පෘථග්ජන මිනිසුන් විදිහට අප කා අතිනුත් වැරදි සිදුවනවා. මේ වැරදි සිදුවීමේදී රාග, ද්වේශ සහ මෝහ යන අකුසල මූලයන් හේතු වෙනවා. සරලව සඳහන් කරනවා නම් ඕනෑම අපරාධයක් ඉහත සඳහන් අකුසල මූලයන්හි සංකලනයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. අපරාධයක පසුවිපරම පිළිබඳව විශ්ලේෂණාත්මකව බලන විට අපට ඒ බැව් හොඳින්ම පැහැදිලි වෙනවා. අපරාධයක් සිදුවන්නේ කයේ නොව මනස තුළ හටගන්නා සිතුවිලි නිසා බැව් අප දන්නවා. උදාහරණයක් විදිහට සඳහන් කරනවා නම් යම්කිසි පුද්ගලයෙක් කාන්තාවක අපහරණය කරන්නේ නම් ඒ වෙනුවෙන් පුද්ගලයාගේ සන්තානගත රාගය සහ ද්වේශය වැනි සිතුවිලි බලපානවා. ඒ අතරම මෙම වරදේ බරපතළ බව නොදැනීම හෙවත් මෝහය ඇතිවනවා.
☸️ක්ෂණික කෝපය නිසා අපරාධ සිදුවනවා
සෑම වරදක් හෝ අපරාධයක් සඳහාම රාගය, ද්වේශය සහ මෝහය මුල් වෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී ඉහතින් දැක්වූ අකුසල මූල නොමැතිව ක්ෂණික ආවේග නිසා අපරාධ සිදුවනවා. මම බන්ධනාගාරයේ දහම් පාසලක් පවත්වාගෙන යන නිසා මේ අත්දැකීම මට තිබෙනවා.
බන්ධනාගාරගත රැඳවියන් මේ විදිහට ඔවුන්ගේ ආත්මීය ප්‍රකාශ සඳහන් කරන අවස්ථාවන් එමටයි.‘ස්වාමින්වහන්ස, මට ආවේග පාලනය කර ගන්න බැරි වුණා. ඇතත්ටම මම ඒ වෙලාවේ ඒ දෙය නොකර සිටියා නම් හොඳයි’. ඔවුන් එසේ සඳහන් කළත් මේ වනවිට ප්‍රමාද වැඩි බැව් මෙම රැඳවියන්ම තේරුම් ගන්නවා.
☸️සිරකරුවෝද මනුෂ්‍යයෝය
සෑම බන්ධනාගාරයකම මේ පාඨය සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්දමට සදාකාලික වරදකරුවන් ලෝකයේ නැහැ. අංගුලිමාල කොතරම් වැරදි කළත් අවසානයේදී ධර්ම මාර්ගයෙන් රහත් භාවයට පත්වීමට වාසනාව ලබාගත්තා.
අපේ රටේ බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් ප්‍රමාණවත් පහසුකම් නැති බව ඇත්ත. නමුත් ඇතැම් රටවල බන්ධනාගාරවල සැප පහසුකම් සපයා තිබෙනවා. සුඛෝපභෝගී කාමර, ආහාර පාන, පුස්තකාල පහසුකම් සපයා දී තිබෙනවා. එවැනි රටවල සිරකරුවෝද මනුෂ්‍යයෝය යන සංකල්පය ප්‍රායෝගිකවත් පෙන්වා දී තිබෙනවා.
☸️බන්ධනාගාරයේ දහම් පාසලක්
වැලිකඩ බන්ධනාගාරයේ මේ වන විටත් දහම් පාසලක් පවත්වාගෙන යනවා. ඒ ගෞරවය ගොඩපිටිය ඉන්දානන්ද අපේ ස්වාමින්වහන්සේට ලැබිය යුතුයි. මෙහි ශිෂ්‍යයන් හෙවත් රැඳවියන් 100 ක් පමණ සිටිනවා. මේ අය වැරදි වෙනුවෙන් දඬුවම් ලෙස බන්ධනාගාරගත කළ පුද්ගලයන්.
