ඔබ පොඩි කාලෙ දැකපු සිංහල දමිළ අලුත් අවුරුද්ද ගැන මතක් කළොත්…
මගේ ගම තමයි මාතර දික්වැල්ලෙ දොඩම්පහළ. අපි ඒ දවස්වල සිංහල අවුරුද්දට ලෑස්තිවෙන්නෙ මාසයකට කළින් ඉදන්. ගමේ ගෙවල්වල හුණු ගාන එක තමයි මුල්ම රාජකාරිය. එතකොට තමයි පුංචි අපිටත් දැනුණේ අවුරුද්ද ළඟ ළඟ එන විත්තිය. අලුත් අවුරුද්දට කැවිලි හදන්න ඕන කරන අමුද්‍රව්‍ය ලෑස්ති කරන්න පටන් ගන්නෙත් මේ කාලෙ. ඉතින් ගමේ ළමයි ඔක්කෝම එකතුවෙල යනවා කජු හොයන්න ගම පුරාම. ගල්වලින් කජු ගස්වලට ගහල කජු කඩල, කජු පුහුලන් කාලා, කජු ඔට්ටුවට සෙල්ලන් කරල තමයි හවස් වෙලා අපි ගෙදර එන්නෙ. ඒ දවස්වල ඉස්කෝලෙ ගිහින් ආපු වෙලේ ඉදන් අපේ රාජකාරිය ඕක තමයි.
ඊටපස්සෙ තව ටිකක් අවුරුදු කිට්ටු වුණාම අච්චිල එක්ක එකතුවෙලා අරන් ආපු කජු ටික පුච්චන්න පටන් ගන්නවා. ඒ කාලේ අත් ආවරණ නැති නිසා අපි කරන්නෙ අත්වල පොල් තෙල් ගාලා මේ වැඩේ කරන එක. කජු පනහක් විතර සුද්ද කළොත් ඒකෙන් විස්සක් විතර අපේ කටේ.ඊළග රාජකාරිය තමයි පොල් කොළ, හනසු එකතුකරන එක. ඒවා තමයි පාවිච්චි කරන්නෙ අවුරුද්දට කැවිලි හදද්දි ළිපට දාන්න. අපේ ආච්චිලා ගෑස් ළිපේ කැවිලි හැදුවෙත් නෑ ලොකු දර කෑලි දාගෙන දර ළිපේ හදන්නෙත් නැහැ. ඒකට හේතුව තමයි ඒවයේ ගින්දර වැඩියි. ආච්චිල කළේ පොල් කොළ දෙක තුනක් දාලා අඩු ගින්දරේ කැවිලි පුච්චපු එක. අපිත් ඉතින් පුළුවන් විදිහට ළිපට පොල් කොළ දාලා ආච්චිලට උදව් කළා.
කැවිලි හදන්න ඕන කරන පිටි, පොල් තෙල් ඔක්කෝම හැදුවෙත් ගෙදර. පොල් තෙල් හින්දෙත් ගෙදර. ඒකටත් හැම ගහේම පොල් ගත්තෙත් නැහැ. ඒකට වෙනම පොල් ගස් වෙන් කරල තිබ්බෙ. ආච්චිලා වයස නිසා කුරහන් ගලේ අඹරන්න අමාරුයි. ඒ නිසා අපිත් ගිහින් උදව් කළා එයාලට. ඒ වගේම අපේ ගමේ හැම ගෙදරකම වගේ දොදොල් හැදුවා. ඒ කොළඹ වැඩ කරල නිවාඩුවට ගමට එන අයට ආපහු කොළඹ යනකොට ගෙනියන්න. ගමේ හැම ගෙදරකම වගේ දොදොල් හැන්ද, දොදොල් තාච්චිය අනිවාර්යයෙන්ම තියෙනවා. පහක් හයක් වගේ ඒකතු වෙනවා මේ වැඩේ කරන්න. අපිත් වටේට ඉඳගෙන බලාගෙන ඉන්නවා. අන්තිමට ඉතිරිවෙන ටික අපි කට්ටිය කනවා. අලුත් අවුරුද්ද කියන්නෙ මුළු ගමම අලුත් වෙනවා වගේ දෙයක්. මොන තරහ තිබ්බත් අවුරුද්දට ගමේ ඔක්කෝම එකතු වෙනවා.
