පන්සලක් කිව්වාම අපේ හිතේ මැවෙන්නේ බොහොම සුන්දර, සාමකාමී සිතුවිල්ලක්. නමුත් පන්සලක් ආශ්රිත විශ්‍රාමශාලාවක් කිව්වොත් හිතේ ඇති වන්නේ අවම පහසුකම් සහිත ස්ථානයක් ලෙසය. එහෙත් මේ විශ්‍රාමශාලාව පිහිටා තිබෙන බොහොම සුන්දර තැනක. කුරුණෑගල එහෙම නැත්නම් “ඇතුගල්පුර” කී විට ඔබේ හිතේ මැවෙන සුන්දර ස්ථාන කීපයක් තිබෙනවා. එවැනි සුන්දර දර්ශනයක් නෙත පුරා දකින්න හැකියාව ඇති මෙම නවාතැනට ගියොත් ඔබට විහිදෙන කඳු පංති අතරින් පෙනෙන ඇත්කඳ විහාරය, ඇතාගල කන්ද, බතලේගල වැව වගේම කඳු පංති පේළි, කුඹුරු යායවල් සිත් සේ දැක ගන්න පුළුවන්.
සංචාරක නවාතැනක්
සාමාන්‍යයෙන් සංචාරක නවාතැනක් කිව්වාම අපේ හිතේ ඒ සමගම පහසුකම් ගැනත් යම් අදහසක් ඇති වෙනවා. සැපපහසු කාමර, ස්නානය වෙනුවෙන් උණුවතුර සහිත නාන කාමර, වායු සමීකරණය කරන ලද කාමර ආදියයි. මේ පහසුකම් සමඟින්ම එහි මිල ගැනත් සිතන්න වෙනවා. ඊටත් අමතරව VIP හෙවත් සුවිශේෂී පුද්ගලයන්ට නවාතැන් ගත් හැකි අන්දමේ පහසුකම් සහිත ගොඩනැඟිල්කුත් තිබෙනවා.
මෙවැනි පහසුකම් සහිත තැනක නවාතැන් ගැනීමේදී ඊට සරිලන විදිහට මුදලක් ගෙවන්නත් වෙනවා. නවාතැන් ගන්නා කිසිම කෙනකුගෙන් මුදලක් අය කරන්නේ නැහැ. නමුත් කිසිම මුදලක් නොමැතිව ඔබට නවාතැන් ගත හැකි රිදී විහාරයේ මෙම විශ්‍රාමශාලාව ගැන රිදී විහාරයේ විහාරාධිපති තිබ්බොටුවාවේ සිද්ධාර්ථ බුද්ධරක්ඛිත ස්වාමින් වහන්සේගෙන් විමසා දැන ගනිමු.
බෞද්ධයන් විදිහට අපි දාන, පරිත්‍යාගය පුරුදු කිරීම වැදගත්. ඒ ගුණාංග ප්‍රායෝගිකවත් පෙන්නුම් කිරීමට අවශ්‍යයි. ඒ වගේම විහාර දේවාලවල සහ රජමහ විහාරස්ථානවල ආදායම් මාර්ග තිබෙනවා. මේ ආදායම් මාර්ග වලින් එකතු වන මුදල් විය පැහැදම් කිරීම ගැනත් සමාජයේ විවිධ මත ඇති වී තිබනවා.
ඒ නිසා මේ ආදායම් මාර්ගවලින් ලැබෙන මුදල් කළමනාකරණයකින් යුක්තව වියදම් කිරීම වගේම ඒවා පොදු යහපත වෙනුවෙන් වැය කිරීම වැදගත්. මේ කරුණු නිසා අපි පිංකැටයෙන් වගේම රජවරු විසින් පූජාකරන ලද ඉඩකඩම්වල ආදායම් මාර්ග මේ විදිහට යොදවන්න අදහස් කළා. ඊට අමතරව නිවාස නැති අයට නිවාස ඉදි කිරීම, වකුගඩු සහ හෘද රෝග සැත්කම් වෙනුවෙන් වූ රෝගීන්ට ආධාර ලබා දීම වගේ වැඩකටයුතුත් සිදු වෙනවා.
