“මළ මිනිසුන් බොරු නොකියති” මෙය අපට හුරු අසා ඇති ප්‍රකාශයකි. මළ මිනිසුන් බොරු නොකියන්නේ මරණයෙන් පසු කරනු ලබන මරණ හා පශ්චාත් මරණ පරීක්ෂණ ආධාරයෙනි. මෙම ලිපියෙන් උත්සහා කරනුයේ ශ්‍රී ලංකාවේ මරණ පරීක්ෂණ වාර්තාවල නීතිමය වැදගත්කම පිළිබඳව විමසා බැලීමටයි…
මරණ පරීක්ෂණයක් යනු කුමක්ද?
ස්වාභාවික මරණයක් හෝ වේවා හදිසි මරණයක් හෝ වේවා මියගිය අයගේ දේහය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඥතීන්ට දේහය භාරදීමේ ක්‍රියාවලිය මරණ පරීක්ෂණය ලෙසින් හඳුන්වනු ලබයි. මෙහිදී මියගිය අයගේ සමීපතයන්ගෙන් ලබාගන්නා සාක්ෂි හා අවශ්‍ය වුවහොත් මෘත දේහය කපා අධිකරණ වෛද්‍ය නිළධාරියා විසින් සිදුකරනු ලබන පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තා පදනම් කරගෙන මරණ පරීක්ෂණය සිදුකරනු ලබනවා.
ශ්‍රී ලංකාවේ මරණ පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවල ඇති නීතිමය වැදගත්කම කුමක්ද?
මේ මඟින් මරණයට හේතු වූ නිශ්චිත කරුණ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වෛද්‍ය සොයාගැනීම් සපයයි. මෙම වාර්තා සාක්ෂිමය වශයෙන් වඩා වැඩි වැදගත්කමක් නීතිය ඉදිරියේදී සපයනු ලබයි.
ශ්‍රී ලංකාවේ මරණ පරීක්ෂණයක් ඉල්ලා සිටිය හැක්කේ කාටද?
ශ්‍රී ලංකාවේ, අධිකරණ බලධාරීන්, නීතිය ක්‍රියාත්මක කරන ආයතන හෝ සැක සහිත හෝ අස්වාභාවික මරණ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා වගකිව යුතු වෛද්‍ය නිළධාරීන් විසින් මරණ පරීක්ෂණ ඉල්ලා සිටිය හැක. මියගිය තැනැත්තාගේ පවුලේ සාමාජිකයින්ට එම මරණය පිළිබඳව සැකයක් පවතී නම් මරණ පරීක්ෂණයක් ඉල්ලා සිටිය හැකි අතරම අධිකරණ බලධාරීන්ට හා නීතිය ක්‍රියාත්මක කරන ආයතනයන්ට මේ සඳහා ඉල්ලීමක් කළ හැකිය.
මරණ පරීක්ෂණයක කිරීමේදී අවශ්‍යය ලේඛන මොනවාද?
මියගිය අයගේ ජාතික හැඳුනුම්පත, දේහය භාරගැනීමට නීත්‍යානුකූල අයිතිය ඇති ඥතියකුගේ ජාතික හැඳුනුම්පත, මියගිය පුද්ගලයා මීට පෙර රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇත්නම් රෝග නිශ්චය කාඩ්පත්,වෛද්‍ය වාර්තා හා ප්‍රතිකාර ලේඛන වැනි දෙ අත්‍යවශ්‍යයි.
මරණ පරීක්ෂණයකදී පොලිසියේ කාර්යභාරය?
මරණ පරීක්ෂණයක සාක්ෂි මෙහෙයවීම සිදුකරනු ලබන්නේ පොලිසිය විසිනි. මරණ පරීක්ෂකවරයාට මේ සඳහා පොලිසියේ දායකත්වය අවශ්‍යවේ.
මරණ පරීක්ෂණයකදී විවෘත තීන්දුවක් නිකුත් කරනවා කියා කියන්නේ කුමක්ද?
මියගිය අයගේ මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන අධිකරණ වෛද්‍ය නිළධාරියාට එම මරණයට හේතුව සොයාගත නොහැකි වුවහොත් ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණයක් සඳහා දේහයේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යොමු කරනු ලබනවා.
ඒ යොමු කරන කොටස් පිළිබඳ වාර්තා එනතුරු මරණය සිදුවූ ආකාරය පිළිබඳව නිශ්චිත නිගමනයක් ලබා නොදී එය ලබාදීම පසුවට කල් තබන අතර එය විවෘත තීන්දුවක් නමින් හඳුන්වයි. විවෘත තීන්දුවක් ලබාදුන් පසු මෘත දේහය භූමිදාන කිරීමට පමණක් අවසර ලැබෙනවා. මෙහිදී දේහය ආදාහනය කිරීමට අවසර ලැබෙන්නේ නෑ.
භූමදාන කරන ලද දේහයක් ගොඩ ගනු ලබන්නේ කුමන අවස්ථාවේදීද?
රස පරීක්ෂක වාර්තාවට අනුව මරණය සිදුවූ ආකාරය ගැන යම් සැකයක් ඇති වුවහොත් අධිකරණ නියෝගයකට අනුව මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ මෘත දේහය ගොඩගනු ලබයි.
මරණ පරීක්ෂණ සොයාගැනීම් ශ්‍රී ලංකාවේ නීතිමය කටයුතුවලදී භාවිත කරන්නේ කෙසේද?
ශ්‍රී ලංකාවේ නීතිමය කටයුතුවලදී මරණ පරීක්ෂණ සොයාගැනීම් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. සාක්ෂිකරුවන්ගේප්‍රකාශ සනාථ කිරීමට හෝ අභියෝග කිරීමට, අපරාධ විමර්ශනවලට දැනුම්දීමට, රක්ෂණ හිමිකම් සඳහා සහාය වීමට සහ මතභේදාත්මක හෝ අපැහැදිලි මරණ අවස්ථාවන්හිදී පැහැදිලි බවක් ලබා දීමට ඒවා වෛෂයික වෛද්‍ය සාක්ෂි ලෙස සේවය කරයි.
මරණ පරීක්ෂණයක් සිදු නොකරන අවස්ථා සහ නිවසේදී මරණයක් සිදුවුවහොත් මරණ සහතිකය නිකුත් කරන්නේ කෙසේද ?
රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියහොත් ප්‍රතිකාර කරනු ලැබූ වෛද්‍යවරුන් මරණයට හේතුව ලබාදෙන්නේ නම් රෝහල් වාට්ටුවෙන්ම එම මෘත දේහය ඥතීන්ට ලබාදීමට කටයුතු කරනවා.
යම් පුද්ගලයෙක් නිවසේදි මියගියෙ නම් රෝහලකින් යම් රෝගයක් සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇත්නම් එම වාර්තා උපයෝගී කරගෙන ළඟම සිටින වෛද්‍යවරයකු හමුවට ගියහොත් වෛද්‍ය වාර්තාවක් ලබාගෙන එය මරණ රෙජිස්ට්‍රාර්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් මරණ සහතිකය ලබාගත හැකියි.
නීතීඥ සඳුනි වන්නිආරච්චි
sandunimadushika246@gmail.com