අපි බොහෝ වෙලාවට මෙහෙම හිතනවා. අත්හැරීම ප්‍රගුණ කළ යුත්තේ ගිහියන් නොව, ආර්ය මහ සංඝරත්නයයි. ගිහි ජීවිතය තුළ අත්හැරීමක් ගැන අපට කතාකිරීමට බැහැ. ඇත්තෙන්ම ගිහියන් ලෙසින් අත්හැරීමක් ගැන අපට කතාකළ නොහැකිද?
පින්වත්නි,නෛෂ්ක්‍රම්‍ය එහෙම නැත්නම් නෙක්ඛම්ම යනුවෙන් හැඳින්වෙන්නේ නික්මීමයි. අපේ බෝසතාණන් වහන්සේ මඛාදේව රජ ලෙසින් උපත ලද අවස්ථාවේදී හිසේ පැසුණ කෙස් ගහක් දැක තපසට ගියා. ඒ උතුම් නික්මීමක්. බුදුදහමට අනුව නෛෂ්ක්‍රම්‍ය යන්නෙහි තේරුම කාමයෙන් වෙන්වීමයි.
නමුත් ගිහියන් ලෙසින් පවුල් සංස්ථාවක් ගත කරන විට ඒ සමග බැඳුණ සාමාජිකයින්, පරිභෝග කරන වස්තුන් ආදි විවිධ දේ තිබෙනවා. ආගමික ව්‍යවහාරයට අනුව මේ සියල්ල කාම වස්තු ලෙසින් අර්ථ දැක්වෙනවා. මේ සියල්ල සමඟ පවතින බැඳීම් අත්හැරීම පහසු නැහැ. නමුත් ඒවා නැණ පමණින් වටහා ගෙන ඇසුරු කිරීමට, බුක්ති විඳීමට බුදුදහම අනුව කිසිම බාධාවක් නැහැ.
කාම සංකල්පනාවන් සමඟ ජීවත්වීම
අපට කාම සංකල්පනාවන් සමඟ ජීවත් වනවිට තමන්ගේ නැණ පමණින් එය වටහාගෙන ඒ අනුව ජීවිතය හැඩගසා ගැනීම ඉතාම වැදගත්. බුදුරජාණන් වහන්සේ අරියවංශ සූත්‍ර දේශනාවේදී ‘මාත්රඥාව’ ගැන අපට පෙන්වා දුන් කරුණු මෙහිදී ඉතා වැදගත්.
අගථිතෝ අමුච්ඡිතෝ අනජ්කජාපන්නෝ
ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤෝ පරිභුඤ්ජති
අගථිතෝ – නොඇලීම නොඑසේ නම් ගථිත නොවීම.
අමුච්ඡතෝ – මුළා නොවීම හෙවත් වරදවා වටහා නොගැනීම.
අනජ්ඣාපන්නෝ– නොඇලී සිටීම.
ආදීනවදස්සාවී– ආදීනව දැකීම.
නිස්සරණපඤ්ඤෝ– නිවැරදි ලෙසින් ආස්වාදය ලබාගෙන එයින් ඉවත් වීීම.
මේ අන්දමින් කාම වස්තු පරිහරණයේදී මාත්රඥාව හෙවත් පමණ දැනගෙන පරිභෝජන කාර්යයෙහි යෙදීම වැදගත්.
මාත්රඥාව පුරුදු කරන්නේ කෙසේද?
මිනිසුන් අතෘප්තිකරය. ඔවුන්ගේ ලුහුබැඳීමේ සීමාවන් නැත. මේ අන්දමින් කාම වස්තුන්හි ඇලීම නිසාම ගැටීම් ඇතිවේ.
ආහාර මාත්රාඥාව-
අපි බොහෝ දෙනෙක් ආහාර වෙනුවෙන් අතිශය ලෙසින් බැඳී සිටිති. දිව පිනවීම ජීවිතයේ එකම අරමුණ ලෙස සිතමින් නිරන්තරව රසවත් වූද විවිධ වූද ආහාර භුක්ති විඳීම ජීවිතය විඳීම ලෙස දකිති.
එහෙත් මේ අන්දමින් අනවශ්‍ය ලෙසින් ආහාර භුක්ති විඳීම නිසා අකාලයේම රෝගීන් බවට පත්වෙන සමාජයක් අද නිර්මාණය වී තිබේ.
සබ්බේ සත්ථා ආහාරට්ඨිකා
එසේ නම් නික්මීම හෙවත් ආහාර වෙනුවෙන් වූ බැඳීම අත්හැරීම යනු ආහාර නොගෙන සිටීම හෝ ආහාර ප්‍රතික්ෂේප කිරීම නොවේ. සියලු සත්වයන් ආහාර මත ජීවත් වෙති. බෝසතාණන් වහන්සේ පවා දුෂ්කරක්‍රියා කරන සමයේදී සිරුරට අධික දුක්දීම හෙවත් අත්ථකිලමථානුයෝගයෙන් මෙන්ම සිරුරට අධික ලෙස සැපදීම හෙවත් කාමසුඛල්ලඛානුයෝගයෙන් ඉවත්ව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ සේක.
ජීවින්ගේ පැවැත්මට ආහාර අත්‍යවශ්‍ය වුණත් අනවශ්‍ය අන්දමින් ආහාර වුවත් පරිභෝජනය සුදුසු නැත.ආහාරයක් යනු අපේ ජීවිතයේ නීරෝගී පැවැත්ම උදෙසා මිස ඒ වෙනුවෙන් අතිශය ලෙසින් බැඳීම හෙවත් රස තෘෂ්ණාව ගොඩ නගාගත යුතු නැත.
