පවුල යනු සමාජයේ කුඩාම ඒකකය වේ. පවුල තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇති වූ විට එය ඍජුව සමාජයට එල්ලවන බලපෑමකි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යනු ගෘහය තුළ සාමය කඩවීමයි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට නීතිය තුල ඉඩක් වෙන් නොවන පරිදි නීති සකස් වී ඇත. ගෘහයට, ගෘහ වැසියන්ටම පොදු වූ ගෘහස්ථ වූ ප්‍රචණ්ඩත්වය සහ එම ප්‍රචණ්ඩත්වය වැළැක්වීම උදෙසා ගොඩනැගුණු නීති පිළිබඳව දැනුවත්වීම ඉතා වැදගත් වේ. මීට අදාල නීතිය 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනතේ හි දක්වා ඇත.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ ක්‍රියා පනතට අයත් වන්නේ මොන වගේ හිංසනයන්ද…?
“හිංසනය” යන්නෙන් පනතේ උප ලේඛනයේ සඳහන් වූ වරදවල් දක්වා තිබේ. ඒ වරදවල් සාමාන්‍යයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ ඇති මනුෂ්‍ය ශරීරයට විරුද්ධව කෙරෙන වැරදි වේ. එනම් දණ්ඩ නීති සංග්‍රහයේ 16 වැනි පරිච්ඡේදයේ අන්තර්ගත සියලු වැරැදි :පහරදීම
- සාපරාධී බිය ගැන්වීම
- බලෙන් යමක් ලබා ගැනීම
- ඝාතනය කිරීමට තැත් කිරීම
- තුවාල කිරීම
- බරපතල තුවාල කිරීම
- ලිංගික අතවර කිරීම
- ස්ත්‍රී දූෂණය
ඊට අමතරව මේ පනත සමග මානසික වධ හිංසා මෙම නීතියට ඇතුළත් කර ඇත. එනම්; උද්වේගකර බැණ වැදීම් යන්න වේ.
උද්වේගශීලි බැණ වැදීමකදී සිදු වන්නේ මානසික වධහිංසාවකි. එහි අර්ථ නිරූපණය අනුව පීඩාවට පත් තැනැත්තකු කෙරෙහි යොමු කරන ලද බරපතල ස්වභාවයේ අවමන් කිරීමේ හෝ අපහාස කිරීමේ ක්‍රියා කලාපයක ස්වරූපයකින් යුක්ත වන්නා වූද ඒ පීඩාවට පත් තැනැත්තාට බරපතල ක්ෂණික පීඩාවක් ඇති කිරීමේ බලපෑම ඇත්තා වූ ද ක්‍රියාවක් මින් අදහස් කෙරේ.
මෙම පනත යටතේ සහන ලබා ගත හැක්කේ කාටද?
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යනු පීඩාවට පත් වන තැනැත්තාට අදාල” තැනැත්තෙකු විසින් නිවසේදී හෝ පිටතදී කරන ලද ශාරීරික හෝ මානසික ීඩාවක් බව එම පනතේ 23 වන වගන්තියේ දක්වා ඇත.ස්ත්‍රී, පුරුෂ භේදයක් නොමැතිව රැකවරණය ලබා දීම අරමුණු කරගෙන මෙම පනත සකස් කර ඇත.
සමහර අවස්ථාවලදී ස්ත්‍රිය මෙන්ම පුරුෂ පක්ෂයත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට යටත් විය හැකියි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය බිරිඳ හා සැමියා අතර පමණක් නොව දරුවෝ, නැන්දම්මා, ලේලි, ආච්චි, සීයා, ඥාතීන් මේ සියල්ලන්ම අතරත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සිදු විය හැකියි. පීඩාවට පත් වන අයට රැකවරණයක් ලබාදීම අරමුණු කරගෙන මේ පනත නීති ගත කර ඇත.
ඒ නිසා මේ පනතින් සහන සැලසෙන්නේ කාන්තාවට පමණක්ම නොව පිරිමි පක්ෂයටත් මෙම පනත හරහා ආරක්ෂාව රැකවරණය ලබා ගත හැකියි. පනතේ 23 වගන්තිය අනුව තම කලත්‍රයාට, වෙන්වීමට පෙර සිටි කලත්‍රයාට, සංවාසයේ යෙදෙන සහකරුට හා විවාහයට අදාල ඥාතීන්ට එරෙහිව සහන ලබා ගත හැකිය.
