බුද්ධ දේශනාවෙහි සඳහන් වන “ගිලනුන්ට උපස්ථාන කරන්නා මට උපස්ථාන කරයි” යන බුද්ධ වචනය ප්රායෝගිකත්වයට හරවමින් කරාපිටිය ශික්ෂණ රෝහලෙහි නේවාසික ප්‍රතිකාර සඳහා පැමිණෙන දකුණේ වැසියන්ට පමණක් නොව දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට පැමිණෙන ඕනෑම ආගමක, ඕනෑම ජාතියක රෝගියකුට නොමිලේම නවාතැන්, ආහාරපාන ඇතුළු පහසුකම් රැසක් ලබාදෙන ආයතනයක් පිළිබඳ පුවතක් පසුගියදා නවලියේ අපට අසන්නට ලැබුණා. මෙය කැලිෆෝනියාවේ ප්‍රධාන සංඝනායක හා “කැලිෆෝනියාවේ බුද්ධි විහාරස්ථානයේ” විහාරාධිපති කහඳ අමරබුද්ධි හිමියන් විසින් ‘මාබොටුවාන ශ්‍රී පියරතන නාහිමි සුව සෙවණ’ නමින් 2017 වසරේදී ආරම්භ කර තිබෙනවා. ඉතින් මේ වගේ උතුම් ක්‍රියාවක් ආරම්භ කිරීමෙහි පුරෝගාමියා වූ බුද්ධ පුත්‍රයන් වහන්සේ අපි අද අපේ කතාබහට සම්බන්ධ කරගත්තා.
අපේ හාමුදුරුවනේ, මොකක්ද මේ සුවසෙවණ කියන්නේ?
සරලවම කිව්වොත් සුවසෙවණ කියන්නේ සෙවණක් අවශ්‍ය වෙන අපේ රෝගී මිනිසුන්ට හිසට සෙවණක් විතරක් නෙවෙයි කුසට ආහාරපාන වගේම මනසට සුවය සලසන ආයතනයක්.
ඇයි ඔබ වහන්සේට මෙහෙම දෙයක් කරන්න හිතුනේ…..
ඇත්තටම මේ ආයතනය නම් කරලා තියෙන්නෙත් දැනට අවුරුදු අසූ එකක් වෙන මගේ නායක හාමුදුරුවන්ගේ නමින්. මගේ නායක හාමුදුරුවන්ගේ අසනීප තත්ත්වයකදී උන්වහන්සේගේ සාත්තුවට මම දවසක් රෑ කරාපිටිය රෝහලේ නතර වුණා.
එහෙම ඉද්දි පාන්දර දෙකට වගේ මම දැක්කා පහුවදා උදේ බෙහෙත් ගන්න එන ලෙඩ්ඩු කොරිඩෝවේ නිදාගෙන ඉන්නවා. ඒ අතරේ වයසක මිනිස්සු වගේම දරුවො වඩාගෙන ඉඳපු අම්මලත් හිටියා. ඉතින් අන්න ඒ වෙලාවේ තමයි මට හිතුනේ මේ මිනිස්සු වෙනුවෙන් මම මොනවා හරි දෙයක් කරන්න ඕන කියලා.
මේ ආයතනය පටන් ගත්ත විදිය ගැනත් කතා කරොත්?
මේ වෙද්දි කොට්ටව ගුණසිරි හාමුදුරුවො මට මේ සුව සෙවණ පිහිටලා තියෙන බද්දේගම පාරේ හිරිඹුර හන්දියේ ඉඩම් කොටස පූජා කරලයි තිබුණෙ. ඉතින් ඇමෙරිකාවේ මගේ හිතවත් වෛද්යතුමියකගේත් ඇමරිකානු සමාගමකත් ආධාරයෙන් වගේම මට පෞද්ගලිකව ලැබුණු මුදල් වලිනුත් තමයි මේ සඳහා මූලික කටයුතු පටන් ගත්තෙ.
සුව සෙවණට එන රෝගීන්ට ලබාදෙන අනෙක් පහසුකම් ගැනත් සඳහන් කරොත්.
ඇත්තෙන්ම සුවසෙවණ මඟින් රෝගීන්ට සුවපහසු කාමරයක් සපයනවා. ගොඩක් වෙලාවට මේ අය තනියම එන්නේ නැහැ. මොකද දුර ඉඳලා එන රෝගීන්ට තනියම වැඩ කරගන්නත් අමාරුයිනේ. ඉතින් එහෙම එන රෝගියාට වගේම භාරකාරයටත් නවාතැන් පහසුකම් සුවසෙවණින් නොමිලේම ලබා දෙනවා.
ඒ විතරක් නෙවෙයි එහෙම එන හැමෝටම දවස් හතේම තුන්වේල වෙනුවෙන් සකස් කරන මෙනු එකකට අනුව ගුණදායක වගේම රසවත් කෑම වේලක් අපි ලබාදෙනවා. දෙවේලක් තේ ලබාදීම වගේම රෝගීන්ට අවශ්‍ය උණුවතුරත් අපි දෙනවා.