සරල ජීවන ක්‍රමය
ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න. මේ අපේ පැරණි කියමනකි. බුදුන් වහන්සේගේ ධර්ම කරුණු සරලව පැහැදිලි කරගැනීමට මෙය ඉතාම හොඳ උදාහරණයකි. නිතරම තමන්ගේ වපසරිය දැනගෙන ජීවත් වීම වැදගත්.යථා ලාභ, යථා බල, යථා සාරුප්ප ජීවන ක්‍රමයට අප හුරු විය යුතුය. අපේ පමණට ජීවත්විය යුතුය.
අසල්වැසි නිවසකට සුඛෝපභෝගී මෝටර් රථයක් ඇති බව ඇත්ත. ඔවුන්ගේ වපසරිය තුළ එය දැරිය හැකි වුණත් ඔබට එවැනි මෝටර් රථයක් පසු පස හඹා යෑම මානසික ලෙසින් පීඩාවක් විය හැක.
කෙසේ හෝ ඔබ ඒ වර්ගයටත් වඩා හොඳ මෝටර් රථයක් මිලට ගත්තා යැයි සිතමු. නමුත් එහි ණය වාරිකය නිසා ඔබ දැඩි පීඩාවට පත්විය හැකි බව සිතන්න. ඔබේ පමණට ඔබ කටයුතු කරන්න. බැඳීම වුණත් ඔබට අත්පත් කරගත නොහැකි කාම වස්තුන් මුල් කරගෙන ගොඩනගා ගැනීම සුදුසු නැත.
මානසිකව පීඩාවකි
ඔබ කිසිම ලෙසකින් අනවශ්‍ය අන්දමින් කාම වස්තුන් වෙත ඇලීම් ගොඩනගා නොගත යුතුය. ඔබට අවශ්‍යතාවන් ඇත. උවමනාවන් අසීමිතය. එය සත්‍යය. නමුත් අවශ්‍යතාවන් සහ උවමනාවන් සමග ආශාවන් හෙවත් බැඳීම් ගොඩනගා ගැනීම සුදුසු නැත. එය ඔබටම මානසික පීඩාවක් විය හැක.
බැඳීමක් නැති තැන ඔබේ මනස සන්සුන්ය. තැන්පත්ය. වැට මායිමේ කොස් ගහට මිනී මරාගන්නා සහෝදරයන් සිටිති. එක් පවුලක සහෝදරයන් දෙදෙනෙක් වැට මායිමේ කොස් ගහට උරුමකම් කියමින් නඩු කියන්නට වුණා.
නඩුව අවසාන වන තෙක් කොස් ගහේ පලදාව පවා දෙපාර්ශ්වයටම ලබාගැනීමට ඉඩ නොදීමට තරම් වෛරය වැඩි වුණා. කොස් ඉදී බිම වැටී කුණු වී ගියා. නඩුව තව තවත් කල් ගියා.
කොස් ගහට ඇති බැඳීම දෙපාර්ශ්වයම අත් හැරියේ නැහැ. නඩුව අවසාන වුණෙත් නැහැ. එහෙත් ටික කාලයක් ගතවෙත්ම කොස් ගහ මැරෙන්න පටන් ගත්තා. දැන් දෙපාර්ශ්වයටම ලාභයක් නැහැ. කොස් ගහ හොඳ පාඩමක් ඉගැන්වුවා. ගමේ උදවිය කතා වුණා.
සියල්ල අනිත්‍යයි
අත්ථානො ලොකේ අනිමිස්ස ලෝකේ
මේ ලෝකයේ සියල්ල අනිත්‍යයි. නිත්‍ය වූ කිසිවක් නැත. අපි බැඳීම් ගොඩනගා ගනිමින් අනිත්‍ය වූ කාම වස්තුන්හි බැඳීම් ගොඩනගා ගත යුතු නැත. එයින් ඇතිවන්නේ දුකක් පමණි.
තණ්හාය ජායතී සෝකෝ-
තණ්හාය ජායතී බයං
තණ්හාය විප්පමුත්තස්ස-
නත්ථි සෝකෝ කුතො භයං
තණ්හාව නිසා අපට ශෝකය සහ භය ඇති වේ. තණ්හාව නොමැති තැනකදී ශෝකය හෝ බියක් නොමැත. බුදුදහම තුළ අනිත්‍යතාව ඉස්මතු කරන නිසා අපි කිසිවකු සමඟ බැඳීමක් නැතැයි සිතිය යුතු නැහැ. බැඳීම් ගොඩනගා ගැනීම සාමාන්‍ය වූද, සාධාරණ පෘථග්ජන ස්වභාවයක්.
නමුත් එහි මාත්‍රාව දැනගෙන කටයුතු කිරීම ඉතාම වැදගත්.ජීවිතය ජීවත්වන්නේ බැඳීම් සමඟ බව ඇත්ත. නමුත් බැඳීම මුල් කර ගෙන පමණ දැන කටයුතු කරන්න. බැඳීම් ඇති කරගැනීම සාධාරණ වුණත් එය ගැටීමකට මුලාරම්භයක් කර ගැනීම අවශ්‍ය නැහැ.
රූපවාහිනී සහ ගුවන්විදුලි
ධර්මදේශක පූජ්‍ය අතුරුගිරියේ
අනුරුද්ධ ස්වාමින්වහන්සේ
ධර්මරාජ මහ පිරිවෙන
කණදුල්ල, කුලියාපිටිය
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️