ඇසළ පුර පසළොස්වක පොහොය දින මහමායා දේවියගේ මව්කුස පිළිසිඳගත් අපේ බෝසතාණන් වහන්සේ දස එකඩ මසක් ඇවෑමෙන් වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී උපත ලැබුවා. බෝසත් උපත පවා ඉතාම අසිරිමත් සිදුවීමක්. දබරාවකින් නික්මෙන දියත්තක් මෙන්ද ධර්මාසනයකින් බසින ධර්ම කථිකයාණන් කෙනකු මෙන් බොහොම පහසුවෙන් බෝසත් කුමරු බිහිවුණා. වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී මහ බෝ මැඬ වැඩ හිඳ පස්මරුන් පරදා ලොව්තුරා බුද්ධත්වයට පත්වුණා. පුරා පන්සාළිස් වසක් ලෝකයාට පරාර්ථ චර්යාවෙන් පිහිට වී මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනේදී බුද්ධ පරිනිර්වාණය සිදුවූවා.
කිච්චෝ මනුස්ස පටිලාභෝ – කිච්චං මච්ඡාන ජීවිතං
කිච්චෝ සද්ධම්ම සවණං – කිච්චෝ බුද්ධානං උප්පාදෝ තී
බුදුවරයකුගේ පහළ වීම දුර්ලභ වන අතර සම්බුද්ධ ශාසනයේ පැවැත්ම ඇති කාල වකවාණුවක ජීවත්වීම භාග්‍යයක්. ඒ නිසාම බෞද්ධයන් වන අපි වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අතිඋතුම් පොහොය දිනයක් ලෙසින් සලකනවා.
අපට බුදුරජාණන් වහන්සේගේ උපත, බුදුවුණ, පිරිනිවනට පත් ස්ථාන නැවත ගවේෂණයක් අවශ්‍ය නැහැ. අසෝක රජතුමාගේ ටැම් ලිපිවලින් ඒ ස්ථාන සනිටුවහන්ව තිබියදී සමාජය තුළ අනවශ්‍ය මතවාද බිහිකිරීම අවශ්‍ය නැහැ. අපගේ මෙලොව සහ පරලොව සුගතිගාමීව ගොඩනගාගන්නා ධර්ම කාරණාවන් අනුගමනය කරමින් අපේ ජීවිත හැඩගසා ගැනීම බෞද්ධයන් වන අපේ අරමුණ විය යුතුමයි.
අච්චරිය මනුස්සෝ
කලල් මඩ මැඬගෙන සියපතක් සුවඳ විහිදුවමන් පිපෙන සේ බුදුරජාණන් වහන්සේද කෙලෙස් පිරුණ ලෝකයක උපත ලබා කෙලෙස් මළ නොතරවා උදාර ගුණ හදා වඩා ගත් චරිතයක්. රාග, ද්වේෂ, මෝහ, මද, මාන, ඊර්ෂ්‍යාවන් නොමැති බුදුසිත මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව, ශීල, සමාධි, ප්‍රඥා ආදී මානව ගති පැවැතුම්වලින් පරිපූර්ණ විය.
බුදුරජාණන් වහන්සේ සම කළ හැකි තවත් කෙනකු වේ නම් ඒ තවත් බුදුරජාණන් වහන්සේ නමක් පමණි. මේ නිසාම අච්චරිය මනුස්සෝ යන නමින් හැඳින්වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි නිරවුල් මගක් පෙන්වා දුන් හෙයින් උන්වහන්සේ “අක්ඛාතාරෝ තථාගතා” යන නමින් හැඳින්වෙනවා.
ගත සිත සුවපත
සුප්ප බුද්ධං පබුජ්ක්න්ති-සදා ගෝතම සාවකා
යේසං දිවාච රත්තෝච- නිච්චං බුද්ධ ගතා සති
“බුදුගුණ අරමුණු කරගත් සිහියෙන් යුක්තව ජීවත් වීමෙන් උපදනා සිහිය ඇත්තේද, දිවා රාත්‍රි දෙකේහි නිතර බුදුගුණ සිහිකරන ගෞතම ශ්‍රවකයෝ සෑම කල්හිම බුදුගුණ සිතින් ගෙන නිදා සැපසේ පුබුදන්නාහ. සැපවත් නින්ද, සුවපත් සිත, සොම්නස්ව අවදි වීම පුද්ගලයකුගේ කායික වගේම මානසික සතුටට හේතු වෙනවා.
අද සමාජය බොහොම කාර්ය බහුලයි. තරගකාරීයි. ඒ නිසාම ලෝබ, ද්වේශ, මෝහ සිතින් යුක්තව සිදුකරන අකුසල කර්මයන් බලවත්. මේ අන්දමින් අකටයුතු, අකුසල කර්ම කරන පුද්ගලයන් සුවසේ සිටියදී, යහපත් ජීවිත ගතකරන අපට දුක් කම්කටොලු සියල්ල පැමිණෙන්නේ ඇයිදැයි තවත් පිරිසක් තර්ක කරති.
