වර්තමානයේ ලංකාවෙ පවතින ආර්ථික තත්ත්වය එක්ක හැම කෙනෙක්ටම ලොකු ලොකු ෂොප්ස්වලට ගිහින් බඩු ගන්න හැකියාවක් නෑ. ඉතින් කාලයක් තිස්සෙ මිනිස්සු මුහුණ දෙන මේ ගැටලුව එක්ක ගොඩක් අය වීදි සාප්පු සවාරිවලට යොමු වෙලා තියෙනවා. වීදි වුණ පලියට වීදිවල බාල බඩු විතරයි තියෙන්නේ කියල අපිට කියන්න බෑ. සමහරවිට අපි ලොකු ෂොප් එකකින් ගන්න බඩුවකට වඩා හොඳ මට්ටමක තියෙන බඩු වීදි සාප්පු සවාරියේ යෙදෙනකොට හම්බෙන්න පුළුවන්. ඒ වගේම කිසිම තරාතිරමකින් තොරව වීදි සාප්පු සවාරියේ යෙදෙන්න මිනිස්සුන්ට නිදහස තියෙනවා.
සමහර සේල් දාන්නෙ තොග අවසන් කරගන්න ඕනෙ වුණාම. එතකොට එයාලා කරන්නෙ වැඩි ගාණක් පෙන්නලා ඇත්ත ගාණටම සේල් කියල ඒ බඩුව විකුණන එක. ඒකෙන් සේල් ඒ වෙළෙන්දන්ට මිසක් පාරිභෝගිකයන්ට නෙවෙයි. පාරිභෝගිකයන්ට පොඩි සීනි බෝලයක් පෙන්නලා තමන්ගෙ තියෙන ස්ටොක් එක ඉවර කරගන්න යොදන උපායමාර්ගයක් විදිහටයි
තොග අවසන් කරන සේල් මමනම් දකින්නෙ. තවත් දෙයක් තමයි කාලෙන් කාලෙට අලුත් අලුත් විලාසිතා බිහිවෙනවනේ. නවීන තාක්ෂණයේ ගෘහ උපකරණත් ඒ වගේ. එහෙම අලුත් දේවල් සමාජගත වෙද්දි පරණ බඩු ටික විකුණගන්න ඇත්ත මිල ටිකක් අඩු කරලා, එක්කො එකක් ගත්තොත් එකක් ෆ්‍රී වගේ කරලත් සේල් වල විකුණනවා. හැබැයි ඒකෙන් එයාලට ලොකු ලාභයක් තියෙනවා. නැතුව අපිට ආදරේට කවුරුත් සේල් දාන්නෑ.
සමහර ගෘහණියො සේල් එකක් දැක්කගමන් දුවලා ගිහින් ගෙදරට උවමනා නැති දේවලුත් උස්සන් ඇවිත් ගෙදර පටෝනවා. ඒක ලංකාවෙ අයගෙ හැටියක්. සමහරවිට ඒ ගත්ත බඩුව ගෙදර දැනටමත් තියෙන දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒක මිලෙන් අඩු නිසා ඒකත් ගන්නවා. ගෙදර තියන්න තැනක් නැතිවෙන්නත් පුළුවන්. ගෙදර කර්ට්න්ස් අලුතින්ම දැම්මත් අඩුවට සේල් දාලා තියෙනවා දැක්කොත් එතනිනුත් කර්ට්න්ස් ගන්නවා. ඇඳුමුත් ඒ වගේ. අල්මාරිය අරින්න බෑ ඇඳුම් බිමත් වැටෙනවා. සමහර ඇඳුම් අල්මාරියෙ තියෙනවා කියල අයිතිකාරයවත් දන්නෑ. කාලයක් ගිහින් ඒවා අරන් බලනකොට අඳින්න බැරිතරමට හිරයි. හැබැයි ඇඳුම් සේල් එකක් දැක්කොත් ඒකෙනුත් ඇඳුම් අරන් බොරුවට පුරවගන්නවා.
කොටින්ම ගෙදර අත්‍යවශ්‍ය දේවල් ගොඩක අඩුපාඩු තියෙද්දි අනවශ්‍ය දේවල් අරන් එනවා ඒවා අනාගතේදී ඕන වෙයි කියන අරමුණින්. ඒක හොඳ වැඩක් නෙවේ. ඒ නිසා අපි බුද්ධිමත් වෙන්න ඕනෙ. මුලින්ම ගෙදර සහ තමුන්ගේ අවශ්‍යතා ටික ලිස්ට් එකක් හදාගන්න. දකින දකින එකට හිත යන එක ස්වභාවිකයි. නමුත් අපි සාප්පු සවාරියේ යෙදෙනකොට ඊට වඩා ස්මාර්ට් වෙන්න ඕනෙ අපේ අතේ තියෙන මුදලට අවශ්‍යම බඩු ටික විතරක් ගන්න.
අඩුවට බඩුවක් අරගෙන ඒ බඩුව වැඩි කල් පාවිච්චි කරගන්න බැරි වුණ අත්දැකීම් ගොඩක් අයට ඇති. සමහර ඒවා වීදියෙන් අරගෙන ගෙදර ගෙනාවම වැඩ කරන්නෙ නෑ. වොරන්ටි කාඩ් එකක් නෑ. රිටර්න් කරන්න තැනක් නෑ. ඒ වගේම ටික කාලයයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නෙ. ආයෙ ඒක හදාගන්න උපකරණවත් හොයාගන්න බැරිවෙන්න පුළුවන්. ඊටවඩා හොඳ නැද්ද කීයක් හරි වැඩිපුර දීලා ඒ බඩුව කැඩුණොත් ඒ වෙනුවට තව අලුත් එකක් දෙන, එහෙමත් නැත්නම් ඒක හදලා දෙන පිළිගත්ත සාප්පුවකින් තමන්ට අවශ්‍ය දෙයක් ගන්න එක? අපි ගෙවන මුදලට සාධාරණ සේවයක් ඒ භාණ්ඩය අපිට ලබාදෙනවා.
ඇඳුම් ගත්තත් සමහර ඇඳුම් දකින තරම් කොලිටි නෑ හේදුවම. එක්කො බූල් පිපෙනවා. පාට යනවා. මේ දේවල් ගැන හැමෝටම අත්දැකීම් ඇති. නමුත් කොච්චර ඇත්දැකීම් තිබුණත් “නෑ කලින් එක එහෙම වුණාට මේක මෙහෙම වෙන එකක් නෑ” කියල හිතනවා.
අනිත් එක අපිට ඇඳුමක් ඕනෙනම්, ගෙදරක බඩුවක් කැඩුණනම් අපි සේල් දානකල්ම බලන් ඉන්නවද ඒ දේ ගන්න? නෑ. අපි ඒ අවශ්‍යතාවය සපුරගන්නවා. ඒ නිසා කලබලේට දැක්ක දැක්ක සේල් අස්සෙ යන්නෙ නැතුව මොළේ කල්පනා කරලා පර්ස් එකට තට්ටු නොවෙන විදිහට සාප්පු සවාරියේ යෙදෙන්න වගබලාගන්න.
මනෝ චිකිත්සක මනෝ උපදේශිකා
රොෂානි පීරිස් වික්‍රමසිංහ
එරංදි කෞශල්‍යා ✍️