ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කියයි
දරුවෙක් මෙලොවට බිහි කිරීම වෙනුවෙන් ශරිරය සුදානම් යැයි කියන නිමිත්ත දැනෙන්නේ දැරියක් මල්වර වීම සමගයි. එතැන් පටන් මාසිකව සිදුවන ආර්තවය හෙවත් මාසික ඔසප් විමෙන් කියන්නේ මේ මාසයේදි මගේ ගර්භාෂය දරු සම්පතක් වෙනුවෙන් සුදානම් නැති බවයි. මේ විදිහට තිබෙන්නා වූ සහ සම්බන්ධතාවය මාසික ඔසප්වීම නැවතිමත් සමගම කාන්තාවන්ට අහිමි වෙනවා. වයසත් සමග කාන්තාවකගේ ඔසප් නැවතීම හෙවත් ආර්තවහරණය සිදුවීම සාමාන්‍ය ජීව විද්‍යාත්මක සංසිද්ධියක්. එය ඇගේ වයසත් සමග සිදු වන සාමාන්‍ය සිදුවීමක්. වයස අවුරුදු 45-55 අතර කාලයේදී ඇගේ ලිංගික හෝර්මෝන හෙවත් ඊස්ට්‍රජන් මටට්ම අඩු වෙන්නට පටන් ගන්නවා. මේ සිදුවීමම නිසා කාන්තාවකට විවිධ අපහසුතාවයන් ඇති වෙනවා. හැම කාන්තාවකටම ඒ අන්දමේ අපහසුතාවයන් ඇති වෙන්නෙත් නැහැ. එහෙත් කාන්තාවන් දහ දෙනෙකුගෙන් අට දෙනෙකුට පමණ ආර්තවහරණය ඉතා අපහසු සිදුවීමක්.
අපහසුතාවයන් මොනවාද?
සිරුර රත් වී දහඩිය දැමීම.
යෝනි මාර්ගය වියලීම.
නින්ද පිළිබඳ ගැටලු.
සිතේ කනස්සල්ල.
මානසික ආවේගය.
මතකය පිළිබඳ ගැටලු
ආර්තවහරණ අපහසුතාවයන්ට ප්‍රතිකාර
ආර්තවහරණයෙන් පසු ඇති වන අපහසුතාවයන් කළමනාකරණය වෙනුවෙන් නිර්දේශිත විවිධ ප්‍රතිකාර තිබෙනවා. මෙහිදී ඊස්ට්‍රජන් හෝර්මෝනය බාහිරව ලබා දෙන අතර ඒ සඳහා විවිධ ක්‍රම භාවිත කරනවා.
ඊස්ට්‍රජන් පෙති වර්ග බාහිරව ලබා දීම.
සමේ ඊස්ට්‍රජන් හෝර්මෝන පැලැස්තර් ඇලවීම.
ඊස්ට්‍රජන් ජෙල් ආලේප කිරීම.
හෝර්මෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර (Hormone replacement therapy) (HRT) මේ අන්දමින් බාහිරව හෝර්මෝන ලබා දීම විවිධ ක්‍රමවලින් සිදු වන අතර එයිනුත් හෝර්මෝන ප්‍රතිස්ථාපන ක්‍රමය අනිකුත් ප්‍රතිකාර ක්‍රමවලට වඩා සාර්ථක බැව් පිළිගෙන තිබෙනවා.
නමුත් නවතම අධ්‍යයනයක් මගින් මෙවැනි ප්‍රතිකාරයන්ට වඩා ආර්තවහරණයෙන් පසු ඇතිවන අපහසුතාවයන්ට භාවනා මගින් ඇති කරන සතිමත්බව (Mindfulness) සහ සංජානන චර්යාත්මක (Cognitive behavioural therapy) ප්‍රතිකාර ක්‍රමය ඉතා සාර්ථක ලෙසින් යොදා ගැනීමට හැකි බැව් පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා.
ලන්ඩන් විශ්වවිද්‍යාලය විසින් මේ වෙනුවෙන් අධ්‍යයනයක් සිදු කළ අතර ඒ සඳහා රටවල් 14 ක කාන්තාවන් 3501 දෙනෙකු සම්බන්ධ කර ගත්තා. මෙම රටවල් 14 සම්බන්ධ කරගෙන ලබා ගත් පර්යේෂණ පත්‍රිකා 30 ක දත්ත විශ්ලේෂණය කරමින් ලබා ගත් නිගමන දැන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පර්යේෂණය සිදු කළ ආකාරය
මෙහිදී ඔවුන් ආර්තවහරණයට පත් කාන්තාවන් වෙනුවෙන් ප්‍රශ්නාවලියක් ලබා දුන්නා. ජීවිතය ඉතාම අලස විදිහට ගෙවී යන බවත්, කිසිම දෙයක් කිරීමේ ආසාවක් වගේම උනන්දුවක් ඔවුන්ට නැති බැව් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සඳහන් කර තිබුණා. ඒ වගේම නින්ද පිළිබඳ ගැටලු, නිතරම හිතේ කනස්සල්ල මේ කාන්තාවන් විසින් ලබා දුන් පැමිණිලි අතර තිබුණා.පර්යේෂකයන් විසින් මේ කාන්තාවන්ට භාවනා සැසිවාර කීපයක් ලබා දුන් අතර ඊට අමතරව ඔවුන්ගේ චර්යාත්මක රටාවන් මුල් කරගත් ප්‍රතිකාර ලබා දුන්නා.
