පිටරට නෙවෙයි මේ බොරැල්ලේ
මුදල් පසුපස හඹායන ලෝකයක තම දිවි රකිනා රැකියාවට සාධාරණයක් ඉටු නොකරන බහුතර මිනිස්සු අතරේ තමන් කරන රැකියාවට එහා ගිහින් රටේ ජනතාව වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය කැප කරන මිනිසුන් මේ සමාජයේ ඉන්නේ ඉතාම අතලොස්සක්. ඉතින් මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීමේ වෙනුවෙන් පරාර්ථකාමී රාජ්‍ය සේවකයන් පිරිසක් සිටින තැපැල් කාර්යාලයක් අපට බොරැල්ලෙන් හමුවුණා. ඉතින් අපි ඒ ගැන තැපැල් ස්ථානාධිපතිතුමා එක්ක කතා කළා.
තැපැල් සේවයට නියමිත කාල සීමාවක් තියෙද්දී ඇයි මේ වගේ විශේෂ වේලාවක් වැඩ කරන්න හිතුවේ?
ඇත්තටම බොරැල්ල කියන්නේ නාගරික වටපිටාවක් තියෙන ප්‍රදේශයක්. ඉතින් මේ ප්‍රදේශයේ ජනතාව තමන්ගේ වැඩත් එක්ක කාර්යබහුලයි. ඒ නිසා ඔවුන්ට නිදහසේ තැපැල් සේවාව ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන්න තමයි අපි මෙහෙම කළේ.
ඒ වගේම තැපැල් දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන විශේෂ සේවාවක් වන රථවාහන දඩ ගෙවීම් සිදු කිරිමේ දී රාත්‍රී කාලයේ , ඉරිදා වගේම නිවාඩු දිනවල ජනතාවට මුහුණපාන්න වෙන ගැටලු මග හැරලා ජනතාවට උපරිම සහයෝගයක් ලබා දීමත් අරමුණුක් වුණා.
පැය 24 ක් තැපැල් කන්තෝරුව විවෘතව තැබීම කාගේ ඔළුවටද ආවේ?
ස්ථානාධිපති වශයෙන් මගේ ඔළුවට තමයි මේ විශේෂ සංකල්පය ආවේ. ඒක මම තැපැල් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළා. ඊටපස්සේ ඔවුන්ගේ අනුමැතියක් එක්ක තමයි මේ සේවාව බොරැල්ලෙන් අපි ආරම්භ කළේ.
පැය 24 සේවාව ආරම්භ කරල දැන් කොච්චර කාලයක්ද?
දැනට මාස පහකට විතර කලින් තමයි අපි මේ සේවාව ජනතාව වෙනුවෙන් පටන් ගත්තේ.
සාමාන්‍ය සේවා කාලයේ දී ලබාදෙන සේවාවන් සියල්ලම රාත්‍රී කාලයේ සහ නිවාඩු දිනය වලත් මේ තැපැල් කන්තෝරුවෙන් ලබා දෙනවද ?
අතිරේක මුදල් ලබා ගැනීම සහ ආරක්ෂාව පිළිබඳ පවතින ගැටලු මත රාත්‍රී කාලයේ දී මනී ට්‍රාන්සර් සේවාව, විශ්‍රාම වැටුප් ගෙවීම්, සමාජ සුබසාධන ගෙවීම් වගේ මුදල් හුවමාරු කටයුතු දැනට අපි කරන්නේ නැහැ.
මේ හැරුණම මුද්දර ලබා ගැනීම, දේශීය විදේශීය ලිපි බාර ගැනීම, කෑෂ් ඔන් ඩිලිවරි වලට අදාළ බඩු බාර ගැනීම, පාර්සල් භාර ගැනීම වගේ අනෙකුත් සියලුම තැපැල් සේවාවන් රාත්‍රී කාලයේදීත් නිවාඩු දිනවලදීත් අපි කරනවා.
මේ විශේෂ සේවාව ගැන මහජනතාවගෙන් ලැබෙන්නේ කොයි වගේ ප්‍රතිචාරයක් ද?
ඇත්තටම ජනතාවගේ පැත්තෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම රථවාහන දඩ ගෙවීම් වලට අදාළව. මොකද පිට පළාතක ඉඳන් කොළඹට ආපු කෙනෙක්ට රාත්‍රී කාලයේ, නිවාඩු දිනවල දඩ ගෙවීමක් කරන්න වුණොත් මේ නිසා ඔවුන්ට එදිනම ඒ දේවල් කර ගන්න හැකියාව ලැබෙනවා.
එයාලට ඒක ලොකු පහසුවක් කියලා ගොඩක් දෙනෙක් ස්තූතියි කරනවා. ඒ වගේම, දවල් කාලයේ තැපැල් කර ගන්න බැරි වෙන හදිස්සි ලිපි පවා තැපැල් කරගන්න එන බොහෝ අය, විදේශ රටවලට ලියුම් යවන අය, කෑෂ් ඔන් ඩිලිවරි සේවාව හරහා බඩු හුවමාරු කරගන්න හුරුවෙලා ඉන්න ව්‍යාපාරිකයන් මේ සේවාව අගය කරනවා.