ඔවුන් බොහෝ දෙනෙක් වයස අවුරුදු 30 -40 අතර වයස පරාසයේ පුද්ගලයන් වීමත් විශේෂයක්. නමුත් සිරකරුවන් ඉතා සතුටින් දහම් පාසල් අධ්‍යාපනය ලබනවා. ඔවුන්ට ධර්ම මාර්ගයට යොමුවීමට වඩා සමාජයට යොමුවීමේ කැමැත්ත ඇතිවී තිබෙන බැව් හොඳින්ම පෙනෙනවා.
බන්ධනාගාරගතව සිටින කාලයේදී සමහර රැඳවියන් ධර්මාචාර්ය විභාගය පවා සමත් වීමේ හැකියාව ලබාගෙන තිබෙනවා. ධර්මාචාර්ය විභාගයෙන් ලංකාවේ ප්‍රමුඛයා බන්ධනාගාර දහම් පාසලේ රැඳවියෙක් කිව්වොත් ඔබ පුදුම වේවි. ඒ අතරම මරණිය දණ්ඩනයට නියම වුණ තවත් රැඳවියෙක් උපාධි හතරක් ලබාගෙන සිටිනවා. ඔහු තවත් උපාධියක් වෙනුවෙන් අයැදුම් කර සිටිනවා.
☸️මරණය ඉදිරියේ ඉගෙන ගැනීම
මරණය දක්වාම ඉගෙනීමට අවස්ථාවන් තිබෙනවා. නමුත් මරණීය දණ්ඩනයට නියම වුණ පුද්ගලයෙකුගේ මානසිකත්වය ඊට වෙනස්. ඒ අයට හෙට දවස බොහොම අවිනිශ්චිතයි. නමුත් ඔවුන් පවා ජීවිතය දෙස ධනාත්මකව බැලීමේ ශක්තිය ගොඩනඟා ගෙන සිටිනවා. ඒ අතරම ඔවුන්ගේ තවත් අරමුණක් තිබෙනවා. බන්ධනාගාරගත කාලයේදී අධයාපනයක් ලැබීම සහ ශික්ෂණයක් ඇතුව හැසිරීම නිසා පොදු සමාවක් ලැබෙයි යන බලාපොරොත්තුව ඔවුන් ජීවත් කරවනවා.
☸️පොදු සමාවක් ලබාදීම
වරදට දඬුවම් ලබාදීම අත්‍යවශ්‍යයි. නමුත් වරදේ ස්වභාවය අනුව යම් දඬුවමක් ලිහිල් කිරීමට අවස්ථාවක් ඇත්නම් ඒ වෙනුවෙන් අවධානයක් දැක්වීම වැදගත්. ඇතැම් වැරදි සමාවක් ලබා දී නිදොස් කිරීමට හැකියාව තිබෙනවා. නිවසක පිරිමියා එහෙම නැත්නම් දරුවෙක්, සැමියෙක්, පියෙක් බන්ධනාගාරගත වීම නිසා ආර්ථිකය වගේම පවුලත් අනාරක්ෂිත වෙනවා.
දරුවන් නින්දාවට පත්වනවා. ඔවුන් නොමඟට යොමුවනවා. ඒ නිසා බන්ධනාගාරයට නියම කිරීමට පෙරාතුව මෙවැනි පවුල් පසුබිම් ගැනත් සැලකිලිමත් වීම වැදගත්. ඔවුන්ගේ පෙර වැරදි නැත්නම් අවවාද කොට නිදහස් කිරීමේ හැකියාව තිබෙනවා.