කෙසේ හෝ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවකින් පීඩා විදින අයෙක් හෝ පීඩා විදීමට ඉඩ ඇති අයෙක් තමන් සිටින හෝ සිදුවීමට අදාළ පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කර පොලිසිය මගින් පනතේ 2 වන වගන්තියට අනුව ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සඳහා, “ආරක්ෂා කිරීමේ ආඥාවක්” නිකුත් කිරීමට ගෘහය පිහිටි අධිකරණ බල ප්‍රදේශයේ අදාළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ හැක. මීට අමතරව නීතිඥවරයෙකු මගින් ද පෞද්ගලික පැමිණිල්ලක් ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කිරීමටද හැකියාව ඇත.
මෙම පනත මගින් ලබා ගත හැකි සහන මොනවාද?
ගරු අධිකරණය විසින් අධිකරණය වෙත කරණු ලබන ඉල්ලීම සලකා බැලීමෙන් හා අවශ්‍ය යැයි හැඟෙන විට සාක්ෂිකරුවන්ගේ දිවුරුම මත සාක්ෂි විභාග කිරීමෙන් පසුව අධිකරණය සෑහීමකට පත් වූ විට නඩුව විභාග කරන තුරු “අතුරු ආරක්ෂක ආඥාවක්” වගඋත්තරකරු වෙත නිකුත් කරනු ලබයි. මෙහිදී අධිකරණය විසින් හදිසි අවශ්‍යතාව සහ පීඩාවට පත් තැනැත්තාගේ ආරක්ෂාව සහතික කිරීම යන කරුණු සැලකිල්ලට ගනී.
මෙමගින් වගඋත්තරකරු විසින් සිදුකරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වයි. පනතේ 4 වන වගන්තිය ප්‍රකාරව අධිකරණය විසින් ඉල්ලීම ඉදිරිපත් කර දින 14 කට නොවැඩි දිනයක විභාගය සදහා දිනයක් නියම කරනු ලබයි. එහිදී වගඋත්තරකරුට අතුරු ආරක්ෂක ආඥාව නිකුත් කිරීමෙන් පසුව එසේ නොකිරීමට නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් වගඋත්තරකරුට නියම කරනු ඇත.
මෙමගින් වගඋත්තරකරුට නීතිය ඉදිරියේ දඬුවම් ලබාදීමක් සිදුවේද…?
මෙම පනතේ සුවිශේෂිත්වයක් ඇත. එනම් මෙය දණ්ඩන නීතියක් නොව ආරක්ෂන නීතියකි. මෙහිදී වග උත්තරකරුට දඩුවම් ලබා දීමක් සිදුකරනු නොලබයි. මන්ද කොපමණ වැරැදි තිබුණත් බොහෝ විට වගඋත්තරකරු වන තම සැමියා/ඥාතියා සිරගත කිරීමකට ලක් කීරීමකට හෝ දණ්ඩනයකට යටත් කීරීමට කාන්තාව මැලි කමක් දක්වන නිසාවෙනි. නමුත් මෙම පනතට පරිබාහිරව එලෙසින් දඩුවම් කිරීමේ අවශ්‍යතාවයක් ඇති නම් දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් කළ හැක.
එනම් දණ්ඩ නීති සංග්‍රහය යටතේ කෙනෙක්ට පහරදීමක් සිදුකළහොත් එය අපරාධයක් සේ සලකා මහේස්ත්‍රාත් අධිකරණයෙන් දඬුවම් කළ හැකිය. නමුත් මේ පනත තුළින් එවැනි තත්ත්වයක් අරමුණු නොකරයි. මෙම පනත යටතේ ප්‍රධාන වෙනස දණ්ඩනයක් වෙනුවට මුල් අවස්ථාවේදීම ආඥාවක් ලබා ගැනීමයි.
මේ ආඥාව ලබා ගැනීම තුළින් සිදු කරනුයේ පොරොන්දුවක් ලබා ගැනීමයි. එනම් මෙම පනත අනුව පීඩාවට පත් වන තැනැත්තාට “අදාල” තැනැත්තෙකු විසින් නැවත ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව ක්‍රියාවක් සිදු කරනු නොලබන බවට සහතිකයක් ලබා ගැනීමයි. නමුත් ගරු අධිකරණයක් පනවනු ලැබූ කොන්දේසි කඩ කළහොත් දඬුවමක් ලබා දීමක් සිදු වේ.
නීතීඥ හසිනි හෙට්ටිආරච්චි
Hasinihettiarachchi92@gmail.com