මේ සේවාව ඵලදායීව ජනතාවට ලබා දෙන්න කාර්යමණ්ඩලය පැත්තෙන් ලැබෙන සහයෝගය කොයි වගේද?
සාමාන්‍යයෙන් තැපැල් කාර්යාලයක ඒ ඒ නිලධාරීන්ට වෙන්වුණ වැඩ කොටසක් තියෙනවා. හැබැයි මෙහිදී අපි ඒ රාජකාරී වලින් ඔබ්බට ගිහිල්ලා කනිෂ්ඨ කාර්යය මණ්ඩලයේ වැඩ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවා කරගන්නවා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වැඩ කනිෂ්ඨ කාර්යය මණ්ඩල කරනවා, ස්ථානාධිපති වුණත් මමත් කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ රාජකාරී පවා කරන අවස්ථා තියෙනවා. ඒ විදිහට හැමෝම මෙතනදී තමන්ට වෙන් වුණ රාජකාරිවලට අමතරව කණ්ඩායමක් විදිහට වැඩවලට සහයෝගය ලබා දෙනවා. කාර්යමණ්ඩලයේ සුවිශේෂි කැප කිරීම සහ සහයෝගය නිසාම තමයි මේ සේවාව මේ විදිහට ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ.
රාත්‍රී සහ නිවාඩු දිනවලදී සිදුකරන තැපැල් සේවාවන්ට අමතර ගාස්තුවක් අය කරනවද?
රාත්‍රී, නිවාඩු දින කියලා කිසිම වෙනසක් නැහැ. සාමාන්‍යයෙන් අය කරන රජයේ අවම ගාස්තුවම තමයි.
මේ විශේෂ සේවාව වෙනුවෙන් සේවකයන්ට අමතර වැටුපක් හෝ දීමනාවක් ලබා දෙනවාද?
ඇත්තටම අපි ලබා ගන්න ස්ථිර වැටුපට අමතරව කිසිඳු විශේෂ දීමනාවක් හෝ අමතර වැටුපක් අපි ලබා ගන්නේ නැහැ. රජයට වැය බරක් නැතිව මිනිස්සු වෙනුවෙන් හිතලා ස්වේච්ඡා සේවාවක් විදිහට තමයි අපි මේ සේවාව කරගෙන යන්නේ.
මෙහිදී සේවකයන් සේවා මුර ක්‍රමයටද සේවය කරන්නේ?
නැහැ. ඉස්සර ඉදන්ම රාත්‍රී කාලයේ දී ලිපි වර්ගීකරණයට අභ්‍යන්තර සේවාවන් කොහොමත් සිදුකරනවා. ඒ නිලධාරීන් පිරිසම තමයි රාත්‍රී සේවාවත් සිදුකරන්නේ. ඒ වගේම ඉරිදා සහ නිවාඩු දිනවලදී රාජකාරී කටයුතු කරන නිලධාරියෙකුට සතියේ දිනයක දී නිවාඩුවක් ලබා දෙනවා.
මීට අමතරව ඉදිරියේ දී මේ වගේම සුවිශේෂී තවත් සේවාවන් ජනතාවට ලබා දෙන්න අදහසක් තියෙනවද?
ඔව්. කොළඹ කියන්නේ නාගරික කලාපයක්. ගොඩක් දෙනෙක් අවිවේකී ජීවන රටාවක් තමයි ගෙවන්නේ. ඒ නිසා කාර්යාලයට ඇවිත් ලබා ගත්ත තැපැල් සේවාව ඔවුන් ළඟට ගිහින් ලබා දෙන්නත් අදහසක් තියෙනවා.
ඒ සඳහා සතියේ එක් දිනයක ජංගම සේවාවක් දියත් කරන්න සහ මුදල් හුවමාරු සේවාවත් රාත්‍රී කාලයේදී ලබා දෙන්න අපි ඉක්මනින්ම කටයුතු කරනවා
බොරැල්ල තැපැල් ස්ථානාධිපතිතුමන් විදිහට මොනවගේ පණිවිඩයක්ද ජනතාවට දෙන්න තියෙන්නේ?
ඇත්තටම ස්වේච්ඡා සේවාවක් විදිහට මේකේ ඵලදායීතාවය රැදෙන්න නම් ජනතාව වෙනුවෙන් සිදුකරන මේ සේවාව ඔවුන් පරිභෝජනය කිරීම ඉතාමත් වැදගත්. ඒනිසා මම ජනතාවට ආරාධනා කරනවා තදබදයකින් තොරව නිදහසේ ඕනෑම තැපැල් සේවාවක් ලබා ගන්න බොරැල්ල තැපැල් කාර්යාලයට පැමිණෙන්න කියලා.
දුම්ෂා විජේසිංහ ✍️