ඒ වගේම මෙම රැඳවියන් වෙනුවෙන් ගනු ලබන අධිකරණ ක්‍රියාමාර්ග ඉක්මන් කිරීමත් ඉතාම වැදගත්. බන්ධනාගාරයේ සිටින කාලය තුළ හැසිරීම යහපත් නම් දඬුවම් කාලය අඩු කිරීමට පුළුවන්. රැඳවියෙක් නඩත්තු කිරීමට රජයෙන් විශාල වැය බරක් දරන්න වෙනවා. ඒ නිසා අපරාධයේ ස්වභාවය අනුව දඬුවම වගේම කාලය වෙනස් වීම අවශ්‍ය වෙනවා.
☸️ශිල්පයක් ඉගෙනීම
බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ කාලය අපතේ නොයවා ඔවුන්ගේ ශ්‍රමය රට වෙනුවෙන් යොදාගැනීමට පුළුවන්. ඒ නිසා රැඳවියන්ගෙන් ජාතික ශ්‍රමයට යම් දායකත්වයක් ලැබෙනවා. එතැනින් අවසාන නැහැ. යම් දිනයක මේ රැඳවියන් සමාජගත වෙනවා. එවිට ඔවුන්ට තමන්ගේ යැයි වැඩිදියුණු කරගත් ශිල්පය වෙතින් අනාගත ජීවිතය සකස් කරගත හැකියි.
උගතමනා ශිල්පය මයි මතු රැකෙනා
ශිල්පයක් හැදෑරීමෙන් පුද්ගලයකුගේ ජීවිතය වෙනස් වෙනවා. ඔවුන්ට යම් ආත්මවිශ්වාසයක් ගොඩනැඟෙනවා. මමත් ශිල්පයකින් සන්නද්ධ පුද්ගලයෙක්ය යන ආත්මවිශ්වාසය ඔහු තුළ ඇතිවනවා.
☸️බාහුසච්චංච සිප්පංච
බහුශ්‍රැත බව හෙවත් බොහෝ ඇසූ පිරූ තැන් ඇතිවීම මංගල කාරණාවක්. සිරකරුවන් වෙනුවෙන්ද යම් ශිල්පයක් හැදෑරීමට අවස්ථාවක් ලබාදීම කොතරම් අගනේද යන්න ඔබටත් පැහැදිලි වේවි. පුද්ගලයෙක් යම් වරදක් වෙනුවෙන් නීතියෙන් දඬුවම් ලබා නියමිත කාලය අවසානයේදී බන්ධනාගාරයෙන් පිටව යන්නේ නම් ඔහු බන්ධනාගාරයට ඇතුළු වූ පුද්ගලයා නොවිය යුතුයි. පුද්ගලයෙකුගේ චරිත සංවර්ධනය ගොඩනැඟීම වැදගත්. නැවත සමාජයට පිවිසෙන දිනයේදී ආත්මශක්තියෙන් ජීවිතයට මුහුණ දෙන ප්‍රාගුණ්‍යය ලබාදීම වැදගත්.
තම වරද නොදිස්නේ – මෙරමා වරද දිස්නේ බන්ධනාගරයෙන් නිදහස්ව නැවත ගමට පැමිණි දිනකදී පෙර පැවැති ගරුත්වය නොමැති වීමට පුළුවන්. අධිකරණයෙන් නිදහස් වුණත් ගමේ ඇති පුංචි සමාජය මෙම පුද්ගලයාගේ ආත්මය විනාශ කිරීමට තරම් සාහසික වීමට පුළුවන්.
වරදක් වෙනුවෙන් ඔහු දඬුවම් ලබා ඇත.ඒ නිසා අධිකරණය හැර ඔහුගේ ඉතිහාසය ගැන තොරතුරු විමසා සිටින්නට ඔබට අයිතියක් නැත. ඔහු වරදක් කළ බැව් ඇත්ත. නමුත් සදාකාලික වරදකරුවකු නොවන බැව් සිත තබාගන්න.
ශාස්ත්‍රපති පූජ්‍ය
කොළොන්නාවේ නාරද
ස්වාමින් වහන්සේ
ශ්‍රී බෝධිරාජාරාමය
කොළඹ 10
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️