වාරෙට හැදෙන එළවළු සහ පලතුරු අවාරයේදී පරිභෝජනය වෙනුවෙන් සංරක්ෂණය කිරීමට අපි අතීතයේ පටන්ම හුරු පුරුදු වී සිටියා. කාලයත් සමග මේ සංකල්පය විජලන තාක්ෂණය යනුවෙන් සමාජගත වුණා. හැම දෙනාම එළවළු සහ පලතුරු වෙනුවෙන් විජලන තාක්ෂණය භාවිත කරද්දී ඇයට ඒ තාක්ෂණයෙන් අලුත් පිටුවක් ආරම්භ කරන්න හිතුණා. ඇය ගාල්ල වඳුරඹ පදිංචි ඉන්දු අමරසිංහ
මගේ උපන් ගම කළුතර දිස්ත්‍රික්කයේ ගල්පාත මුඩගමුව. බාල කාලයේ පටන්ම මම ආහාර තාක්ෂණ විෂයට කැමැත්තක් දැක්වූ නිසා නුගේගොඩ ආසියානු ලංකා ජාත්‍යන්තර හෝටල් පාසලට ඇතුළත් වුණා. එහිදී ඩිප්ලෝමා පාඨමාලාවක් හැදැරූ මට විවිධ ආහාර සකස් කිරීමේ ප්‍රායෝගික වගේම න්‍යායාත්මක දැනුමත් ලැබුණා. එතැනින් පසුව මම “ඉඳුමිනි” නමින් මගේම ආයතනයක් ආරම්භ කළා. මේ ආයතනය මගින් ආහාර තාක්ෂණය ගැන කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. මේ අතරේ මට රාජ්‍ය නොවන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ උපදේශකවරියක් ලෙසින් පත්වීමක් ලැබුණා. නමුත් ඒ රැකියාව වසර හතරකට සීමා වුණා. විවාහයෙන් පසුව මම ගාල්ල වඳුරඹ ඉහළ ලේලවල ප්‍රදේශයේ පදිංචියට පැමිණියා.
විවාහයෙන් පසුව
ගාල්ලට ඇවිත් මම ව්‍යාපාරයක් ආරම්භ කළා. මේ පළාතේ කාන්තා ව්‍යවසායකයන් දැනුවත් කිරීමේ කටයුතු සංවිධානය කළා. මේ නිසා මට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග සමීප සම්බන්ධතාවන් ගොඩ නැගුණා. සෞඛ්‍ය සම්පන්න ලෙස ජීවත්වීමට පිටිවහලක් වන පෝෂණ අගයෙන් ඉහළ නිෂ්පාදන සමාජයට හඳුන්වා දීමට තීරණය කළා. පාන්පිටි පෝෂණ ගුණයෙන් හීනයි. දියවැඩියාවට හේතුවක්. ඒ වෙනුවට පාන්පිටිවලින් සකස් කරන ඕනෑම ආහාරයක් කොස්, කොස් ඇට, දේශීය අල, පලතුරු, පිටි, ධාන්‍ය පිටි සහ දේශීය සහල් පිටි යොදාගෙන කරන්න පුළුවන් නේද කියලා මට හිතුණා. මගේ නිෂ්පාදන සුවිශේෂී වුණේ ඒ නිසයි.
පුතාලා දෙන්නා ඉපදුනාම “රන්මුතු” යන නම දෙන්නාටම යෙදුවා. ඊටපසුව මගේ ව්‍යාපාරයටත් “රන්මුතු නැචුරල් ෆුඩ්ස් ” (Ranmuthu Natural Foods) යන සන්නාමය එකතු වුණා.මම මුලින්ම පොළොස්වලින් සැන්ඩ්විච් තැවරුමක්, පොළොස් සීනි සම්බල් සහ පොළොස් මෝජු හැදුවා. ඊළගට කොස් සීනි සම්බල්, කොස් මෝජු, කොස් චිප්ස් සහ කොස් බයිට් නිෂ්පාදනය කළා. තුන්වෙනි අදියර විදිහට කොස් ජෑම් සහ විජලනය කරන ලද කොස් නිෂ්පාදන හඳුන්වා දුන්නා.
