අපේ ජීවිතේට සමහර ආදර්ශ ගන්න පුළුවන් මනුෂ්‍ය ලෝකයෙන්ම විතරක් නෙවෙයි. සත්ත්ව ලෝකයෙනුත් මනුස්සයෙක් විදිහට අපිට ගන්න පුළුවන් ආදර්ශයන් බොහොමයක් තියෙනවා. එහෙම මනුස්ස ජීවිතයකට ආදර්ශයක් ගන්න පුළුවන් හොඳම සත්ත්වයෙක් තමයි රාජාලියා කියන්නේ.
රාජාලියා කුරුල්ලෙක් වුණාට කුරුලු ලෝකෙ හැම කුරුල්ලෙක්ටම වඩා රාජාලියගෙ හැසිරීම වෙනස්. සත්ත්ව ලෝකේ තියුණුම ඇසක් තියෙන්නේ රාජාලියට. ඒ තියුණු බව කොච්චරද කියනවනම් ජලය යට සිටින මාළුවෙක් වුණත් මාළුවටවත් පීනගන්න බැරි තරම් වේගෙකින් ඇවිත් එක එල්ලේ දඩයම් කිරීමට තරම් ඒ ඇස් තියුණුයි. කොච්චර උසක හිටියත් ඒ එල්ලය වරදින්නේ නැහැ.
වැස්සක් වහිනකොට අනිත් කුරුල්ලෝ කැදලිවලට යද්දි රාජාලියා කරන්නේ වැසි වසින වළාකුළුවලින් ඉහළට පියාඹන එක. අද මම මේ ලිපියෙන් උත්සාහ කරන්නේ රාජාලියෙක් සහ කාක්කෙක්ගෙ කතාවකින් ඔබේ ජීවිතයට ඉතා වටින පණිවිඩයක් කියලා දෙන්න.සාමාන්‍යයෙන් රාජාලියා එක්ක ගැටෙන්න සාමාන්‍ය කුරුල්ලො යන්නේ නෑ.
රාජාලියා එක්ක ගැටෙන එකම කුරුල්ලා විදිහට සැලකෙන්නේ කාක්කා. දැන් ඔබට හිතෙනවා ඇති සාමාන්‍ය කුරුල්ලෙක්ට බැරි නම් කාක්කෙක් කොහොමද රාජාලියා එක්ක ගැටෙන්නේ කියලා. කාක්කා කරන්නේ රාජාලියගේ පිට උඩට නැගලා රාජාලියගෙ බෙල්ල හොටෙන් තද කරලා අල්ලගන්න එක.
එහෙමත් නැත්නම් හොටෙන් දිගින් දිගටම බෙල්ලට අනින එක. මේක තමයි කාක්කා සාමාන්‍යයෙන් රාජාලියට පහර දෙන විදිහ. හැබැයි විශේෂත්වයක් තියෙනවා. කාක්කෙක් රාජාලියට පහර දෙද්දි රාජාලියත් පෙරළා කාක්කට පහර දෙන්න යන්නේ නෑ. රාජාලියා කරන්නේ කාක්කා පිට උඩ ඉද්දිම අත්තටු හොඳින් විහිදලා වේගයෙන් ඉහළට පියාඹන එක. නමුත් කාක්කත් වැඩේ අත්හරින්නේ නෑ.
සාමාන්‍යයෙන් කුරුල්ලන්ට පියාඹන්න පුළුවන් උපරිම උසක් තියෙනවා. තමන්ට යන්න පුළුවන් උසට වඩා පියාඹන්න ගියොත් කුරුල්ලන්ගේ හුස්ම හිර වෙනවා. රාජාලියා කියන්නේ අනිත් කුරුල්ලන්ට වඩා ලොකු දුරකට වගේම උසකට පියාඹන්න පුළුවන් කුරුල්ලෙක් නිසා උඩුගුවනට යද්දි පිටේ නැගලා ඉන්න කාක්කට රාජාලියා එක්ක ගැටෙන එක නවත්තන්න සිද්ධ වෙනවා. මේක අපිට රාජාලියගෙන් ඉගෙනගන්න පුළුවන් හොඳම පාඩමක්.
කාක්කා තමන්ගේ පිට උඩ නැගලා හිටියත් රාජාලියා ප්‍රතිප්‍රහාර එල්ල කරන්න යන්නේ නෑ. කොටින්ම තමන්ට ගැටෙන්නට නොගැළපෙන අය එක්ක ගැටෙන්න යන්නේ නෑ.ඔබ ඉලක්කයක් හදාගෙන තමන්ගේ ගමන යද්දි මේ වගේ කාක්කෝ ඔබට කෑගහන්න, ඔබේ ගමනට බාධා කරන්න, ඔබට පොඩ්ඩ පොඩ්ඩ රිද්දන්න උත්සහ කරන්න ඉඩ තියෙනවා.
හැබැයි ඔබ ආපස්සට හැරිලා ඔබට රිද්දවන අයට රිද්දන්න ගියොත් ඒකෙන් වෙන්නේ ඔබේ කාලය, ශ්‍රමය වැඩකට නැති කෙනෙක් වෙනුවෙන් නාස්ති කරන්න සිද්ධ වෙන එක. එහෙම වුණොත් ඔබට ඔබේ ගමන යන්න බැරිවෙනවා.
ඒ නිසා ඔබ රාජාලියෙක් වෙන්න. රාජාලියා කියන්නෙ රංචු පිටින් පියාඹන සතෙක් නෙවෙයි. හුදෙකලාවේ වුණත් තමන්ගේ ගමන තනියම යන්න. ඒ යන ගමනෙදි වටේ ඉඳන් විවිධ දේවල් කරන කාක්කන්ව මගහරින්න. මොකද ඔබට යන්න පුළුවන් ඉහළම උසට යද්දි කාක්කෝ නිකම්ම හැලිලා යනවා.
ප්‍රවීණ දේශක හා
මනෝවිද්‍යා පුහුණු
උපදේශක,
මොහාන් පල්ලියගුරු
එරංදි කෞශල්‍යා ✍️