ගොඩක් තරුණ තරුණියන් විවාහයෙන් පස්සේ තමන් හැම පැත්තෙන්ම ස්ථාවර වෙනකල් දරුවෙක් හදන්න අකමැතියි. තවත් සමහරු විවාහ ජීවිතය තව කාලයක් විඳින්න ඕන නිසා ළමයි හදන එක කල් දානවා. ඇතැම් තරුණ තරුණියන්ගෙන් මේ සම්බන්ධයෙන් එල්ල වෙන චෝදනාවක් තමයි තමන්ගේ දෙමව්පියොත් ආර්ථිකව හා මානසිකව ස්ථාවර නැතිව ළමයි හැදුවා කියන එක.ඒ හේතුව නිසා තමන් විඳපු වේදනාව තමන් උපද්දවන ළමයින්ටත් දෙන්න එයාලා කැමති නෑ. සමහර විට තමන් සහ සහකරු හැම පැත්තෙන්ම ස්ථාවර වෙන්නේ කොයි කාලෙද කියල අදහසක් එයාලට නැතිවෙන්න පුළුවන්.නමුත් ස්ථාවර වෙනකල් ළමයි නොහදන තැන ඔවුන් ස්ථිරවම ඉන්නවා.
තවත් කලාතුරකින් මූණදෙන්න වෙන ප්‍රශ්නයක් තමයි ජානමය රෝග නිසා ළමයි හදන්න කැමති නැති වෙන එක. මෙහෙම අය ලංකාවේ වගේම විදේශයන්වලදිත් මට මුණගැහිලා තියෙනවා. අනිත් කාරණය ලංකාවේ ගොඩක් තරුණ තරුණියන්ට ලිංගිකත්වය ගැනවත් උපත් පාලනය ගැනවත් නිසි දැනුමක් නෑ. සමාජය ඒ ගැන අපේ තරුණ දරුවන්ව දැනුවත් කරන්නෙත් නෑ.
ලිංගිකත්වය ගැන වහලා, හංගලා තමයි කටයුතු කරන්නේ. මට මුණගැහිල තියෙනව ලිංගික එක්වීමකින් පස්සේ පැය 72 ක් ඇතුළත බොන්න ඕන අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වන පෙති දවස ගානේ බීලා පැලෝපීය නාල කපන්න සිද්ධ වුණ, ගර්භාෂ ඉවත් කරන්න වුණ තරුණියන්.
මේ දේවල් වෙන්නේ ඒ ගැන නිසි අවබෝධයක් නැති නිසා. මේ හා සමානවම තියෙන දෙයක් තමයි ගබ්සා කිරීම් කියන්නෙත්. අනවශ්‍ය ගැබ්ගැනීම් නිසා දෙතුන් පාරක් ගබ්සාවන් කළාට පස්සේ කොච්චර හොඳ රස්සාවක් කළත්, කොච්චර හොඳ පාට්නර් කෙනෙක් හොයාගත්තත් ඒ අමිහිරි මතකය කාංසාවක් වෙලා
එයාලගේ ජීවිතේ පුරාම තියෙනවා. ඒ වගේම නැවතත් දරුවෙක් හදන්න හිත හදාගන්න ඒ අයට අමාරුයි. දැන් කාලේ කපල්ස් ළමයි හදන්න අකමැති වෙන්න තවත් හේතුවක් තමයි දැන් ගොඩක් ඉන්නේ වගකීම් ගන්න අකමැති තරුණ තරුණියන් පිරිසක්. ගෙදර බල්ලෙක් හදන්න කැමතියි. නමුත් දරුවෙක් හදන්න අකමැතියි. සමහර විට යාළුවන්ගේ දරුවන්ට ආදරේ කරනවා,
එයාලව හුරතල් කරනවා වෙන්න පුළුවන්. නමුත් දරුවෙක් තමන්ගේම කරගෙන වගකීම් ගන්න බයයි. කසාද බඳින්න කලින් ඉඳන්ම අපි කසාද බැන්දට දරුවෝ හදන්නේ නැතුව ඉමු කියලා කතා වෙලාම බඳිනවා.
සමහර විට මෙහෙම එකඟතාවයකට ආවත් එක් පාර්ශවයක් මේකට අකමැති වෙන්නත් පුළුවන්. දරුවෝ හදන්නේ නෑ කියලා දෙන්නම එකඟ වෙලා විවාහ වුණත් පහුකාලීනව අනුන්ගේ ළමයෙක් දැක්කම, යාළුවො දරුවො එක්ක ගෙවන ජීවිතේ දැක්කම ඔන්න ආසාවක් ඇතිවෙන්න පුළුවන් තමන්ටත් දරුවෙක් හදාගන්න. නමුත් පාට්නර් අකමැති නිසා මෙහෙම ගැටලුවක් ආවම සිද්ධ වෙන්නෙ වැඩිපුරම දික්කසාද වෙන එක.මගේ පරම්පරාව දරුවන්ව
හැදුවේ හොඳට ඉගෙනගෙන ලොකු තනතුරුවලට යන්න,අනෙකාව පරද්දන්න, හොඳට සල්ලි හම්බ කරන්න. දරුවන්ව හැදුවේ නැහැ කවදහරි සමාජයේ හොඳ පුරවැසියෙක් වෙන්න ඕනෙ කියලා. හොඳ අම්මෙක් තාත්තෙක්, හොඳ සැමියෙක් බිරිඳක්, හොඳ පෙම්වතියක් පෙම්වතෙක් කරන්න හිතන් දරුවො හැදුවෙ නෑ. ජීවිත අත්දැකීම් දෙන්න මහන්සි වුණේ නෑ. ඒ නිසා බිහිවෙන්නේ වගකීම් දරන්න අපහසු පරම්පරාවක්.
මේ අතරේ සමහරු කියනවා ලංකාවෙනම් ළමයි හදන්නේ නෑ, වෙන හොඳ රටකට යන්න පුළුවන් වුණොත් ඒ රටේදි ළමයෙක් හදනවා කියලා. ඒකට හේතුව අපේ රටේ මෑත කාලේ තිබුණ ආර්ථික දුෂ්කරතාවය නිසා ගොඩක්ම බැට කෑවේ අසූව අනූව ගණන්වල ඉපදුණ දරුවෝ.
ඉතින් මේ රටේ ආර්ථික ගැටලු නිසා දුක් විඳපු තරුණ තරුණියෝ කැමති නෑ තමන් මුහුණ දීපු අමිහිරි අත්දැකීම්වලට තමන්ගේ දරුවනුත් මූණ දෙනවා දකින්න. ඉතින් මේ වගේ විවිධ හේතු නිසා තරුණ පරම්පරාව විවිහ වුණත් දරුවන් හදන්න අකමැතියි. කොහොම නමුත් දරුවො හදන නොහදන එක ඔවුන්ගේ කැමැත්ත නිසා එයට බලපෑම් කරන්න කාටවත් බෑ.
මනෝ චිකිත්සක මනෝ උපදේශිකා
රොෂානි පීරිස් වික්‍රමසිංහ
එරංදි කෞශල්‍යා ✍️