නිවෙස් අලංකාරය වැඩි කරන එක් අංගයක් තමයි තිර රෙදි කියන්නෙ. දොර සහ ජනෙල්වල තිර රෙදි යෙදූ පසු නිවසක පෙනුම අලංකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. තිර රෙදි භාවිතයේදී දැනුවත් විය යුතු බොහෝ කරුණු තිබෙනවා. අප ඔබට කියල දෙන්නේ තිර රෙදි නිවසට යොදාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැනයි.
තිර රෙදිවල අවශ්‍යතාව
තිර රෙදි නිවසක් සඳහා අවශ්‍ය වන්නේ ඇයි කියලා ඔබ යම් මොහොතකට හිතලා තියෙනවද? අපි නිර්මාණය කරන නිවස තුළ අපට අවශ්‍ය අවකාශය සඳහා අවශ්‍ය අවස්ථාව අනුව ආලෝකය ප්‍රමාණය අඩු වැඩි කළ හැකි මෙවලමක් ලෙස තිර රෙදි හඳුන්වා දෙන්න පුළුවන්. නිවසට ලැබෙන ආලෝකය පාලනය කිරීමටද තිර රෙදි අපි යොදාගන්නවා.
එමෙන්ම නිවස තුළට උෂ්ණත්වය ලබා ගැනීමට හා ලැබෙන උෂ්ණත්වය පාලනය කිරීමට, පරිසර උෂ්ණත්වය අඩු අවස්ථාවල නිවස තුළ උෂ්ණත්වය රැක ගැනීම තිර රෙදි මගින් සිදුවන ක්‍රියාවකි. සීතල දේශගුණයක් පවතින ප්‍රදේශවල ඝනකම් සහිත තිර රෙදි ඔබට දැකගන්න ලැබිලා ඇති. ඒ නිවස ඇතුළත උෂ්ණත්වය පවත්වා ගැනීමේ අරමුණ නිසයි.
තිර රෙදි තෝරා ගැනීම
තිර රෙදිවල අවශ්‍යතාවය ගැන ඔබට දැන් යම් වැටහීමක් ඇති නිසා ඒ අරමුණු ඉටු වන පරිදි තිරරෙදි තෝරා ගතයුතු වේ. විවිධ වර්ණ හා මෝස්තර සහිත තීරණ රෙදි අතරින් ඔබ ඔබගේ නිවසේ පවතින හා ඔබේ ගොඩනැගීමට උත්සාහ කරන සංකල්පයට අනුකූලව නිවසේ බිත්ති වර්ණ, ගෘහභාණ්ඩ වර්ණ, පොළවේ ස්වභාවය සහ වර්ණය අනුව, දොර ජනෙල් වර්ග සහ ස්වභාවය අනුව තෝරා ගැනීම කළ යුතු වේ. එමෙන්ම භාවිත කරන ස්ථානය හා භාවිත කරන ආකාරය අනුවද, සවිකරණ ආකාරය අනුව විවිධ ආකාරයට ඔබට තිරරෙදි තෝරා ගැනීමට පුළුවන්.
ස්ථානය
තිර රෙද්දක් යෙදීමට පෙර එය අවශ්‍ය ස්ථානය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. නිවසක් තිරයක් නම් විසිත්ත කාමර, නිදන කාමර, කුඩා දරුවන්ගේ කාමර හා පැන්ට්‍රිය යන ස්ථාන සඳහා වෙන වෙනම ගැළපෙන අයුරින් තිර නිර්මාණය කළ යුතුය.
වර්ණය
තිර රෙදි සඳහා වර්ණ ගැළපීම ඉතාම වැදගත්ය. තිර රෙද්ද දමන ස්ථානයට ගැළපෙන අයුරින් වර්ණය තෝරා ගත යුතුය. තිර රෙදිවලට වර්ණය ගැළපීම සඳහා වැදගත් කරුණු කිහිපයක් ඇත. තිර රෙද්ද දමන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අඩු නම් ලා පැහැ වර්ණයන්ද, ඉඩ ප්‍රමාණය වැඩි නම් තද පැහැ වර්ණ ද භාවිත කළ හැකිය. ඉඩ ප්‍රමාණය අඩු ස්ථාන සඳහා තනි පැහැ වර්ණයන් භාවිත කිරීමෙන් ඉඩ අවකාශය වැඩි බව පෙන්නුම් කළ හැකිය.
තිර රෙදි සැකසීමේදී බිත්තියේ වර්ණය, ගෘහ භාණ්ඩවල වර්ණය, පොළොවේ වර්ණය ගැන සැලකිලිමත් විය යුතුවේ. එම වර්ණයන්ට ගැළපෙන අයුරින් තිර රෙද්දේ වර්ණය තෝරාගත යුතු අතර ඇසට වෙහෙස කර බව ලබා දෙන වර්ණ තෝරා ගැනීමෙන් වළකින්න.
ස්වභාවික වර්ණ මුසු කිරීම පවා වැදගත්වේ. විසිත්ත කාමර සඳහා තනි පැහැ රෙදි වර්ග භාවිත කිරීම සුදුසුය. මුළුතැන්ගෙයි තිර රෙදිද විසිත්ත කාමරයේ තිර රෙදි නිර්මාණවලට ගැළපෙන අයුරින් නිර්මාණය කළ යුතු අතර ළදරු කාමර සඳහා ළදරු මෝස්තර සහිත මුද්‍රිත රෙදි භාවිත කරන්න.
