ආර්ට් එකක් හරියට ඇඳෙන්නෙ හොඳ හාට් එකක් තියෙන අයට. ඒක හරිම අපූරු කලාවක්. ඒ අපූර්වත්වය නිසාම ඇතැම් චරිත ලෝකප්‍රකට චරිත බවටත් චිත්‍ර බවටත් පත්වුණු බව අපි දන්නවා. ශම්මික එහෙම වෙන්න පුළුවන් කොල්ලෙක්. එයා අත් දෙකෙන් විතරක් නෙවෙයි තමන්ගේ කකුල් දෙකෙන්, දිවෙන් පවා චිත්‍ර අඳිනවා. මේ දක්ෂතාව හරිම අසාමාන්‍යයි. ඒ නිසා ශම්මික ගැන අපි ලියන්න හිතුවා. එයාගේ ආර්ට් එක ගැන ලෝකෙට කියන්න හිතුවා.
ඔබ ගැන පොඩි විස්තරයක් කියලම මේ කතාව පටන්ගමු
මගේ නම ශම්මික හිමේෂ් ඉලංගරත්න. මම පදිංචි වෙලා ඉන්නෙ කෑගල්ල රඹුක්කන ප්‍රදේශයේ. මගේ වයස 22 යි. මම ඉගෙන ගත්තෙ රඹුක්කන අශෝක විද්‍යාලයෙන්. දැන් උසස් අධ්‍යාපනය කටයුතු කරන ගමන් ඉන්නේ. මගෙ පවුලේ අම්මයි, තාත්තයි, නංගියි ඉන්නෙ.
ශම්මික චිත්‍ර අඳින්න යොමු වුණේ කොහොමද ?
පොඩි කාලෙ ඉඳලම මගේ විනෝදංශය වුණේ චිත්‍ර අඳින එක. හරියට පෑනක් පැන්සලක් අල්ලන්න පුළුවන් කාලෙ ඉදන්ම කොළයක් පැන්සලක් හම්බුණොත් මම කරන්නෙ චිත්‍ර අඳින එක. ඒ තිබුණ ආසාවයි උනන්දුවත් එක්ක තමයි මම චිත්‍ර අඳින්න යොමු වුණේ.
මේ වගේ නිර්මාණ කරන්න ආසාවයි උනන්දුවයි විතරක් තිබිලා මදි. අවශ්‍ය කරන දැනම කොහොමද ඔබ ලබාගත්තෙ ?
ඔව්. ඒක ඇත්ත. සහජයෙන් මට ලැබුණු හැකියාව මම දියුණු කරගත්තා. ඒත් මම කොහෙවත් චිත්‍ර ඉගෙන ගන්න ගියේ නැහැ. ඉස්කෝලෙදී විතරයි චිත්‍ර ඉගෙන ගත්තෙ. මමම තමයි මට ඕන කරන දැනුම හොයාගත්තේ.
ඒ දේවල් ඉගෙන ගන්න ගොඩක් වෙලාවට මම පාවිච්චි කළේ අන්තර්ජාලය. ඒ දේවල් මම අරගෙන මට ගැළපෙන විදිහට වෙනස් කරල මගේම ටෙක්නික් එකක් මම හදාගන්නවා.
ශම්මිකගේ අත්දෙකෙන් චිත්‍ර එකොළහක් ඇදපු වෙනස්ම වැඩේ ගැන කිව්වොත්…
මට කොහොමත් වුවමනා වෙලා තිබුණා මිනිස්සු කතා වෙන දෙයක් කරන්න. ඔය ගැන හිත හිත ඉන්න වෙලාවක තමයි අහම්බෙන් දැක්කෙ පිටරට චැනල් එකක එකවර අත් දෙකෙන් චිත්‍ර 4ක් අඳින වීඩියෝ එකක්. ඊටපස්සෙ ඒක හොඳට බලලා අවශ්‍ය කරන ටෙක්නික්ස් ටික අරගෙන මම ප්‍රැක්ටිස් කළා. කොහොම හරි ඒ වැඩේ හොඳට වුණා.
ඒ නිර්මාණය කරපු ආකාරය ගැන විස්තර කළොත්…
මුලින්ම චිත්‍ර එකොළහක් එක පාර අඳින්න බැරි නිසා මම කළේ චිත්‍ර දෙකක් එකපාර ඇඳපු එක. මොකද මේ වැඩේ කරන්න අත හුරුවෙන්න ඕනෙ. එතනදි වුණ අඩුපාඩු ටික හදාගෙන මම ඒ විදිහට චිත්‍ර හතරක් එකපාර ඇඳලා බැලුවා.
ඊටපස්සෙ චිත්‍ර පහක් ඒ විදිහට ඇඳලා මම පොඩ්ඩ පොඩ්ඩ පුරුදු වෙලා තමයි චිත්‍ර එකොළහක් අදින්න පටන් ගත්තේ.
අනික මේ චිත්‍ර එකොළහෙදී මම ඇන්දේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ එකොළොස් දෙනෙක්. කුමාර සංගක්කාර, ලසිත් මාලිංග, තිලකරත්න ඩිල්ෂාන්, මුත්තයියා මුරලිදරන්, සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස් සහ වනිදු හසරංග කියන කට්ටියව තමයි මම ඇන්දේ. ප්‍රසිද්ධ කට්ටියක් නිසා එයාලට හානියක් නොවෙන විදිහට මම මේ නිර්මාණය කරන්න වග බලාගත්තා.
