මාගේ තාත්තාගේ ආදරයට දරුවන් තවමත් ආදරෙයි.
බාහිර පුද්ගලයන් සමග බැඳෙන ආදරය
ආදරය ගැන කියන විට අපි ආදරය කරන්නේ කාටද කියන ප්‍රශ්නයත් ඇති වෙනවා. සමහර විට ධනයට මුදලට හෝ තරාතිරමට විය හැකියි. නමුත් ඒවා තාවකාලිකයි. තරුණ කාලයේ ආදරය කළත් ඒ වෙනුවෙන් විරෝධතාවයන් ඇති වුණාම ඒ සියල්ල නොතකා ඒ ආදරය විවාහයෙන් නීතිගත වුණත් සමහර විට මංගල ඡායාරූප ඇල්බමය ලැබෙන තෙක් හෝ රැඳී නැති ආදරයක් විය හැකියි. මුහුණු පොතේ බදාගෙන වැළඳගෙන සිටියට එතැන සැබෑ ආදරයක් ඇති බව ලෝකයට කියන්න ගියත් ඒ සැබෑ ආදරය නොවෙයි.
සැබෑ ආදරය කියන්නේ විවිධත්වය නොතකා එකිනෙකා අවබෝධ කරගෙන විශ්වාසයෙන්, ඔවුනොවුන්ට ගෞරව කරමින් සැපතේදී වගේම දුකේදී අත්නොහරින හෘදයංගම බැඳීමක්. ආදරය ගැන බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළා. සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්තා. සියළු සත්ත්වයෝ සැපවත් වෙත්වා. සුවපත් වෙත්වා. මවක් තම එකම පුතුට දක්වන ආදරය හා සමානව සෑම දෙනාටම මෛත්‍රිය පැතිරිය යුතු බැව් බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සුත්‍රයේදී දේශනා කළ සේක.
විවාහයක ස්ථාවරත්වයට අවබෝධය වැදගත්. සිඟාලෝවාද සුත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අඹු සැමියන් අතර පැවැතිය යුතු සම්බන්ධතාවය ගැන දේශනා කළ සේක. සම්මානනාය, අනවමානය, සැමියෙකු විසින් බිරිඳට ගරු කළ යුතුයි. ඇයට අවමන් නොකළ යුතුයි. එහෙමනම් ආදරය කියන්නේ ගෞරවය, අන්‍යෝන්‍ය විශ්වාසය මත පිහිටා කටයුතු කිරීමේ හැකියාව ඇති ජීවිතයේ ගීතයක් බව සඳහන් කරන්න පුළුවන්.
කිරිබත්ගොඩ තැඹිලිගස්මුල්ල
ශ්‍රී ධීරානන්ද විද්‍යායතනයේ ආචාර්ය,
කඩවත “සිතු රුවන” මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ
අනුශාසක පූජ්‍යපාද ශාස්ත්‍රපති කොටියාගල සීවලී ස්වාමින්වහන්සේ
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️