ආලෝකය
නිවසක් තුළ හොඳ ආලෝක තත්ත්වයක් පැවතීම අවශ්‍යය. එයින් එම නිවසේ කළඑළිය වැඩිවේ. නිවස තුළට ලැබෙන ආලෝක ප්‍රමාණය හොඳ මට්ටමක පවතී නම් තද පැහැ වර්ණ ගැළපිය හැකිය. ඔබ කරන නිර්මාණයෙන් නිවස තුළට ලැබෙන ආලෝකය අවම කිරීමක් නොකළ යුතු අතර ආලෝකය අඩු ස්ථානවලට ලා පැහැ රෙදි පමණක් යොදන්න. එයින් අඳුරු බව අවම කළ හැකිය.
නිවසකට දොර හා ජනෙල් රෙදි යෙදීමේදී බිත්තිවල ආලේප කර ඇති වර්ණය, බිත්තිවල උස, නිවසේ කුමන ස්ථානයටද තිර රෙදි යොදන්නේ, නිවස පිහිටා ඇති ප්‍රදේශයට අයත් දේශගුණික ස්වභාවය හා නිවසේ විශාලත්වය යන කාරණා පිළිබඳව මූලිකවම සැලකිලිමත් විය යුතුවෙයි. එමෙන්ම තිර රෙදි සඳහා අපිට වැය කළ හැකි මුදල, කල්පැවැත්ම යන කාරණා අනෙක් වැදගත් කරුණු වේ. අලංකාර ලෙස තිර රෙදි මෝස්තර තෝරා ගත්තද නිවෙසට හොඳින් ආලෝකය ලැබිමට හැකි වන ලෙස රෙදි වර්ග තෝරා ගැනීමට උනන්දු වන්න. තිර රෙදි අතරින් වාතය හා ආලෝකය නිවෙසට ඒමට පහසු වන ලෙස තුනී රෙදි යොදා ගත යුතුය.
නමුත් රාත්‍රියේ විදුලි ආලෝකයට පිටත සිට බැලූවිට ඇතුළ හොඳින් පෙනෙන නිසා තරමක් ඝනකම් තිර රෙද්දක් තෝරා ගැනීම වඩා සුදුසු වෙයි. යටින් තිර රෙද්ද හා එයට උඩින් ඝනකම් මෝස්තර සහිත රෙදිත් ඔබේ කැමැත්ත අනුව ගළපාගත හැකිය. අතැම් විට විවිධ මෝස්තර මුද්‍රිත තිර රෙද්ද පමණක් ජනෙල්වලට ගළපා ගන්නා අවස්ථාද ඇත. නිවසේ තාප්පය උසට බැද පිටතට ආවරණය වී ඇත්නම් එලෙස තිර රෙදි සාලයට යොදා ගැනීම වරදක් නැත. නමුත් කාමරවලට නම් නිතරම පිටතට නොපෙනෙන ඝනකම් මෝස්තර සහිත තිර රෙදි තෝරා ගන්න. රාත්‍රී කාලයේ විදුලි බුබුළු ආලෝකයට ඇතුළත පෙනීමෙන් වළක්වා ගැනීමට මෙවැනි තිර රෙදි භාවිත කරන්න.
බිත්ති වර්ණයට ගැළපෙන්න
නිවසේ සාලය හා කාමරවල බිත්ති මත ආලේප කරන ලද වර්ණවලට අනුව තිර රෙදි වර්ණද ගළපා ගත යුතුය. බිත්තිවල ආලේප කරන ලද වර්ණ තද පැහැති නම් ළා වර්ණයෙන් තිර රෙදි තෝරා ගැනීම තුළින් නිවෙසට වැඩි ආලෝකයක් ගෙනදීමට සමත්වේ.
වෙනස් මෝස්තර
නිවෙසක සාලය, නිදන කාමර, මුළුතැන්ගෙය වැනි විවිධ ස්ථාන අනුව තිර රෙදි මෝස්තර හා රෙදි වර්ගද වෙනස් වෙයි. මුළුතැන්ගෙයි පැන්ට්‍රි කබඩ් ඇති විට වඩාත් ගැළපෙන්නේ සරල මෝස්තර සහිත දිග නොවූ සරල තුනී තිර රෙදි නිර්මාණයකි. සාලය හා නිදන කාමරවලට නම් තිර රෙදි බිම් මට්ටමට සමාන වන ලෙස නිර්මාණය කෙරේ. නිවෙසේ පුටු හා ගෘහ භාණ්ඩවලට ගැළපෙන ලෙස තිර රෙදි මෝස්තරද ගළපා ගන්නට ඔබට හැකිය.
ඉඩ වැඩි කර පෙන්වීමට
අවකාශය අඩු සාලයකට හෝ කාමරයකට නම් ලා පැහැති තිර රෙදි මෝස්තර ගළපා ගැනීමෙන් වැඩි ඉඩකඩක් ලබාගන්නට පුළුවන්. වැඩි ඉඩකඩක් සහිත සාලයකට නම් තද වර්ණ සහිත තිර රෙදි මෝස්තර තෝරා ගැනීමෙන් එම ස්ථානයට ආකර්ෂණීය බවක් ගෙනදිය හැකිවේ.
ගෘහ භාණ්ඩ සමඟ ගළපන්න
නිවෙසේ බිත්තිවල වර්ණ පමණක් නොව ටයිල් පොළොවේ වර්ණද තිර රෙදි සමග ගළපන්න. ආලින්දයේ සෝෆාවල, කුෂන් කවරවල මෝස්තරද තිර රෙදි හා ගළපා ගත හැකිය. කාමරවල නම් ඇඳ ඇතිරිවල මෝස්තර තිර රෙදි සමග ගළපා ගන්න.
ගොඩනැගිලි සැලසුම් තාක්ෂණවේදී
අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පිණී
කවිෂා පෙරේරා
Viharaa HomeDesign
අර්චිත ඉඳුවර ✍️