මම මේ නිර්මාණය කරල ඉවරවෙලා යූටියුබ්, ෆේස්බුක් අප්ලෝඩ් කළාට පස්සෙ ගොඩක් අය මගෙන් ඇහුවා මේක ඇත්තටම ඇදපු එකක්ද කියල. අප්ලෝඩ් කරපු විඩියෝ එක විනාඩි කිහිපයක් වුණාට මට නිර්මාණය කරන්න පැය 15 ක් 16 ක් වගේ ගියා.
මුලින්ම තනි තනි රූපේ අරගෙන ඒවාවල කටු සටහනක් මම ඇදගත්තා. ඊටපස්සෙ තමයි පෑන්වලින් චිත්‍ර එකොළහම එකපාර ඇන්දේ. වැරදුණොත් මකන්නත් බැරි නිසා හරියටම මම වැඩේ කළා.
ශම්මිකගේ තවත් වෙනස්ම විදිහකට ඇදපු නිර්මාණයක් තියෙනවා නේද ?
ඔව් ඒ විදිහට චිත්‍රයක් ඇදපු ලංකාවේ පළවෙනිම කෙනා මම වෙන්න ඕනෙ. ඒ දිව පාවිච්චි කරලා ඇදපු චිත්‍රයක්. ඒ නිර්මාණය නම් කළේ මගේ හිතේ ඇතිවුණ ආසාවට සහ වෙනස් දෙයක් කරන්න තියෙන වුවමනාවත් එක්ක.
මේ නිර්මාණයත් මම එක පාරම කළේ නැහැ. අන්තර්ජාලයෙන් අවශ්‍ය කරන තොරතුරු හොයලා හොඳට පුහුණු වෙලා තමා චිත්‍රයක් ඇන්දේ. මම ඇන්දේ අමිතා බච්චන්වයි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝවයි.
චිත්‍ර දෙක ඇදල ඉවර කරන්න හිතුවට වඩා කාලයක් ගියා. වෙනස්ම අත්දැකීමක් වුණා ඒ නිර්මාණයත්. චිත්‍රය ඇන්දෙ අඟුරුයි පොල්තෙලුයි කලවම් කරලා හදාගත්ත මික්ස් එකක් දිවේ තවරලා.
ශම්මිගෙ අනෙක් නිර්මාණ ගැනත මතක් කළොත්…
මගේ ලොකුම නිර්මාණ දෙකට අමතරව මම කකුලෙන් චිත්‍ර අඳිනවා. ඒ වගේම ඇඟිලිවලින් මම චිත්‍ර අදිනවා. ඒ කියන්න ඇගිලි තුනක පාට තුනක පෑන් රඳවලා ඒක පාර ඒවාවලින් චිත්‍ර අදිනවා.
අත්දෙකෙන් චිත්‍ර දෙකක් එක පාර අදින්නත් පුළුවන් මට. ඊට අමතරව සාමන්‍ය පැන්සල් සිතුවම්, පේන්ටින්ස් මට කරන්න පුළුවන්. ඒත් වඩාත් කැමති වෙනස් වෙනස් ආකාරවලට චිත්‍ර අඳින්න තමයි.
ඇයි සාමාන්‍යයෙන් චිත්‍ර අඳින ක්‍රමවලට වඩා වෙනස් ක්‍රමවලට චිත්‍ර අදින්න හිතුණේ ?
වයිරල් වෙන්න නම් සමාජයට දැනෙන්න දෙයක් කරන්න ඕනෙ. හැමදාම එකම විදිහේ දේවල් කළොත් අපිට උඩට එන්න බැහැ. බය නැතුව වෙනස් දේවල් කරන්න ඕනෙ. සාමාන්‍ය විදිහට දෙයක් කරලත් වයිරල් වෙන්න ඕනම කෙනෙකුට පුළුවන්.
ඒත් වෙනස් විදිහට හිතල දෙයක් කරන කෙනෙකුට ඒ වයිරල් වීම ඉක්මනින් ලබාගන්න පුළුවන්. අනෙක් කාරණය තමයි මම වෙනස් දේවල් කරන්න කැමති කෙනෙක්.
මෙච්චර දුරක් තනියෙන් එන්න බැහැ. ඒ නිසා ලැබුණු උදව් ගැන මතක් කළොත්…
ඔව් මේ වගේ ගමනක් මට තනියෙන් එන්න බැහැ. උදව් කරපු අය ගොඩක් ඉන්නවා. මුලින්ම මතක් කරන්න ඕනෙ මගේ අම්මයි තාත්තයි. මුල ඉදලම මගේ පිටි පස්සෙන් මේ හැමදේකටම හිටියේ එයාලා. ඕන කරන කඩදාසි පැන්සල් ගොඩක් වෙලාවට අරන් දෙන්නෙ එයාලා.
දැන් වුණත් මට අමුද්‍රව්‍ය මදි වුණොත් උදව් කරන්නෙ එයාලා දෙන්නා. ඒ වගේම මම ඉගෙන ගත්ත පාසලේ ගුරුවරුන් සහ මගේ යාළුවන්වත් මතක් කරන්න ඕනෙ. එයාලත් මට ගොඩක් උදව් කරනවා.
ඉදිරියට මොනවද තියෙන බලාපොරොත්තු ?
මේ දවස් ටිකේ මම පුහුණු වෙනවා චිත්‍ර තිහක් එකපාර අඳින්න. ඉස්සරහට කොහොම හරි මම ඒ වැඩේ කරනවා. ඒ වගේම තව වෙනස් විදිවලට චිත්‍ර ඇඳල වෙනස් නිර්මාණ එළියට දාන්න ඉන්නෙ. ඒ වගේම මගේ අධ්‍යාපන කටයුතුත් කරගෙන යන අතර චිත්‍ර පැත්තෙන් ඉස්සරහට යන්න බලාගෙන ඉන්නෙ.
අර්චිත ඉඳුවර ✍️