රෝගීන්ගේ රෙදි සෝදගන්න වොෂින් මැෂින්, ඇතැම් විට ශීතකරණයේ තැබීමට අවශ්‍යය බෙහෙත් වර්ග ගබඩා කර තබාගැනීමට ශීතකරණයක්, ඔවුන්ට බණ/පිරිත් ඇසීමට පොඩි රේඩියෝවක්, කරන්ට් එක නැති වෙලාවට පාවිච්චි කරන්න පොඩි ලැන්ටන් එකකුත් අපි ලබාදෙනවා.
සුවසෙවණ තුළම පොඩි පුස්තකාලයක් වගේම ලෙඩ්ඩුන්ට වන්දනාමාන කටයුතු කරන්න බෝධීන් වහන්සේ නමක්, විහාර ගෙයක් සකස් කරලයි තියෙන්නේ. ඉතින් මේ දේවල් අපේ මේ සුව සෙවණ තුළින් රෝගීන්ට ලබා දෙනවා රෝගීන්ට සතුටින් නිදහසේ ඉන්න පුළුවන් ලස්සන පරිසරයක් මේ තුළ හදලා තියෙනවා.
මීට අමතරව මේ මඟින් ක්‍රියාත්මක වෙන වෙනත් සේවාවන් ගැනත් කිව්වොත්….
ඔව්. සුව සෙවණත් එක්කම ඒ ඉඩමේ ඉතුරු වුණු අනෙක් කොටසේ මම හිතුවා ඕටිසම් දරුවෝ වෙනුවෙන් පාසලක් හදන්න. දැනට මේකෙ දරුවෝ තිස්දෙනෙක් ඉන්නවා. ඒ වගේම ගුරුවරු පස් දෙනෙක් මෙහි ඉගැන්වීම් කටයුතු සිදු කරනවා.
ඉතා හොඳ පහසුකම් සහිත විශාල ගොඩනැගිල්ලක සැකසුණු පන්ති කාමර ඇතුලේ මේ දරුවෝ සංගීතය, නැටුම්, අත්වැඩ, මැහුම් ගෙතුම්, ඉවුම් පිහුම් වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.
සුවසෙවණේ නවාතැන් ගන්න එන රෝගියෙකුගේ සලකා බලන විශේෂ කාරණා මොනවාද?
ඇත්තෙන්ම මේ වගේ ආයතනයක් පවත්වාගෙන යද්දි සමහර මිනිස්සු ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. ඉතින් අපිටත් ඒ වගේ සිද්ධි වලට මුහුණ දෙන්න සිදු වුණා. ඉතින් මේ කාරණා නිසා අපි අනිවාර්යයෙන්ම රෝගියාගේ වෛද්‍ය වාර්තාව පරීක්ෂා කරනවා. රෝගියාගේ වගේම භාරකාරයාගේ හැඳුනුම්පතුත් අපි ලබා ගන්නවා. ඒ කියන කාරණා ඇරුනම වෙන කිසිඳු කාරණාවක් අපි සලකලා බලන්නේ නැහැ.
මේ සුවසෙවණ ආයතනය පවත්වාගෙන යන්නත් ඉතා දක්ෂ වගේම හොඳ කාර්ය මණ්ඩලයකුත් ඇති. අපි ඒ ගැනත් කතා කරමු….
ඔව්. මේ සුව සෙවණ කියන කොටස තුළ මැනේජර් කෙනෙක්, උයන පිහන කටයුතුවලට දෙන්නෙක් වගේම පිරිසිදු කිරීම් කටයුතුවලටත් හතරදෙනෙක් ඉන්නවා. ඇත්තෙන්ම මේ ආයතනය පිළිවෙලකට වගේම පිරිසිදුව පවත්වාගෙන යන්න මේ අයගෙන් ලැබෙන සහයෝගය ඉතාමත් ඉහළයි.
වසර ගණනාවක් පුරාවට ඔබවහන්සේ කොහොමද මේ සුවසෙවණ නඩත්තු කරගෙන පවත්වාගෙන යන්නේ?
දැනට මම මේ වෙනුවෙන් අරමුදලක් ආරම්භ කරලා ඒ හරහා ලැබෙන පොලියෙන් මේ ආයතනය නඩත්තු වෙන විදියට ක්‍රමවේදයක් හදලයි තියෙන්නේ. එතකොට මම නැතිවුනත් කරදරයක් නැතුව මේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න පුළුවන් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම ගාල්ලේ උලුවිටිකේ ප්‍රදේශයේ මගේ හිතවත් මහත්මයෙක් හැම මාසෙකම ලයිට් බිල ගෙවනවා. ඒ මහත්මයාගේ නංගි වතුර බිල ගෙවනවා. ඒ විදියට තමයි මේ ආයතනය පවත්වාගෙන යන්නෙ.රෝගී වෙලා ඉස්පිරිතාලට බෙහෙත් ටිකක් ගන්න එන අසරණ රෝගීන්ට වගේම ඕටිසම් දරුවන්ටත් පිහිටක් වෙමින් මේ ආයතනය තව තවත් ඉදිරියට සාර්ථකව පවත්වාගෙන යන එක තමයි මගේ බලාපොරොත්තුව.
ටෂ්මි ගමගේ ✍️