කරන කලට පව් මිහිරිය මී සේ – විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
ලෝවැඩ සගරාවේ සඳහන් අන්දමට ඔවුන් කරන කර්ම විපාක ගොනු පසුපස යන කරත්ත රෝදය මෙන් කවදා හෝ දිනක ඔවුන් වෙත පැමිණෙනු ඇත. ඒ වගේම තුනුරුවන් ගරු නොකරන පුද්ගලයාගේ මානසික සුවතාවක් ගැන කතා කිරීමත් අපහසුයි. ආර්ථික සැප තිබුණ පමණින් පුද්ගලයෙක් සුවපත් නැත.
සියලු සැප සම්පත් තිබුණත් ඔවුන්ගේ මනසට සහනයක් නැත. මේ වෙහෙස දරාගත නොහැකිව ඇතැමුන් සියදිවි හානි කරගැනීමට පවා යොමුවන බවට වූ ප්රවෘත්ති නිතරම අසන්නට ලැබෙනවා. බැලු බැල්මෙන් ඔවුන් භෞතික සැප සම්පත්වලින් ආඪ්යයයි. එහෙත් මෙවැනි අකාල මරණයන් වෙත යොමු වීම පිටුපස ඇත්තේ රෝගාතුර වුණ මානසිකත්වයයි.
ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්
වෙසක් පසළොස්වක පොහොය නිමිති කර ගෙන අපි ආමිස පූජාවන් වගේම ප්‍රතිපත්ති පූජාවන් පවත්වනවා. ආමිස පූජාවන් යනු බුදුරජාණන් වහන්සේගේ නාමයට අපි කරන මල්, පහන්, සුවඳ දුම් වැනි පූජාවන් වන අතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම මාර්ගය අනුව කටයුතු කිරීම ප්‍රතිපත්ති පූජාව යනුවෙන් හඳුන්වනවා.බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන් උතුම්. අපි ප්‍රතිපත්ති පූජාවේ ආරම්භයක් ලෙසින් ආමිස පූජාවන් වෙත යොමු වීම වැදගත්.
බුදුහාමුරුවන්ට සිදුකරන සැබෑම ගරු කිරීම ප්‍රතිපත්ති පූජාවයි. බුදුරජාණන් වහන්සේට ආමිස පූජාවන් පැවැත්වීමට මුවාවෙන් බොහෝ අකටයුතු සිදුවනවා. දන්සල් වෙනුවෙන් එකතු කරන මුදල්වල විනිවිද බවක් නැති බවට චෝදනා නැගෙනවා.
දන්සල් පෝස්ටරය මුවාවෙන් මත්පැන් පානය කරන සාද නිර්මාණය වන බවත් දැන් රහසක් නොවේ. දන්සලක් යනුද ජීවිතයේ විනෝදාස්වාදය ලැබීමේ තවත් එක් මධ්‍යස්ථානයක් බවට පත් විය යුතු නැහැ. අපි ආමිස පූජාවන් පවත්වමින් බුදු රජාණන්වහන්සේ පෙන්වා දුන් ප්‍රතිපත්ති පූජාව වෙනුවෙන් අප්‍රමාදීව විර්ය වැඩීම අවශ්‍යයි.
වෙසක් මාකට් කළයුතු නැහැ
වෙසක් උත්සවයේදී අපි ශීල, භාවනා වැඩසටහන් වෙනුවෙන් යොමුවීම වැදගත්. දරුවන් සහ මව්පියන් එකට එක්ව සීල සමාදානයේ යෙදීම වැනි ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙන්න අවශ්‍යයි. අපි පුංචි කාලයේ වෙසක් කියන්නේ අපට හරිම සුන්දර කාලයක්. උණ බට පතුරු කපාගෙන ඇවිත් වෙසක් කූඩු සැරසිලි කරනවා. අටපට්ටම්, තරු, මේ වගේ නානාප්‍රකාර කූඩු පැටව් පිරිවර සමග සදනවා.
ගමේ හැම දෙනාම එකට එක්ව එකමුතුව කරද්දී සහයෝගය ඇතිවනවා. අපේ හසුරු කුසලතාවයන් වැඩිදියුණු වෙනවා. ඒත් අද වෙළෙඳ පොළෙන් ප්ලාස්ටික් කූඩුවක් අරගෙන පත්තු කරනවා. ඒ විදිහට වුණත් ආමිස පූජාවක් පැවැත්වීම වරදක් කියන්නේ නැහැ. නමුත් දරුවන්ට කුඩා කාලයේ පටන්ම වෙසක් සිතුවිලි සිතට ලබා දෙන්න ඕන.
බුදුරජාණන් වහන්සේ ධර්ම ජීවයක්
අපේ බුදුරජාණන් වහන්සේ යනු ධර්ම ජීවයක්. බුදුගුණ මෙනෙහි කරත්ම අපේ සිත නිවෙනවා. සන්සුන් වෙනවා. බුද්ධ ගෞරවය පහළ වුණ සිත සන්සුන් වෙනවා. කුසල් සිත් වැඩී අකුසල් සිත් දුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයට යොමුවීම සිදුවන්න. ඔබේ සිත බුදුමැඳුරක් බවට පත් වෙනු නියතයි.
කිවියර සහ ගීත රචක,
ශාස්ත්‍රපති පූජ්‍ය
මහගම සීලානන්ද ස්වාමින් වහන්සේ
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️