කදු පල්ලම් අතරින් කැලෑ මැදින් තනියෙන් හරි යාළුවො එක්ක හරි ගමනක් ගිහින් තියෙනවද ? හුළං පාරවල් වැදි වැදී තට්ට තනියමේ ඒ ගමන යන එකෙත් පොඩි ගතියක් තියෙනවා. ජීවිතයේ ඇවිදින ගමන් ඒ ගතිය විඳින, හිනාවෙන් හැමෝම වශිකරගන්න පුළුවන් කඩවසම් කොල්ලෙක් එක්කයි මේ කතාබහ.
ට්‍රැවල් කරන්න පෙළඹුණේ ඇයි?
2019 දී තමයි මම A/L ඉවර කළේ. මම මුලින්ම කරේ Travel photography. එහෙම ගත්ත ෆොටෝස් FB දැම්මා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මම සාමාන්‍යයෙන් ටික් ටොක්වලට කැමැත්තක් තිබ්බ කෙනෙක් නෙමෙයි.
ඒත් මම ෆොටෝ ගන්න ට්‍රැවල් කරද්දි වීඩියෝ හදන්න ගත්තා. ඒවා ටිකක් අප්ලෝඩ් කළා ටික් ටොක් එකේ . මගේ පළවෙනි වීඩියෝ එකම වයිරල් වෙලා ගියා. එතකොට මට යූටියුබ් චැනල් එකක් තිබ්බේ නැහැ. පස්සේ මං කැම්පස් ආවා. ඊට පස්සේ තමයි ට්‍රැවල් කරද්දී වීඩියෝ කරලා දාන්න පෙළඹුණෙ. පස්සේ මම ”සොයන්නා” විදිහට වීඩියෝ අප්ලොඩ් කරන්න ගත්තා සමාජ මාධ්‍ය වල.
“සොයන්නා ” ඇයි එහෙම නමක්…
මට හිතුණා මගේ පර්සනල් නම පාවිච්චි කරනවා වෙනුවට වෙනස් නමක් පාවිච්චි කලා නම් හොඳයි කියලා. ඉදිරි වැඩවලිදී Brand name එකක් විදිහට මට මේක වටිනවා කියන අදහසින් තමයි ඒ නම ගත්තේ.
ඇත්තටම සොයන්නා කියන්නේ කවුද?
මගේ නම මදුක විශ්ව විමලසේකර. මට අවුරුදු 24 යි. ගම පොළොන්නරුවේ. ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි අයියයි මමයි. දැන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මැනේජ්මන්ට් ෆැකල්ටියේ මාකටින් ස්පෙෂල් ඩිග්රියක් කරනවා.
අන්තිමට ට්‍රැවල් කළේ කොහෙද?
අවසානෙට ගියේ බෙල්වුඩ්. අපේ අය යන යන තැන විනාශ කරලා එන්න පුරුදුවෙලානේ. ඒක නිසා මගේ උපන්දිනේ දවසේ යාලුවෝ ටිකත් එකතු කරගෙන අපි බෙල්වුඩ් ගියා.පරිසරයට එකතු කරලා තිබ්බ පොලිතීන් ප්ලාස්ටික් වගේ කුණු එකතුකරලා සුද්ද කරන්න. ඒක තමා අවසානෙට ගියපු ගමන.
ඔයා විශ්වවිද්‍යාල ශිෂ්‍යයක් වගේම ට්‍රැවලර් කෙනෙක්. කොහොමද ඔයාගේ වැඩකටයුතු සමබර කරගන්නෙ ?
ඇත්තටම බැලන්ස් කරගන්න නම් හරිම අමාරුයි . මුල් කාලේ නම් මට බැරි වුණා. ඇත්තටම පුදුම මහන්සියක් වෙන්න ඕන.
වැඩිපුරම ට්‍රැවල් කරන්නේ මොන වගේ තැන්වලටද ?
මම ගොඩක් ආසයි සීතල පැතිවල කඳු නඟින්න. ඒ වගේම තමයි මම ගොඩක් ආසයි ලංකාවෙ ඉතිහාසය හොයාගෙන යන්න. ලංකාවේ යට ගියපු තාක්ෂණය ගැන හොයන්න.
ට්‍රැවල් කරද්දී සිදු වුණ විශේෂ සිදුවීම් මොනවද?
මීට මාස තුන හතරට කලින් යාළුවොත් එක්ක පොළොන්නරුවේ මාරයාගේ මාර්ගය කියන තැනට යන්න හැදුවා. එතනට ලේසියෙන් යන්න බැහැ. ඒක වංකගිරියක් වගේ එතන උල්පතක් තියෙනවා ඒක කවදාවත් හිදෙන්නේ නැහැ.
ඒකට දිඹුලාගල ඖෂධ පොකුණ කියලා කියන්නේ. පටන් ගන්නෙ පන්සලකින්. යන්න කළින් පන්සලට ගිහිල්ලා හාමුදුරුවෝ හම්බ වුණා. හාමුදුරුවෝ කිව්වා කට නම් වරද්දගන්න එපා කියලා.