ඒ කාලෙ අවුරුදු දවස් ගෙවුණේ කොහොමද
අපේ ගම කියන්නෙ අලුත් අවුරුදු චාරිත්‍ර හරියටම කරන ගමක්. නෝනගතේ වෙලාවට අපි පොඩි ළමයි කියලවත් හිතල කන්න දුන්නෙ නැහැ. අපිත් ඉතින් ඒකට හුරුවෙලා හිටියේ. දැන් වගේ එළකිරි දාලා නෙමෙයි කිරි ඉතිරුවේ. පොල් කිරිවලින් තමයි කිරි ඉතිරුවේ. සමහරක් ගෙවල්වල කිරි උතුරන්නෙ නැතුව එකපාරම කිරිබත් එක හදනවා. ගණුදෙනු කරල හම්බෙන සල්ලිවලින් අපි කැට ගහනවා. අවුරුද්දට එන නෑදෑයන්ගෙන් ලැබෙන තෑගිත් ඒ කලෙ ගොඩක් වටිනවා. ගොඩක් වෙලාවට හම්බෙන්නෙ කලිසමක් එක්කො කමිසයක්. දෙකෙන් එකක් දෙන්න හේතුව තමයි නෑදෑයෝ ගොඩක් ඉන්න එක. මොකද ඒ වගේ ගොඩක් පිරිසකට තෑගි දෙන්න අමාරුයි නේ.
ඔබ පොඩි කලෙ දැකපු සිංහල අලුත් අවුරුද්ද දැන් වෙනස් වෙලාද ?
ඔව්. අලුත් අවුරුද්ද දැන් ගොඩක් වෙනස් වෙලා. අපි අලුත් අවුරුද්දට ලෑස්ති වුණේ මාසයකට කලින්. ඒත් දැන් ඉන්න කට්ටියට ඒක මතක් වෙන්නෙ අලුත් අවුරුද්දට සතියකට වගේ කලින්. මතක් වුණ ගමන් කඩේට දුවල මොනවා හරි කැවිලි ටිකක් අරගෙන එනවා. සමහරුන්ට චාරිත්‍ර නැකත් අමතකයි. අනෙක් කාරණාව තමයි ගොඩක් අය පටලන් ඉන්නේ මේක සිංහල අලුත් අවුරුද්ද කියල. ඒක එහෙම නෙමෙයි. අපි සමරන්නේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද. ඒ නිසා කැවිලි මේසයට ඒ කෑමත් එකතු කරගන්න පුළුවන් නම් ඒක වටිනවා. ඒවා හදන්න අපහසුවක් නැහැ. ඉස්සර මම දැකපු අවුරුද්දයි දැන් අවුරුද්දෙයි ලොකු වෙනසක් මම දකිනවා. හැබැයි ගම්වල නම් මේ චාරිත්‍ර අදටත් හරියටම කරනවා.
පවුලේ විස්තර ගැනත් කියමු …
මට සහෝදරියෝ දෙනෙකුයි එක සහෝදරයෙකුයි ඉන්නවා. අපේ තාත්තා නැති වුණ නිසා මමයි මල්ලි ගොඩක් වෙලාවට හිටියෙ ආච්චිලාගෙ ගෙදර. අම්මයි, නංගියි, අක්කයි හිටියෙ අම්මගෙ නෑදෑ ගෙදරක. මමයි මල්ලියි ආච්චි එක්ක හිටපු නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
සූපවේදීයෙක් වෙන්න හිතුනෙ ඇයි ?
ඒක ඇත්තටම අහම්බයක්. හැබැයි ඒ දේ මගේ ඇඟේ තිබුණා. ඒ වගේම ගෙදර වටපිටාවත් බලපෑවා මම සූපවේදියෙක් වෙන්න. අපේ ගමේ වුණත් සූපවේදියෙක් කියන කෙනෙක් බිහිවෙලා තිබුණේ නැහැ. මගේ පාසල වුණ විජිත මධ්‍ය මහා විද්‍යාලයෙන් වුණත් සූපවේදියෙක් බිහිවෙලා තිබුණේ නැහැ. ඉස්සර හිටියේ වෙඩින්වල කෑම උයන්න එන කෝකියෝ විතරයි. අපි දැකල තිබුණේ එයලව. කෑම උයන්න ආසාවක් මගේ හිතේ තිබුණා.
ඊටපස්සේ මම උසස් පෙළ ඉවරවෙලා කොළඹට ආවා මොකක් හරි කෝස් එකක් කරන්න හිතාගෙන. හැබැයි මොකක්ද කරන්නෙ කියල අදහසක මගේ හිතෙ තිබුණේ නැහැ. මාව එක්කන් ආවේ මගේ නැන්දගෙ දුවයි පුතයි. ඒ දවස්වල එයාලගෙ ගෙදර හදන ගමන් තිබුණේ. එතන හිටපු බාස්ලා කෑම හදනකොට හරිම සුවඳයි. මම ඊටපස්සෙ හොයල බැලුවා මෙයාලා මොනවා දාලද කෑම හදන්නෙ, කොහොමද මේවා හදන්නෙ කියල. ඒ ආසාවත් එක්ක මම හොටෙල් මැනේජ්මන්ට් කෝස් එකක් කළා. එහෙම තමයි මම මේ ක්ෂේත්රයට ආවේ.
