මුටසීව රජතුමාගේ ඇවෑමෙන් තිස්ස කුමරු රාජ්‍යත්වයට පත්විය. තිස්ස කුමරු සහ දඹදිව ධර්මාශෝක රජතුමා මිතුරන් වුණත් ඔවුනොවුන් දැක නොතිබුණ නිසා ‘නොදුටු මිතුරන්’ ලෙසින් කටයුතු කරන ලදි. මේ මිත්‍රත්වය නිසා තිස්ස රජතුමා ධර්මාශෝක රජතුමාට මුතු, මැණික් ආදිය පඬුරු ලෙසින් යවන ලද අතර ධර්මාශෝක රජතුමා විසින් තිස්ස කුමරුගේ අභිෂේකයට අවශ්‍ය සියලු දේ එවනු ලැබීය. මේ වන විට ධර්මාශෝක රජතුමා බුදුදහම වැළඳ ගෙන සිටියෙන් තම මිතුරා වූ තිස්ස රජතුමාගේ රාජ්‍ය පාලනය පවතින ශ්රීි ලංකාවටත් දහම් පඬුරක් ලෙසින් සිය පුත් මිහිඳු මහ රහතන්වහන්සේ ප්රමුඛ පිරිස පිටත් කර එවනු ලැබීය. ඒ අති උතුම් දිනය පොසොන් පොහොය ලෙස නම් විය. එදා පටන්ම අපි තුණුරුවන් සරණ ගිය බොදුණුවන් බවට පත්ව සිටිමු. කෙසේ හෝ වේවා බුදුදහමේ පණිවිඩය රැගෙන මිහිඳු මහ රහතන් වහන්සේ එදා නොවැඩියා නම් අපි තවමත් ගස්, ගල්, යක්ෂයින් අදහන සංස්කෘතික වටිනාකම් නොමැති ජාතියක් බැව් කිව යුතුමය.
බුද්ධි පරීක්ෂණය
මිහිඳු හිමියන් ධර්මදූතයකු ලෙස විශිෂ්ට ලක්ෂණවලින් යුක්ත වූහ. ප්‍රසන්න ඉරියව්, ශ්‍රාවකයාගේ බුද්ධි මට්ටම තේරුම් ගැනීම, පැවැති ආගමික මතවාද එකහෙලා බැහැර නොකොට නව අර්ථ කථනයන් ලබාදීම උන්වහන්සේගේ විශිෂ්ට ලක්ෂණ විය.
තිස්ස රජතුමාට ධර්මය අවබෝධ කරගත හැකි තරම් බුද්ධිසම්පන්න බවක් තිබෙනවාදැයි පරීක්ෂා කළහ. ඒ වෙනුවෙන් අඹ සහ නෑදෑයින් පිළිබඳව මුල් කරගත් ප්‍රශ්න අසා, බුදුදහම වැළඳ ගැනීමේ හැකියාව ඇති බැව් තේරුම් ගැනීමෙන් පසුව ‘චුල්ල හත්ථි පදොපම සුත්‍රය’ දේශනා කළහ. ‘විමානවත්ථු’ ‘පේතවත්ථු’ දෙසීමෙන් දුගතිය සහ සුගතිය පෙන්වූ සේක.
ප්රාග් බෞද්ධ යුගයේ පැවැති ඇදහිලි අතර යකුන් ඇදහීම උසස් තැනක තිබුණි. පණ්ඩුකාභය රජතුමා නුවරට නැගෙනහිරින් ‘කාලවේල’ යක්ෂයාට දේවාලයක් ඉදිකළ අතර චිත්තරාජ යක්ෂයා වෙනුවෙන් අභය වැව පරිශ්‍රයේ වාසස්ථානයක් ඉදි කරවන ලදී. ‘වලවාමුඛි’ යක්ෂණිය රාජ ගෙවුයනේම වාසය කළාය.වෘක්ෂ වන්දනාවත් ප්රාග් බෞද්ධ යුගයේ ප්‍රචලිතව තිබුණා. කුවේර යක්ෂයාගේ විමානය නුග ගසකි. ව්‍යාධ දේවයා වෙනුවෙන් තල් ගසකි. දඩයම්කරුවන්ගේ ඉෂ්ට දේවතාවා බවට පත්ව සිටියේ ව්‍යාධ දෙවියාය.
අටමස්ථානය පිහිටන තැන් සම්මත වීම
මහින්දාගමනයත් සමග අටමස්ථානය පිහිටන තැන් සම්මත විය. මිහිඳුමහ රහතන් වහන්සේ තිස්ස රජු සමග මහමෙවුනා උයන වටා ඇවිද යමින් අටමස්ථානය පිහිටන තැන් සම්මත කළහ.
එහිදි මහරජතුමා මිහිදු හිමිගෙන් අසන ලද ලක්දිව බුදු සසුන ස්ථාපිතද යන පැනයට පිළිතුරු ලෙස ලක්වැසි මව්පියන්ගෙන් උපන්නකු මහණව විනය ඉගෙන ගෙන එය සජ්ජායනාවට සමත් වූ කල්හි බුද්ධ ශාසනය මෙහි ප්‍රතිෂ්ඨාපිත වන බැව් මිහිඳු මහ රහතන්වහන්සේ වදාළහ. ඒ අනුව අදටත් අපි බුද්ධ දේශනාවන් අනුව ශික්ෂණය ලත් පිරිසක් බවට පත්ව සිටිමු.