අවසානයේදී නැවතත් මෙම කාන්තාවන්ගේ ප්‍රගතිය ගැන තොරතුරු ලබා ගත්තා. භාවනාවේ නිරත ආර්තවහරණයට පත් කාන්තාවන්ගේ මානසික සතුට හෝර්මෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර ලබා ගැනීමටත් වඩා යම් ආකාරයක සතුටුදායක මට්ටමක පවතින බැව් පෙනී ගිය බැව් මෙම අධ්‍යයනයේ කර්තෘ මහාචාර්ය අයිමී ස්පෙක්ටර් සඳහන් කරනවා. ඒ නිසාම මෙම සතිමත්බව ප්‍රගුණ කරන ලද ආර්තවහරණයට පත් කාන්තාවන් අනාගතයේදී මානසික අවපීඩන තත්ත්වයට පත් වීමට පැවැති අවදානමත් බොහෝ දුරට අඩු බැව් මෙම අධ්‍යයනය මගින් ලබා ගත් නිගමය ලෙසින් ඔවුන් පෙන්වා දෙනවා.
හෝර්මෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර ක්‍රමය
මහාචාර්ය අයිමී සඳහන් කරන්නේ හෝර්මෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර ක්‍රමය සාර්ථක බවයි. නමුත් ආර්තවහරණයට පත් සෑම කාන්තාවක්ම මෙම ප්‍රතිකාර ලබා ගැනීමට උනන්දු වන්නේ නැහැ. ඒ වගේම සෑම කාන්තාවකටමත් මෙම ප්‍රතිකාර අවශ්‍ය වන්නෙත් නැහැ. අග්නිදිග ආසියාතික සහ කැරිබියානු ගෝත්‍රික ජනගහනය අතර මෙම HRT ප්‍රතිකාර එතරම් ජනප්‍රිය නැති බවත් මහාචාර්යවරිය පෙන්වා දෙනවා.
ඔවුන්ට මෙවැනි ප්‍රතිකාර වෙනුවෙන් පහසුකම් නොමැති වීම මෙහි තවත් පැතිකඩක් වී තිබෙනවා. ඒ නිසා මානසිකව ලබා දෙන මෙම සුරැකියාව නිසාම ආර්තවහරණයට පත් කාන්තාවන්ගේ බොහෝ කායික රෝග තත්ත්වයන්ගෙන් නිදහස් වීමේ ශක්තිය ඔවුන්ට ලැබෙන බවත් මෙම අධ්‍යයනයෙන් පෙන්වා දී තිබෙනවා.
ප්‍රතිකාර මගින් ලැබෙන වාසි වගේම අවාසි ගැනත් ලබන දැනුවත් බව ඉතාම වැදගත් බැව් National Institute for Health and Care Excellence (NICE) ආයතනය විසින් පෙන්වා දී තිබෙනවා. සැබැවින්ම HRT ප්‍රතිකාර මගින් ආර්තවහරණයට පත් කාන්තාවන්ට විශාල සහනයක් ලැබෙන බැව් රහසක් නොවේ. ඒ අතර පියයුරු පිළිකාවන්ට ගොදුරු වීමේ ඉතා සුළු අවදානමක්ද තිබෙන බැව් මෙම ආයතනය විසින් සඳහන් කර තිබෙනවා.
HRT සහ සංජානන චර්යාත්මක ප්‍රතිකාර මගින් ආර්තවහරණයට පත් කාන්තාවන් වෙනුවෙන් ලැබෙන සහනශීලී අස්වැසිල්ල ඉතාම පුදුමාකාර බැව් ආර්තවහරණය පිළිබඳ විශේශඥ වෛද්‍ය ලුවිස් නිව්සන් මේ ගැන තව දුරටත් අදහස් දක්වමින් කියා සිටිනවා. මෙය ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. හෝර්මෝන පිළිබඳව සිදුවන වෙනස්වීම නිසා දිගුකාලීන සෞඛ්‍ය ගැටලු ඇති වීමට බලපෑම් ඇති කරනවා. ඒ නිසාම දියවැඩියාව, ඩිමෙන්ෂියාව, මානසික අවපීඩනය, ඔස්ටියෝපොරෝසිස්, සහ Schizophrenia වැනි රෝග තත්ත්වයන් සමග මරණය පවා ඉක්මන් වීමක් සිදු වීමට පුළුවන්.
( Mail on line ඇසුරෙන් )
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️