අපේ සමාජයේ පරිවර්තනයක් ඇතිකරන්න නම් තුණුරුවන් ගුණ අනුහසින් පිනක් රැස්කර ගතහැකිවා මෙන්ම මව්පියන්ගේ ගුණ සිහි කිරීමෙන් සිතට සැනසිල්ලක් ඇති කරගන්න පුළුවන්. මව්පිය ගුණ අවබෝධ කරගෙන ඔවුන්ට සැලකිය යුතු අන්දම ගැන බුද්ධ දේශනාවන්හි සඳහන් වෙනවා.
බ්‍රහ්මාති මාතා පිතරො- පුබ්බාචරියාති වුච්චරේ අහුනෙණ්ය්යාච පුත්තානං- පජාය අනුකම්පකා
බුදුරජාණන් වහන්සේ මව්පියන්ට විශේෂ උපාධි නාම ලබා දුන්නා. ‘බ්‍රහ්ම’ පුබ්බාචරිය පූර්වාචරිය ආහුණෙන්ය ඒ අතරින් කීපයක්. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ අන්දමින් ගරු තනතුරක ලා සලකන ලද දෙමව්පියන්ට අද දරුවන් ආමන්ත්‍රණය කරන්නේ ‘ඔයා’ ‘මෙයා’ කියන තරමටම අවතක්සේරුවකින් බව කිව යුතුය. මේ ගැන මව්පියන්ගේ විරුද්ධත්වයක් නැති බව ඇත්ත. දෙව්දත් මවට මැනවි කියන්නා වගේ දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ගේ ඕනෑම වරදක් ඉවසා සිටින්න පුළුවන්.
වචනයෙන් පව් සිදුවීම
නමුත් මේ විදිහට ගරුත්වයක් නැතුව මව්පියන් ආමන්ත්‍රණය නිසා දරුවන් වචනයෙන් පව් සිදුකර ගන්නා බැව් සඳහන් කරන්න වෙනවා. මව්පියන් කියන්නේ මෙත්තා-කරුණා-මුදිතා සහ උපේක්ෂාවෙන් යුක්ත උතුම් චරිත දෙකක්. දරුවා ගැබ්ගත් කාලයේ පටන්ම මගේ දරුවා හොඳින් මේ ලෝකයට බිහිවේවා කියලා මව්පියන් ප්‍රාර්ථනා කරනවා. දරුවාට මෛත්‍රි කරනවා. එවැනි උතුම් ගතිගුණ ඇති මව්පියන්ට වචනයෙන් පවා ගෞරව කළ යුතුයි.
දරුවෙක් හඬනවිට අම්මෙක් සිනාසෙන එකම දවසක්…
දරුවාට ඇති ආදරය නිසා දරුවා බිහිවෙන තෙක් කුසට ආහාරයක් ගැනීමේදී පවා එයින් දරුවාට අහිතකර තත්ත්වයක් ඇති වෙයිද කියලා බියෙන් මවක් ඒ ආහාරය ගන්නේ නැහැ. මවට උවමනාවක් තිබුණත් එය ප්රතික්ෂෙප කරනවා. දරුවා හඬන විට අම්මා සිනාසෙන දවසක් තියෙනවා. ඒ දරුවා මෙලොවට බිහිවෙන අවස්ථාවයි. අනේක වේදනාවක් වින්දත් දරුවාගේ හඬන හඬ ඇසෙත්ම ඒ සියල්ල නැති වෙනවා. අම්මා කියන්නේ ඒ වගේ චරිතයක්.
බෝසත් කුමාරයා උපත ලබා දින හතකින් මහමායා දේවිය කළුරිය කළා. දින හතක් මව්කිරි බිව් සෙනෙහසට උපහාර පිණිස බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කළා. ‘මාතුච්ච’ ‘ පීතුච්ච’මව්පියන්ට සැලකීම තරම් සැනසීමක් දරුවෙකුට ඇත්තේම නැහැ.
මව්පියන්ට වඳින්න නොදන්න දරුවන්…
අතීතයේ මව්පියන් අද වගේ කඩදාසිවලින් රැස්කර ගත් දැනුමෙන් සන්නද්ධ වුණේ නැහැ. ඒක ඇත්ත. ඒත් ඔවුන් ගුණධර්මවලින් පොහොසත් වුණා. අම්මාට තාත්තාට වඳින අන්දම දරුවන්ට කියා දුන්නා.අම්මාගේ තාත්තාගේ දෙපා ස්පර්ශ කරමින් මව්පිය වන්දනා කරන ගාථාවන් සජ්ජායනා කරමින් ඔවුන් මව්පියන්ට උදේ හවස වැන්දා. නමුත් අද දරුවෙක් එක් අතකින් පොත් බෑගය එල්ලාගෙන අනිත් අතින් කකුලට තට්ටු කරලා අම්මා ටටා බායි කියනවා මිසක් හරියට ගාථාවක් ගායනා කරමින් වඳින්නේ නැහැ.
එදා අම්මා තාත්තා දරුවාගේ හිස අතගාලා මගේ පුතාට තුණුරුවන්ගේ සරණයි යැයි ආශිර්වාද කළා. නමුත් අද මව්පියන් ටටා බායි එහෙම නැත්නම් flying-kiss එකකින් දරුවාට ප්‍රතිචාර දැක්වීමට තරමටම ධර්මද්වීපයේ මව්පිය වන්දනාව පරිහානියට පත්ව තිබෙන බැව් කනගාටුවෙන් වුණත් කිව යුතුයි.
මුහුණු පොතේ වැලපිළි..