ආධ්‍යාත්මික විප්ලවයක්…
බුදුදහමෙන් ලත් ශික්ෂණයත් සමග අති විශිෂ්ට ධර්ම සම්පදායන් තුළ තමන්ගේ ජීවිත හැඩගසා ගැනීමේ සම්ප්‍රදායන් අපේ රට තුළ ස්ථාපිත වූ අතර දඩයම් කරමින් සතුන් මැරීම වෙනුවට කෘෂිකාර්මික අර්ථ රටාවකට හැඩ ගැසෙන පරම්පරාවක් ආරම්භ විය.
ඒ හරහා වැවයි – දාගැබයි, ගමයි – පන්සලයි යන සංකල්පයට අනුව ගොවිතැන මුල් කරගත් ධාර්මික ජීවන රටාවක් ගොඩ නැගුණි.
පන්සල මුල් කරගත් ශික්ෂණයෙන් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නට හුරු පුරුදු මෙරට ජනයා හුරු විය. වෛරය, ක්‍රෝධය වෙනුවට ඉවසීම පුහුණු කළ අතර දඩ කෙළි, අවි කෙළි නතර වී ශීලසමාධි ප්‍රඥා ගුණයෙන් පෝෂණය ලත් රාෂ්ට පාලනයක් නිර්මාණය විය.
මිථ්‍යා ආචාර ධර්ම යටපත්ව මළවුන්, යක්ෂයන් ඇදහීම් ක්‍රමයෙන් තුරන්ව ගියහ. බුදුරජාණන් වහන්සේගේ දහම අනුව හැසිරෙන සිල්වත් ගුණවත් ආර්ය මහා සංඝරත්නය සමාජයේ ආශිර්වාදය ලෙසින් සලකන තැනට පත්විය.
තෙරුවන්ගේ ආශිර්වාදය ලබාගැනීම…
ජීවිතයේ පැවැත්ම පන්සිල් අනුව ගොඩනගාගත් සිංහල ජනතාව තෙරුවන් ගුණයෙන් තමන්ගේ ජීවිතයට ආශිර්වාද ලබාගත්හ. පිරිත් සුත්‍ර සජ්ජායනාවෙන් ආශිර්වාද ලබාගත්හ. දන්පින් ලබමින් පරිත්‍යාගයට හුරුවිය. රාජ්‍යත්වය තුළ පවා ධාර්මික පැවැතුම් ඇතිවිය.
හෙළ කලාවේ උපත
බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව හැසිරෙන පිරිස් තුළ ඒ වෙනුවෙන් වන්දනාමාන කිරීම සඳහා විහාර දාගැබ් ඉදි කිරීම පටන් ගත් අතර ඒ නිසාම ථූපාරාමය, ඉසුරුමුණිය, වෙස්සගිරිය, කණ්ඨක චේතිය, අට සැට ලෙන් වැනි පූජනීය ස්ථාන බිහිවිය. බුදුදහම පිහිට වූ මුල් අවධියේම දෙවනපෑතිස් රජතුමා විසින් බුදුපිළිමයක් කරවන ලද බව මහාවංශයේ සඳහන් විය. බෝධිඝර, ආසනඝර, චේතියඝර වැනි කලාශිල්ප ඇතිවිය.
කර්මාන්ත දියුණු වීම…
ජයසිරිමහ බෝධිය මෙරටට වැඩම කරවන විට අටළොස් ගණයට අයත් ශිල්පීන් මෙරටට පැමිණි බැව් සඳහන් වන අතර ඔවුන් විසින් තම තමන්ට හුරු ශිල්ප කර්මාන්ත අපේ රටේ ඇති කළහ. කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ලබාගැනීම වෙනුවෙන් වැව් කර්මාන්තය සංවර්ධනය විය.
බෝධි වන්දනාව
සංඝමිත්තා රහත් මෙහෙනින් වහන්සේ විසින් ජයසිරිමහ බෝධින් වහන්සේ මෙරටට වැඩම කිරීමත් සමග ප්රාග් බෞද්ධ යුගයේ යක්ෂයන්ගේ විමානයන්ට වන්දනා කිරීමේ සම්ප්රදාය ක්‍රමයෙන් අහෝසි විය. බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලබාගැනීමට පිට දීමෙන් උපකාර වුණ බෝධින්වහන්සේ වෙනුවෙන් වන්දනා මාන කිරීම ආරම්භ වුණා. බෝධි වන්දනාවට ජනතාව යොමුවිය.
භික්ෂුණී ශාසනයක්…
මිහිඳු මහරහතන් වහන්සේගෙන් බණ අසා අනුලා බිසොව මාර්ග ඵල ලබාගත්හ. උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේදී සංඝමිත්තා තෙරණින් වහනසේගේ වැඩම වීමත් සමග ශ්රීි ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ විය.
සංඝමිත්තා තෙරණින් වහන්සේ ප්රමුඛ මෙහෙණින් වහන්සේලා විසින් ‘හත්ථාළක මෙහෙණවර’ වැඩ වසමින් සිංහල කාන්තාවන්ට ධර්ම මාර්ගය පහදා දුන්හ.ලාංකීය ජනයා අදටත් නිර්මල ථෙරවාදී දහමකට උරුමය ලබන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ නිසාය. පන්සිල් ප්‍රතිපදාව තුළ ගුණ නුවණින් සුන්දර සමාජයක් බිහිකිරීමේ අරමුණ විය. උන්වහන්සේ නොවැඩියා නම් මීට වඩා අවිචාරවත් සමාජයක් අද වෙන විටත් පැවැතෙනු ඇත.
කිවියර සහ ගීත රචක
ශාස්ත්‍රපති පූජ්‍ය මහගම සීලානන්ද ස්වාමින්වහන්සේ
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️