දැන් කොළඹ ගෙවන ජීවිතය ගැන කිව්වොත්…
දැන් මම නෝනයි, පුතාලා දෙන්නයි එක්ක සතුටින් ඉන්නවා. ඒත් ගමේ තිබුණ ලස්සන මට නිතරම මතක් වෙනවා. ලොකු පුතා නම් උසස් පෙළ අවසන් කරල ඉන්නෙ. නෝනත් රැකියාවක නිරත වෙනවා. මගේ අම්මත් ඉතාම හොඳ තත්ත්වයෙන් අපිත් එක්ක ඉන්නවා. බොහෝම හොඳ විදිහට ජීවිතය ගලාගෙන යනවා. හැමෝම කියනවා මේ දවස්වල ජීවත්වෙන්න අමාරුයි කියල. මම නම් කියන්නෙ එහෙම කිය කිය ඉන්නෙ නැතුව තමන්ගෙ වැඩ බැලන්ස් කරගෙන යන්න ඕනෙ කියල.
මෙතෙක් ආ දුර ගැන මොනවද හිතෙන්නෙ?
හරිම සතුටුයි. මම දැන් මේ ක්ෂේත්රයට ඇවිල්ලා අවුරුදු 25 ක් වෙනවා. අත්දැකීම් ගොඩක් මම ලබලා තියෙනවා. මම ජනාධිපතිගෙ ඉඳන් පාරේ ඉන්න මනුස්සයාට වෙනකල් කෑම හදනවා. ඔය කාට කෑම හැදුවත් මම හදන්නෙ ‘මේ හදන කෑම එක මෙයාට කන්න පුළුවන් වේවා’ කියන හැඟීමෙන් බොහෝම ආදරයෙන්.
මම ඉරාකයේ යුද්දෙ තියෙන කාලෙ ඇමරිකානු හමුදාවටත් කෑම හදල තියෙනවා. අපි ඔක්කෝම එකතුවෙල දවසට කෑම දහදාහක් වගේ හදනවා. සාමාන්‍ය සූපවේදීයෙක් විදිහට ගිහින් ඒකේ ප්‍රධාන සූපවේදීයා වෙනකල් මම උඩට ආවා.ඒ වගේම මම අයුර්වේදය පැත්තෙන් කෑම ගැන දන්න කෙනෙක්.
මම ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක ප්‍රධාන සූපවේදිය විදිහට අවුරුදු තුනක් වැඩ කරල තියෙනවා. මම දැනට නැවක විතරයි කෑම හදල නැත්තෙ.මම මේ ක්ෂේත්රය ගැන ඉගෙන ගන්න කැමති ළමයින්ට උදව් කරන කෙනෙක්. ගොඩක් ළමයින්ට මම නොමිලේ මේ ගැන කියල දීලා තියෙනවා. මොකද මම ගොඩක් දුක්විඳලා ඉගෙන ගත්ත කෙනෙක්. ඒ නිසා මම දන්නවා ඒකෙ තියෙන වටිනාකම.
සූපවේදීයෙක් කියන්නෙ කාර්යබහුල චරිතයක්. කොහොමද මේ අලුත් අවුරුද්දට ඔබේ ලෑස්තිය
අවුරුදු පහළොවක විස්සක ඉඳන් අලුත් අවුරුදු දවසේ මම ගෙදර ඉඳල නැහැ. හැබැයි ඊට පහුවැනිදා අනිවාර්යයෙන්ම ගමේ යනවා. කොච්චර කාර්යබහුල වුණත් කැවිලි වර්ග හතරක් පහක් ගෙදර අනිවාර්යයෙන් මම හදනවා. මම ගෙදර නැති නිසා නෝනා තමයි ගෙදර චාරිත්‍ර ඔක්කෝම හරියට කරන්නේ.මම රාජකාරි ආයතනයෙත් ඒ චාරිත්‍ර ටික ඉටු කරනවා. ඒ චාරිත්‍ර බලන්න වගේම අපේ කැවිලි හදනවා බලන්න,
ඒවාවල රස බලන්න ගොඩක් විදේශිකයෝ කැමතියි. ඒ වගේම ලංකාවේ ලොකුම කැවිලි මේසේ හදන්නෙත් අපි. කැවිලි වර්ග 60 ක් වගේ ඒ මේසෙට ඇතුළත් වෙනවා.ඉතින් හැමෝටම කියන්න තියෙන්නේ තමන්ට පුළුවන් විදිහට පොඩියට හෝ අවුරුදු කෑම මේසයක් හදලා අලුත් අවුරුද්ද හොඳින් සමරන්න කියල.
අර්චිත ඉඳුවර ✍️