අජාසත්ත රජතුමා දෙව්දත්ගේ නොමග යැවීම නිසා බිම්බිසාර රජතුමා සිරගත කළා. යටි පතුල් පළා ලුණු දැම්මා. ඒත් බිම්බිසාර රජතුමා තම පුත් අජාසත් වෙත දක්වන ලද මෛත්‍රිය අඩුවුනේ නැහැ.අජාසත් රජුගේ බිසොවට දරු සම්පත් ලද තැන රජතුමාට මෙහෙම සිතුනා ‘අනේ මගේ පියාටත් මා ලද දවසේ මේ විදිහට සතුටක් දැනෙන්න ඇති අජාසත් රජතුමා සිතුවා. පියා නිදහස් කරන්න හනික දුව ගියා. ඒත් බිම්බිසාර රජතුමා ඒ වෙන විටත් මියගොස් සිටියා.
මව්පියන් නැතිවුණාම මුහුණු පොතේ පෝස්ට් දමා වැළපෙනවාට වඩා ඔවුන් ජීවත්ව සිටින කාලයේදී හිතට සැනසීමක් ලැබෙන සේ කටයුතු කරන්න. ඔබගෙන් මව්පියන්ට වියයුතු යුතුකම් මගහැරුණ දිනයක නැවත ඒවා ලබාගැනීමට බැහැ. එවිට ඉතුරු වන්නේ පසුතැවීම පමණය. ඔබට ජීවිතය හැඩගසා ගැනීමේ මාර්ගය කියා දුන්නේ මව්පියන්. හරිහම්බ කරගත් මුදලින් ඔබට ආහාරපාන ඇඳුම් පැළඳුම් බේත්හේත් සහ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් දැරුවේ මව්පියන්.
ඒ නිසාම බුදුරජාණන් වහන්සේ මව්පියන් ‘ආහුණ්‍යෙය’ ගුණයෙන් යුක්ත පිරිසක් ලෙසින් හඳුන්වා තිබෙනවා. මව්පියන් දරුවන්ට සලකන්නේ ඇටමිදුළුවලින්ම බැඳුණ දූ දරු සම්බන්ධතාවයකින්.නමුත් අද දරුවන් වෙතින් මව්පියන්ට දක්වන සැලකිලි ගැන නම් තෘප්තියකින් කතාකරන මව්පියන් විරලයි.
පසළොස්වක පොහොයකටවත් සිල් සමාදන් වෙන්න බැරි විදිහට දරුවන්ගේ දරුවන් රකින තැනට අම්මා පත්වෙලා. කාර්යබහුල ලෝකයක මිත්තණියක්ව තමන්ගේ මුණුපුරන්ට රැකවරණය දීමේ වරදක් නැහැ. නමුත් අවම වශයෙන් පසළොස්වක පොහොය දිනයකටවත් සිල් සමාදන්වීමටවත් අවසරයක් නැහැ. මව්පියන්ට හොඳින් සැලකු ධාර්මික රජවරු ගැන තොරතුරු අපේ ලංකා ඉතිහාසයේ සඳහන් වෙනවා.
අග්බෝ රජතුමා සිංහාසනයට නගින්න පෙරාතුව මව්පියන්ගේ දුක සැප විමසනවා. මව්පියන්ට පැන් සලසා දෙනවා. මෑණියන්ගේ කාමරයට යන්න පවා අවසර ඉල්ලා සිටිනවා. මවගේ දියරෙද්ද මිරිකා ගත් ජලයෙන් ඔටුන්න සෝදා අභිෂේක කළා. නමුත් අද මව්පියන් ගැන දරුවන් දක්වන සැලකීම අඩුයි.
පංචානන්තරිය කර්ම අතරට…
මව්පියන්ගේ වැදගත්කම කොතරම් විශිෂ්ටද යත් පංචානන්තරිය කර්ම අතරට මව පියා මැරීම වැනි අකුසල කර්ම ඇතුළත්ව තිබෙනවා. මව්පියන්ගේ ගුණ සමාන කරන්න බැහැ. ඒ නිසා බාල කාලයේදී පටන්ම දරුවන් අකුසලයෙන් මුදවාගැනීම වැදගත්. දරුවන්ගේ ශරීරය පමණක් නොව ඔවුන්ගේ ගුණධර්ම වර්ධනය කිරීම වැදගත. දරුවන් ඉදිරියේ මව්පියන් ආදර්ශමත් වීමත් වැදගත්.
ඔබේ වැඩිහිටියන් වෙනුවෙන් ගෞරව කරන්න. ඔවුන්ට සැලකිලි සම්මාන දක්වන්න. එවිට දරුවන්ද ඔබ අනුකරණය කරනු ඇති. පවුලක මව සහ පියා යනු එක හා සමාන වැදගත් බැව් දරුවන්ට පෙන්වා දෙන්න. සැමියකු ලෙසින් ඔබ දරුවන් සමග මවගේ නුගුණ නොකියන්න. බිරිඳක ලෙසින් ඔබ දරුවන් සමග සැමියා අවමානයට පත් නොකරන්න. මව සහ පියා යනු දරුවන්ගේ ජීවිතයේ එකම ශක්තිය බැව් දරුවන්ට ආදර්ශයෙන්ම පෙන්වා දෙන්න.
රූපවාහිනී සහ ගුවන්විදුලි ධර්මදේශක
පූජ්‍ය අතුරුගිරියේ අනුරුද්ධ ස්වාමින්වහන්සේ
ධර්මරාජ මහ පිරිවෙන
කණදුල්ල-කුලියාපිටිය
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️