‘හිනැහේවී බෝනික්කා
ඇස් නටවා බල බලා
නැලවීලා මා උකුළේ
දොයි දොයි දොයි දොයි බබා’
ජපන් රටේ උපත ලබපු හුරතල් බෝනික්කෙක් ගැන කියවෙන මේ සින්දුව කිය කිය ප්ලාස්ටික් බෝනික්කෙක් තුරුළු කරන් නටපු, සෙල්ලම් කරපු ලස්සන ළමා කාලයක් අපිට තිබුණා. බෝනික්කො හැදුණේ පුංචි ගෑනු ළමයි වෙනුවෙන්, එයාලගේ තනිය මකන්න, එයාලා එක්ක සෙල්ලම් කරන්න. ඒත් අපි නොදන්නවා වුණත් බෝනික්කො සීමාවුණේ ළමා ලෝකෙටම විතරක්ම නෙවේ. වැඩිහිටියන් වෙනුවෙනුත් බෝනික්කන් නිෂ්පාදනය ඇරඹුණේ 1990 ගණන්වල ඇමෙරිකාවෙදි. නමුත් ඒවා පුංචි ළමයින්ගෙ බෝනික්කො තරම් කරලියට ආවෙ නැත්තෙ ඒවා සෙල්ලම් බෝනික්කො නොවුණ නිසයි.
ඒත් වර්තමානයේ සෙල්ලම් බෝනික්කන්ට වඩා වැඩිහිටියන් වෙනුවෙන්ම විශේෂ ක්‍රමවේදයකට නිෂ්පාදන කරන සිලිකන් බෝනික්කන්ට ලොකු ඉල්ලුමක් තියෙනවා. මේවා හැඳින්වෙන්නෙ ‘Reborn Dolls’ නමින්. ඒ කියන්නෙ නැවත ඉපදුණු බෝනික්කෝ.
මේ සිලිකන් බෝනික්කො නිෂ්පාදනය කරන එකේ පරමාර්ථය වුණේ දරුවන් නැති සොවින් තැවෙන සහ දරුවන් කුඩා කාලයේම අහිමි වී සාංකාවෙන් ඉන්න අම්මලා තාත්තලාගේ මානසික සුවය වෙනුවෙනුයි. ඔවුන්ගේ මානසික මට්ටම පිළිබඳ සලකමින් රීබෝන් ඩෝල්ස්ලා ලෝකෙට හඳුන්වා දෙන්න විද්‍යාඥයන් සමත් වුණා.
නවීන, සංවේදී නිර්මාණයක් වන මේ බෝනික්කන් විශේෂය සමේ විවිධ පැහැයන්, උපන් ලප,කෙස්ගස් ඒ ආකාරයෙන්ම නිර්මාණය කරලා තියෙනවා වගේම මුහුණු හැඟීම් ප්‍රකාශ වන ආකාරයෙන් සියුම්ව නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයක්. මේ බෝනික්කන්ගේ සජීවී බව කොච්චරක්ද කියනවා නම් සමහර රීබොන් ඩෝල්ස්ලා හදලා තියෙන්නේ බැටරියක් මාර්ගයෙන් හුස්ම ගන්න පවා පුළුවන් විදිහට.
විද්‍යාඥයන් සඳහන් කරන විදිහට රීබෝන් බෝනික්කො දරුවො නැති අම්මලට විතරක් නෙවෙයි, ඩිමෙන්ශියා රෝගීන්ගේ මානසික සුවයටත් ගුණදායක බවට ඔප්පු කරගෙන තියෙනවා.
කොහොම වුණත් මේ සිලිකන් බබාලගෙ ගාණ නම් තරමක් වැඩියි. සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් 20000 – 30000ත් අතර මිලකට තමයි රීබෝන් ඩෝල්ස්ලා අලෙවි වෙන්නේ. මේකට හේතුව එක බෝනික්කෙක්ව හදන්න නිර්මාණකරුවන් වෙන මහන්සිය. මේ හැම සිලිකන් බෝනික්කෙක්ම වර්ණ ගන්වන්නෙ අතින්.
ලෝකෙ බොහෝ රටවල කාන්තාවන් දැනටමත් රීබෝන් බබාලට දක්වන්නේ අපූරු කැමැත්තක්. ඔවුන් මේ රීබෝන් බබාලව නාවනවා, ඩයපර්ස් මාරු කරනවා, විවිධාකාර ඇඳුම් අන්දවනවා.
ඒ විතරක් නෙවේ එයාලා එක්ක කතා කරනවා. එයාලට ඇත්තටම ඇහුණෙ නැතත් ඇහෙයි කියලා හිතාගෙන කතන්දර කියනවා. හැබැයි එක දෙයක් නම් විශේෂයෙන්ම කියන්න ඕනේ. මේ සිලිකන් බබාලට මොනවා කළත් ක්‍රීම් වර්ග නම් ගාන එක අනුමත කරන්නෙ නෑ. මොකද වර්ණ වියැකෙන්න පුළුවන් නිසා. ඒ වගේම නියපොතු නිසා සිලිකන් සමට හානි වෙන්නත් පුළුවන්.
වර්තමානයේ පවතින කෘතිම බුද්ධි සංකල්පයත් එක්ක අනාගතයෙදි මේ රීබෝන් බබාලගෙ නවීනතා රැසක්ම දැකගත හැකි වේවි කියලයි බොහෝ දෙනෙක් කියන්නේ. කොහොම වෙතත් ඇතැමුන්ගේ අදහස දරුවන් නොමැති දෙමාපියන්ගේ මානසික සහනය ගේන අරමුණින් රීබෝන් ඩෝල්ස්ලා ලෝකෙට හඳුන්වා දුන්නත් එයින් මානසික ව්‍යාකූලත්වයක්ද ඇතැම් දෙමාපියන්ට ඇතිවිය හැකි බවයි.
එරංදි කෞශල්‍යා ✍️