කොස් වටලප්පන්
මගේ තවත් නිෂ්පාදනයක් විදිහට කොස් වටලප්පන් හඳුන්වා දුන්නා. මේ වටලප්පන් සාමාන්‍ය වටලප්පන් වගේ ආහාරයෙන් පසු අපහසුවක් නැහැ. මේ කොස් වටලප්පන් අත්හදා බැලීමේදී වැරදුණ වාර බොහොමයක් තිබෙනවා. ඒත් මම උත්සාහය අතහැරියේ නැහැ.
පුතාලගෙන් ලැබෙන සහයෝගය
මගේ නිෂ්පාදන හැම එකක්ම රස බලන්නේ මගේ පුතාලා දෙන්නා. ඒවායේ අඩුපාඩු කියන්නෙත් එයාලා. මගේ සැමියා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරියෙක් විදිහට සේවය කරනවා. පුතාලා දෙන්නා වගේම සැමියා මට විශාල ශක්තියක්.
පාන්පිටි නැතුව බැරිද?
මම කොස්වලින් කුකීස් නිෂ්පාදන කරලා එය වෙළෙඳපොළට ඉදිරිපත් කළා. ඒක සාර්ථකයි. එතැනින් පසුව කොස් ඇට පිටි කුකීස්, අඹ, දිවුල් කුකීස් වගේ නිෂ්පාදන ඉදිරිපත් කළා. වරකා කුකීස් එකට වර්ණ කාරක හෝ රසකාරක යොදා ගන්න අවශ්‍ය නැහැ. වරකා මදුළක එහි රසය, සුවඳ වගේම වර්ණය තිබෙනවා. අපට සාමාන්‍යයෙන් ශීතකරණයක වුණත් වරකා මදුළක් දින තුන හතරකට වඩා තබා ගන්න බැහැ.
ආහාරයට ගත හැකි ප්‍රමිතිය නැති වෙනවා. නමුත් ස්වභාවික වරකා මදුළු පිටි කරගෙන සකස් කරන කුකී එකක් කිසිම කරදරයක් නැතුව කල් තබාගන්න පුළුවන්.ඒ වගේම දන්දිල පිටිවලින් කුකීස් හැදුවාම එහි ලස්සන දම් වර්ණය රඳවාගන්න පුළුවන්. දන්දිල පිටි යොදාගෙන “ මිනි පිට්සා” නිෂ්පාදනයක් මම දැන් හඳුන්වා දී තිබෙනවා.
පසුගිය කාලයේ රටේ තිබුණ ප්‍රශ්න ඔබේ ව්‍යාපාරයට බලපෑමක් කළේ නැතිද?
නැහැ. මගේ නිෂ්පාදන වෙනුවෙන් හොඳ ඉල්ලුමක් ලැබුණා. අදටත් නිෂ්පාදන වෙනුවෙන් හොඳ වෙළෙඳපොළක් නිර්මාණය වෙලා තිබෙනවා. දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් දේශීය පිටි යොදාගෙන සකස් කරන ලද කුකීස් පරිභෝජනයට සුදුසු බව පිළිගෙන තිබෙනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෛද්‍ය නිළධාරීන්ගේ රැස්වීම් වලදි සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ගර්භණී මව්වරුන්ගේ සායනවලට මේ කුකීස් වර්ග සුදුසු බව පිළිගෙන තිබෙනවා. මේවා රස විඳින හැම කෙනෙක්ම හරිම රසයි කියන ඇගයීම නිසා මටත් නිහතමානී ආඩම්බරයක් ඇති වෙනවා.
