“ මෙයාට කිසිම වැඩක් තනියම කරගන්න බෑ. හැමදේම අතට පයට කරලා දෙන්න ඕනේ. කාපු පිඟාන හෝදන්නේ නෑ. තමන්ගේ කාමරේ පිළිවෙලට තියාගන්න බෑ. තවමත් ඇඳපු ඇඳුම හෝදන්නෙත් මම” ඔයා අම්මා කෙනෙක් නම්, තමන්ගේ දරුවා ගැන මෙහෙම ප්‍රශ්න සමහරවිට ඔයාටත් ඇති. අද මාතෘකාව දරාගන්න පුළුවන් හයිය දරුවෙක්, වැඩිහිටියෙක් හදන්න ඕනේ කොහොමද කියන එක ගැන.
අද කාලේ ගොඩක් දරුවන්ට දරා ගැනීමේ ශක්තිය හරි අඩුයි. අමාරු වැඩක් කරගන්න බෑ, ප්‍රේමය බිඳුනොත් මනසින් කඩා වැටෙනවා, විභාගයක් ෆෙල් වුණොත් සියදිවි හානි කරගන්න හදනවා. මේ වගේ ජීවිතේ පුංචි පුංචි දේවල්වලින් කඩාගෙන වැටෙනවා. එහෙම නැතුව ඉලක්කයක් ඇතුව, පිළිවෙලකට දරුවෙක්ව මුල ඉඳන්ම හදාගන්න අවශ්‍යයි.
දරුවෙක්ට ඔරොත්තු දෙන විදියට මොළේ හදන්නෙ කොහොමද?
මොළය කියන්නේ විවිධ අංශවලින් පිරුණු අමුතු අවයවයක්. අපේ සියලුම වැඩ ටික කරන්නේ මොළය. පොඩ්ඩක් හරි වයර් එහාට මෙහාට වුණොත් වෙන්න තියෙන විනාසය අතිමහත්. ඒ නිසා මොළය නිවැරදි ලෙස ගොඩනැගිය යුතුයි. හැසිරවිය යුතුයි. භාවිත කළ යුතුයි. ස්වභාවධර්මය විසින් මොළය හදලා දෙන්නේ ඉපදෙන අවස්ථාවේදී 25% ක් විතරයි.
ඉතුරු 75% හදන්න ඕනේ ළමයව හදන අය. ඊටපස්සේ මොන්ටිසෝරියේ ඉඳන් පාසල් අධ්‍යාපනය අවසන් වනතෙක් මුණගැහෙන ගුරුවරු. මොළේ තාක්ෂණික ඥාණය දැනගන්නේ නැතිව මොළයක් හදන්න ගියොත් වෙන්නේ මාළුකාරයෙක්ට කියලා සීසර් සැත්කමක් කරගත්තා වගේ වැඩක්. දරුවට පරිසරය තුළින් දෙන අත්දැකීම ගුණාත්මකභාවයෙන් ඉහළ වෙන්න ඕනේ.
උදාහරණයක් විදිහට අපි හිතමු ඔබ පුංචි කාලෙ ඉඳන් වත්ත වටේ දුව දුව, කුරුල්ලො පෙන්න පෙන්න දරුවට කවනවා. ලොකු වෙනකල්ම දරුවව තමන් ගාවින් නිදිකරවගන්නවා. අනිවාර්යයෙන්ම පෞරුෂය දුර්වල, පතෝල ළමයෙක් තමයි ඔබ මේ හදන්නේ. කිසිම දේකට ඔරොත්තු දෙන්නෙ නෑ. වැඩක් තනියම කරගන්න බෑ.
අලුත ඉපදුන දරුවෙකුගේ මොළේ බර වෙන්නේ ග්‍රෑම් 333 ක් වගේ ප්‍රමාණයක්. අවුරුදු දෙකක් යද්දි ඒ ප්‍රමාණය ග්‍රෑම් 999ක් දක්වා වැඩිවෙනවා. මොළයේ 90%ක් ගොඩනැගෙන්නේ මුල් අවුරුදු පහ තුළ. ඉපදෙන අවස්ථාවේදි මොළය හැදිලා තියෙන්නේ 25%යි. අවුරුදු දෙකක් යද්දි 75% යි.