මගක් දුර යද්දි යාළුවෝ ටික කෑගගහා ගියේ. අන්තිමට අපිව අතරමං වුණා. ගෙනිච්ච වතුරත් ඉවර වුණා. ගල උඩට යන්න පුළුවන් වුණේ කිලෝමීටර් දෙකක් විතර. අන්තිමට ගල උඩට වෙලා ඉන්න වුණා බැහැගන්න බැරිව.
කොච්චර පල්ලෙහාට බැස්සත් ආපහු හිටපු තැනටමයි ආවේ. කොහොම හරි අමාරුවෙන් පාර හොයාගෙන හවස 6 .30 වෙද්දී බැස්සා. එදා එතැනට යන්න හම්බුනේ නම් නෑ. හැබැයි පස්සෙ දවසක ගියා.
ගමන්වලට ලැබෙන සහයෝගය කොහොමද?
දුර ගමන් යන නිසා ගෙදරින් අවසර ගන්න පොඩ්ඩක් අමාරුයි. Travel content හදන්න ගත්ත මුල් දවස්වලනම් කැම්පස් එකේ ගොඩක් යාලුවොන්ගෙන් උදව්වක් ලැබුනේ නැහැ. හිනාවුන අය පවා හිටියා .
ඒත් දැන් ඕන දෙයකට මාත් එක්ක ඉන්න, කලින් හිටියේ නැති යාලුවෝ පවා ගොඩක් මේ දේත් එක්ක මාත් එක්ක එකතු වුණා. ඒ විතරක් නෙවෙයි ඒ කාලේ ඉදලා මාත් එක්ක හිටිය යාලුවෝ ටික මට ලොකු සපෝට් එකක් දෙනවා මේ වැඩවලට.
වීඩියෝස් කරන්නේ කොහොමද?
මගේ ෆෝන් එකෙනුයි ඩ්‍රෝන එකෙනුයි තමයි මේ වීඩියෝස් කරන්නේ. ඒ ඔක්කොම එඩිට් කරන්නෙත් මමම තමයි.
ඉදිරියේදී ට්‍රැවල් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ කොහෙද?
දැනට නම් මං ලංකාවේ හැම දිස්ත්‍රික්කයකටම ඇවිදින්න ගිහිල්ලා තියෙනවා. ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ඇවිදලා බලන්න තමයි මට ඕනේ. ඒ වගේම අපේ පරණ තාක්ෂණය ගැන අධ්‍යනය කරන්නත් මම ආසාවෙන් ඉන්නේ. ඒ වගේම පිටරටත් ට්‍රැවල් කරන්නත් ආසාවක් තියෙනවා.
මොන වගේ අභියෝගද ආවේ?
ළඟදි මගේ ඩ්‍රෝන එක කැඩුනා. ඩ්‍රෝන එක කියන්නෙ මට වටිනම දෙයක්. වීඩියෝ එකක් ගන්න ගිහිල්ලා අඩි 30 ක විතර ගහක වැදුනා. මාස දෙක තුනක් යනකන් වීඩියෝ කළෙත් නැහැ. ඇත්තටම මම මාර විදිහට ඩවුන් වුණා. මන් ඩ්‍රෝන එකත් එක්ක මාර බැදිමක් තිබ්බා. පස්සෙ මට ඩ්‍රෝන එකක් තෑගී ලැබුණා. එයාට ගොඩාක් ස්තූති කරනවා.
අනාගත බලාපොරොත්තු මොනවද?
මගේම කියලා බිස්නස් එකක් කරනවා. ඒවගේම තව බිස්නස් කිහිපයක් පටන් ගන්න අදහසක් තියෙනවා. ඒ වගේම ට්‍රැවල් කරන එක තමා ලොකුම බලාපොරොත්තුව.
ස්වභාව දහමට ආදරය කරන කෙනෙක් විදිහට ඔයා සමාජයට දෙන පණිවිඩය මොකක්ද?
ස්වභාදහම විඳින්න ඕනේ, විඳිනවාට වඩා රස විඳින්න පුරුදු වෙන්න ඕන. ගොඩක් අය ඇවිදින්න ගියාම පාවිච්චි කරපු දේවල් ඒ තැන්වල දාලා යනවා. සමහර තැන් දකිද්දි හරියට කේන්ති යනවා. ඇයි මිනිස්සුන්ට බැරි සොබාදහම රස විඳින්න? මේ වැඩෙන් වෙන්නේ අපෙන් තව පරම්පරා දෙක තුනකට පස්සේ මේ ස්වභාවික තැන් රස විඳින්න බැරිවෙන එක තමයි. ඓතිහාසික තැන්වල බලිකූටූ අදිනවා ඒක නිසා එහෙම කරන්න එපා. අපි ස්වභාවදහම රැක්කොත් ස්වභාවදහම අපිව රකීවි කියලා තමා කියන්න තියෙන්නෙ.
නිපුනි සම්මානි ✍️