විජලන තාක්ෂණයට නව නැම්මක්
ආහාර විජලනය සාමාන්‍යයෙන් අපි දන්නා දෙයක් වුණත් එහි ප්‍රමිතිය ඉතාම වැදගත්. අව්වේ යමක් වියළා ගත්තාම ඒ ප්‍රමිතිය නැහැ. ඒ නිසා අව්වේ වියළනවාට වඩා යන්ත්‍රානුසාරයෙන් වියළා ගැනීම නිසා නිෂ්පාදනයේ ප්‍රමිතිය ආරක්ෂා වෙනවා. අව්වේ වියළන විට කෘමි සතුන් එකතු වෙනවා. ඒ වගේම සතුන් ඒවා ආහාරයට ගන්න පුළුවන්. දූවිලි කුණු එකතු වෙනවා. මේවගේ ප්‍රශ්න වියළන යන්ත්‍රයක් භාවිත කරද්දී ඇති වෙන්නේ නැහැ.
යන්ත්‍රය වගේම විජලනයේදී දැනුමක් අවශ්‍යයයි
මම මුලින් දන්දිල කුකීස් නිෂ්පාදනය කරද්දී අද දකින්න ලැබෙන ලස්සන වර්ණය ලැබුනේ නැහැ. මම ‘තායි ශ්‍රී ඇකඩමි ’ ආයතනයේ ආාහර විජලන තාක්ෂණ වැඩසටහනට සම්බන්ධ වෙලා ලැබූ දැනුම මගේ නිෂ්පාදන වෙනුවෙන් යොදාගත්තා. අද කුකීස්වල වර්ණය රඳවා ගැනීමට මට ඒ ආයතනයෙන් ලැබූ පුහුණුව ඉතාම වැදගත් වුණා. කොස්, දන්දිල වගේ වාරයට පලදාව ලැබෙන දේවල් ගැන ගැටලු නැහැ. අපේ ගම්වල මේ වගේ අල බෝග වගා කරන පිරිස් සිටිනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් මට විශාල සහයෝගයක් ලබා දෙනවා. දැන් මගේ නිෂ්පාදන හැම දෙනාම දන්නා නිසා අමුද්‍රව්‍ය නිවසටම ගෙනත් දීමට පුරුදු වුණ පිරිස් සිටිනවා.
ඔබේ නිෂ්පාදන වෙනුවෙන් ඇති ඉල්ලුමට සැපයුම තිබෙනවද?
මගේ නිෂ්පාදන වෙනුවෙන් දැන් හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඒ නිසාම මට අදාළ ඉල්ලුමට සපයා ගැනීමත් අපහසු තත්ත්වයක් වී තිබෙනවා. ඒ නිසා විජලනය කරන ලද අමුද්‍රව්‍ය මිලට ගැනීමට මම අදහස් කරනවා. නමුත් එහිදී ප්‍රමිතිය ඉතාම වැදගත්. නිසි විදිහට යන්ත්‍රානුසාරයෙන් වියළා නොගත් අමුද්‍රව්‍ය යොදාගත්තාම නිෂ්පාදනයේ අඩුපාඩු ඇති වෙනවා. නිෂ්පාදනයේ අඩුපාඩු ඇති වුණොත් මම මේ වනවිට ගොඩ නගාගත් කීර්තිනාමයට හානියක් වෙන නිසා අමුද්‍රව්‍ය මිලට ගන්නවා.
කුකීස්වලට අමතරව ඔබේ නිෂ්පාදන මොනවාද?
මගේ වෙනත් නිෂ්පාදන අතර චට්නි වර්ග, ජෑම් වර්ග චිලී සහ ඉස්සෝ පේස්ට්, දන්දිල, කිරි අල, හිගුරල පිටි ආදී විවිධ නිෂ්පාදන තිබෙනවා. මේ හැම දෙයක් වෙනුවෙන්ම දේශීය අමුද්‍රව්‍ය මම යොදාගන්නවා. මේ අතර දේශීය අල වර්ගවලින් ලබාගත් පිටි යොදා ගෙන සකස් කළ පිට්ටු මිශ්‍රණය තවත් සුවිශේෂී නිෂ්පාදනයක්. දකුණු පළාතේ ගාල්ල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැල් ජාලවල රන්මුතු නිෂ්පාදන තිබෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️