අවුරුදු පහක් යද්දි 90%යි. මෙන්න මේ නිසයි දරුවෙකුගේ මුල් ළමාවිය සංවර්ධනය ගොඩක් වැදගත් වෙන්නේ. අපේ රටේ අඩුම ඉතිරියක් කරන්නේ මුල් ළමා විය සංවර්ධනයට. ලෝකෙ දියුණු රටවල වැඩියෙන්ම සල්ලි ඉතුරු කරන්නේ මුල් ළමාවිය සංවර්ධනයට. මෙන්න මේ හේතුව නිසයි ගුණාත්මක භාවයෙන් අඩු පුරවැසියෝ නිර්මාණය වෙලා රට බංකොලොත් වෙන්නේ.
දරුවෙක්ගේ මොළයේ සංවර්ධනය අඩාල කරන මෝඩ වචන තුනක් අම්මල තාත්තලා ගාව තියෙනවා. ඒ තමයි “එපා, වැටෙයි, ඕකෙ කක්කා”. සෙල්ලමක් කරන්න දෙන්නෑ. දුවන්න පනින්න දෙන්නෑ. සියලුම දේවල් නවත්වනවා. පැහැදිලිව පේන තර්ජනයක් නොවේනම් ළමයින්ට ඒ දේවල් කරන්න ඉඩ දෙන්න ඕනේ. අපේ අම්මලා උඩ කියපු වචන තුන කිය කිය ළමයින්ව ක්‍රියාකාරී පරිසරයෙන් ඈත් කරවනවා.
කොයිවෙලේත් දරුවව කිහිල්ල අස්සෙ ගහන් ඉන්න එපා. ඉස්කෝලෙ යනකොට ළමයගේ පොත් බෑග් එකත් උස්සගෙන යන්න එපා. සමහර අම්මලා ඉන්නවා තමන්ට නිදහසේ මොකක් හරි වැඩක් කරගන්න ඕන වුණාම තනපුඩුව අල්ලලා ළමයගෙ කටේ ඔබනවා. නැත්නම් ඊළඟට කරන කැතම වැඩේ තමයි තමන්ගෙ ෆෝන් එක දෙනවා ළමයට. දඟල දඟල හිටපු ළමයගේ ක්‍රියාකාරීත්වය නැති වෙනවා. ඔබ මේ කරන වැඩවලින් පස්සේ කාලෙක විඳවන්න වෙන්නේ දරුවට.
මුල් කාලේ වැඩේ වරද්දගෙන, දරුවා තුළින් අවුල් හැඩයක් හදාගෙන පස්සේ කාලෙක තේරුම් ගන්නවා මේ වැඩේ අවුල් කියලා. නමුත් ඊටපස්සේ දරුවගේ හැඩය වෙනස් කරන්න බෑ.
මේක හරියට මැටි භාජනයක් පුච්චලා හයි වෙන්න කලින් තමන්ට අවශ්‍ය වෙනත් හැඩයක් නිර්මාණය කර ගන්නවා වගේ වැඩක්. භාජනය හයිය වුණාට පස්සේ හැඩය වෙනස් කරන්න ගියොත් වෙන්නේ ඒක බිඳිලා කුඩු වෙලා යන එක.
ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ දරුවෙකුගේ ඔරොත්තු දීම, පෞරුෂය වගේ සියලු කාරණා ගොඩනැගෙන්නේ මුල් අවුරුදු පහ, දහය, දොළහ ඇතුළත. මේ කාලසීමාව ඔබ මිස් කරගත්තොත්, මේ කාලසීමාවෙදී දරුවට ලබාදිය යුතු ප්‍රශස්ත අත්දැකීම ලබා නොදුන්නොත් හැඩය අවුල් පතෝල කරලක් වගේ ළමයෙක් තමයි ඔය සමාජගත කරන්නේ. ඒ නිසා මේ අපරාධය දරුවන්ට කරන්න එපා.
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක සහ මනෝ චිකිත්සක
වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන
එරංදි කෞශල්‍යා ✍️