නවාතැන සම්පූර්ණයෙන්ම නොමිලයේ
රිදී විහාරය කියන්නේ ඓතිහාසික උරුමයක් ඇති පූජණීය ස්ථානයක්. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් විවිධ බැතිමතුන් එන යන විහාරස්ථානයක්. එසේ පැමිණෙන හැම දෙනාටම පහසුකම් ලබා දීම අපගේ යුතුකමක්. මේ නිසා අලුත් වැඩසටහනක් සමාජගත කරන්න අපි අදහස් කළා. මේ වෙනුවෙන් රිදී විහාරස්ථානය වගේම රිදී විහාරස්ථ දායක සභාව සහ තරුණ බෞද්ධ සංගමය එකතුව මේ අන්දමේ පහසුකම් සහිත විවේකයෙන් ගත කරන්න පහසුකම් සහිත නවාතැන්පොළක් ඉදි කරන්න තීරණය කළා.
විදේශීය සංචාරකයන්ටත්
විදේශිකයන්ටත් දැන් බෞද්ධ දර්ශනය ගැන වැඩි උනන්දුවක් තිබෙනවා. ඒ නිසාම ඔවුන් බෞද්ධ පූජණීය ස්ථාන වැඳ පුදා ගැනීමට උනන්දුවක් දක්වනවා. සංචාරකයන් නවාතැන් ගන්නා ස්ථානවලට විශාල මුදලක් ගෙවන්න සිදු වෙනවා. නමුත් රිදී විහාරයේ තිබෙන මෙම කාමරයක ඔවුන්ට නොමිලයේම නවාතැන් ගන්න පුළුවන්. ඒ වගේම දේශීය සංචාරකයන්ටත් ඇවිත් නවාතැන් ගැනීමට කිසිම බාධාවක් නැහැ.
අපි බැතිමතුන් වෙනුවෙන් උපරිම පහසුකම් සලසා දීමට උනන්දු වෙනවා. යම් තැනක නවාතැනක් ගන්නවා නම් එතැන මානසිකවත් සුවයක් තිබෙන්න ඕන. ඒ නිසා මේ විහාරස්ථානයට පැමිණෙන හැම දෙනෙක්ම සතුටින් නැවත පිටවෙලා යා හැකි පරිසරයක්
ගොඩනැඟීම වැදගත්. හෝටලයක තිබෙන සියලු පහසුකම් සහිතයි. මෙහි නවාතැන් ගන්නා හැම දෙනෙක්ම විනයානුකුලව වගේම ඒ ස්ථානය ආරක්ෂා වෙන අන්දමින් කටයුතු කිරීමේ කොන්දේසි තිබෙනවා.
රිදී විහාරයේ ඓතිහාසික උරුමය
යුග කීපයකට අයත් රිදී විහාරය කියන්නේ ඓතිහාසික වශයෙන් වටිනාකමක් ඇති පුරාණ විහාරයක්. දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය ඉදිකිරීමට රිදී ලබා ගත් ස්ථානයේ පසුකාලයක විහාරයක් ඉදි කළා. එය රිදී විහාරය යනුවෙන් නම් කළ බව සඳහන් වෙනවා. පසුකාලයකදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් මෙය ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. ඊට අමතරව ක්‍රිස්තු චරිතයට සම්බන්ධ පිඟන් ගඩොල් විශේෂයක් රිදී විහාරයට සම්බන්ධයි. ලන්දේසි ආණ්ඩුකරවරයෙකු විසින් මේ පිඟන් ගඩොල් මල්වතු විහාරයේ මුල්ම මහානායකව සිටි තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත ස්වාමින් වහන්සේට පරිත්‍යාග කර තිබෙනවා.
ඊට අමතරව ඇත්දළ කැටයමෙන් යුක්ත උළුවස්ස විශේෂයි. කාන්තාවන් පස් දෙනකුගෙන් සකස් වුණ පංචනාරී ඝටය කාන්තා පස් දෙනකුගෙන් යුක්ත රූපයක් ඇතුළත්. මේ උළුවස්සේ තවත් නාටිකාංගනාවන්ගේ රූපයක් තිබුණා. එය අද දකින්න නැහැ. මහනුවර යුගයට ආවේණික චිත්‍ර ඇතුළත් කොටු ක්‍රමයක් භාවිත කරමින් චිත්‍ර විශේෂයක් තිබෙනවා. පොළොන්නරුවේ හින්දු ආභාෂය ඇති විහාරයක් තිබෙනවා. එහි ඉන්දුගුප්ත නමැති ස්වාමින්වහන්සේ නමක් වළඳා තිබෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️