දෙන්නෙක් විවාහ වෙලා දරුවෙක් හදන්නේ ඒ දරුවට දෙන්න පුළුවන් උපරිම සැප දීලා, හොඳට උගන්නලා සමාජයේ උසස් තැනකට ගෙනියන්න. කොච්චර හොඳට හැදුවත් ගොඩක් අම්මලාට දරුවෝ සම්බන්ධව තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි දරුවන්ට ආත්ම විශ්වාසයක් නැතිකම. පාසලේ කිසිම දේකට ඉදිරිපත් වෙන්නේ නෑ. සබකෝලයි. නමුත් හැම දරුවෙක්ටම ආත්ම විශ්වාසයක් තියෙනවා. ඇඟ ඇතුළේ වීරයෙක් ඉන්නවා. ඒක පිටට පෙන්නුම් කරන්නේ නෑ. දරුවන්ගේ ඇඟ ඇතුළෙ තියෙන ආත්ම විශ්වාසය සහ වීරයව එළියට ගන්න දෙමව්පියන්ට පුළුවන්. නමුත් ඊට කලින් අපි හිතන්න ඕනේ දරුවගේ වීරත්වය හැංගෙන්න හේතුව මොකක්ද කියලා.
දරුවෙක් පුංචි කාලේ ඉඳන් එන ගමන් මගේදි එන්නේ යුග අටක් පහු කරලා. ඒ ඒ යුගයන්වලදි දරුවන්ට ඇතිවන අවශ්‍යතාවයන් තියෙනවා. එක් යුගයකදි අවශ්‍ය වෙනවා උණුසුම, දයාව, සෙනෙහස සහ විශ්වාසය. මේ දේවල් ලැබුණම දරුවා තුළ නිකන්ම ආත්ම විශ්වාසය, බලාපොරොත්තු සහ වීරත්වය වගේ දේවල් ඇතිවෙනවා.
මේ යුගවලදි දරුවට අවශ්‍ය දේවල් නොලැබුණොත් දරුවා තුළ එකතුවෙන්නේ ඍණ ගති. ලැබුණොත් දරුවා තුළ ගොඩනැගෙන්නේ ධනාත්මක දේවල්. ඉතින් දරුවා වැඩෙන යුගවලදි දෙමාපියන්ගෙන් සිදුවෙන යම් යම් අඩුපාඩු නිසා තමයි දරුවාගේ හීනමානය වැඩිවෙලා වීරත්වය අඩුවෙන්නේ. නමුත් වීරයා තවමත් දරුවා තුළ ඉන්නවා.
වර්ධනය වෙන ළමා මොළයක ෆිල්ටර්ස් කිහිපයක් තියෙනවා. මේ ෆිල්ටර්ස්වලින් තමයි විවිධ කරුණු පිරිලා එන්නේ. ඒවා නිර්මාණය වෙන්නේ දරුවා ඉපදුණාට පස්සේ. දරුවට දඬුවම් කරන විදිහ, ආදරය කරන විදිහ වගේ සිදුවීම් මාලාවක් ඔස්සේ ෆිල්ටර් වෙවි තමයි මොළය හැදෙන්නේ.
මේ ෆිල්ටර්ස්වලින් එකක් තමයි විශ්වාසය කියන ෆිල්ටරය. අපි උදාහරණයක් විදිහට හිතමු දරුවෙක්ට හොල්මන් ගැන විශ්වාසයක් සහ බයක් ඇතිවෙන්නේ ඒ දරුවා ඇත්තටම හොල්මන් දැකපු නිසා නෙවෙයි. ඒ ගැන කතා අහලා තියෙන නිසා. ඕනෑම දේකට මේ අහන්න දකින දේවල් සහ අත්විඳින දේවල් බලපානවා.
ජනේලයකට නැගපු දරුවෙක්ට සැර කරලා කිව්වොත් ආයේ ජනේලෙට නැග්ගොත් කකුල් දෙක කඩනවා කියලා ඒ දරුවා ආයෙ ජනේලට නගින්න ලොකු බයක් ඇතිකර ගන්නවා. දරුවට සැර කරපු විදිහ, භාවිත කරපු වචන දරුවගේ ඔළුවේ රැඳෙනවා.
ජනේලෙට නැගපු දරුවා ලොකු වෙලා ඉනිමගකටවත් නගින්න බය වෙනවා. මනෝ විද්‍යාවේදි බය වර්ග බොහෝමයක් හඳුන්වනවා. මේ බය හැදෙන්නේ පුංචි කාලෙ වීරයෙක් වගේ ඉපදුණ දරුවට මතුපිටින් එකතු වුණ විවිධ සිද්ධාන්ත ගොඩක් නිසා.
විශ්වාසය වගේම අනිත් ෆිල්ටරේ තමයි මතකය කියන්නේ. යුද්ධෙ කාලේ යාපනයේ හිටපු දරුවෙක් රතිඤ්ඤා කරලත් පත්තු වුණත් ගැස්සෙන්නේ මෙන්න මේ කියපු මතකය නිසා. දරුවා බය වෙන්නේ රතිඤ්ඤා කරලට නෙවෙයි.
රතිඤ්ඤා කරලෙන් නික්මුණ හඬින් වෙඩි සහ බෝම්බ හඬ මතක් වුණ නිසා. ඉතින් දරුවෙක් තුළ හැංගිලා ඉන්න වීරයා එළියට ගන්න නම් කරන්න ඕනේ මේ ෆිල්ටර්ස් අස්සෙන් ගිහින් නරක මතකයන් සහ විශ්වාසයන් කියන ෆිල්ටර්ස් අයින් කරලා මොළය රෙපෙයර් කරන එක’ මයින්ඩ් ප්‍රෝග්‍රෑමින් කියන්නේ ඒකට.
ඔබේ දරුවට ආත්ම විශ්වාසයක් නැත්තේ නෑ තියෙනවා. ඒකට කරන්න ඕන දරුවගේ අභ්‍යන්තරයට ගිහින් ඔහු හෝ ඇය තුළ තියෙන පැරණි විශ්වාසයන්ට සහ මතකයන්ට ඇටෑක් කරලා ඒවා දරුවගෙන් අයින් කරන එක. නැවුම් ධනාත්මක දේවල්වලින් මොළය පුරවන එක.
පෞර්ෂත්ව හා නායකත්ව පුහුණු විශේෂඥ
වෛද්‍ය කුමා ඉද්දමල්ලෙන
එරංදි කෞශල්‍යා ✍️