මේ පින්තුරයේ තියෙන බඩඉරිඟු කරල අපි හැමෝම දන්න විදිහට තම්බලා අලෙවි කරද්දි ලැබෙන වටිනාකම වගේ සිව්ගුණයක වටිනාකමක් පුච්චලා අලෙවි කරද්දි ලැබෙනවා. ඒකට හේතුව තමයි එහි ඇති සුවිශේෂිභාවය. එකම මුට්ටියක තැම්බෙන කරල් සියල්ලේම රසය, පෙනුම පිසිණු ප්‍රමාණය එක සමානයි. නමුත් තනිවම පිච්චුණ කරලක තියෙන්නේ එයට ආවේණික පෙනුමක්. ආවේණික රසයක්. ඒ නිසයි එයට ඉහළ වටිනාකමක් ගෙවන්නේ. තම්බපු බඩඉරිඟු හැමතැනම තිබුණට පුච්චපු බඩඉරිඟු හැමතැනම නෑ. අපි ගොඩක් වෙලාවට තම්බපු බඩඉරිඟු වගෙයි. පිච්චෙන්න බයයි. සාර්ථක ජීවිතයක් කියන්නේ ගානට පිච්චුණ බඩඉරිඟු කරලක් වගෙයි. ජීවිතේ දුක් වේදනා, බිදවැටීම්, පරාජයන් තුළින් පිච්චුණ ජීවිතවල වටිනාකම වැඩියි.ඔයා හැමදාම ජීවත් වෙන්නේ සුවපහසු කලාපයේ (Comfortable zone ) නම් ඔයා හරියට තම්බපු බඩඉරිඟු කරලක් වගෙයි. පිච්චුණ බඩඉරිඟු කරලක් වෙන්න සුවපහසු මානසික සීමාවෙන් ඔබ්බට හිතන විදිහ වෙනස් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් පිච්චෙන්න සුදානම් වෙන්න ඕනේ. පිච්චෙන්න බැරි කිසිම කෙනෙකුට ඉහළ වටිනාකමක් ලබාගන්න බැරි බව අමතක කරන්න එපා.
ලෝකයේ වටිනාකමින් අඩුම ගල් වර්ගය ගල් අඟුරුයි. ඒ වගේම වටිනාකමින් වැඩිම ගල් වර්ගය දියමන්තියි.මේ දෙවර්ගයම නිර්මාණය වෙලා තියෙන්නෙ කාබන්වලින්. එහෙනම් මේ දෙවර්ගයේ ඇති වෙනස මොකක්ද? ඒ වෙනස තමයි දැඩි පීඩනය. දියමන්තියට වටිනාකමක් දුන්නේ පීඩනයයි. පීඩනය ඉතා සුන්දර දේවල් නිර්මාණය කරනවා.
ජීවිතය විවිධ පීඩන තත්ත්වයන් තුළ ඔයාව පරික්ෂා කරනවා. අපේ ජීවිතවලට විවිධ පීඩනයන් පැමිණි විට අපි මානසිකව වැටෙනවා. ඒත් ඒ පීඩනයම දවසක අපේ ජීවිතවලට ලොකු වටිනාකමක් එකතු කරනවා. ඒ පීඩනය ඔයාගේ ජීවිතේ වටිනාකමට ගෙවන මිල බව අමතක කරන්න එපා.
දැඩි බව අඩුවෙලා නව පෙනුමකින් ලෝකය සමග ගනුදෙනු කරන්න මෘදු බව වානේවලට ලැබෙන්නේ අධික ගින්දරක රත්කිරිමෙන්. ඒ වගේම වැඩි වටිනාකමක් සහිත අලුත් නිර්මාණයක් විදිහට පෙනී සිටින්න පුළුවන් වෙන්නේ කිණිහිර උඩ තැලුවාම. තැලුණු හා රත්වුණු ජීවිත වානේ වගේ ශක්තිමත් හා වටිනා මිනිස්සු බිහි කරනවා.
ජීවිතේ අපි ලබන දුක්, වේදනා, හිරිහැර, පීඩා පරාජයන් අත්දැකීම් විදිහට එකතුවෙලා ශක්තිමත්ව වටිනාකමකින් යුතුව අපිට ඊළඟ අදියර නිර්මාණය කරගැනීමට අවශ්‍ය පළපුරුද්ද ලබාදෙනවා. වැරදීම්, පැරදීම් කියන්නේ ශක්තිමත් ජයග්‍රාහකයකු තැනීමට අවශ්‍ය ප්‍රබල අමුද්‍රව්‍යයන්. වැරදිලා, පැරදිලා නමුත් නොනවතින උත්සාහය නිසා ජය ලබන මිනිසුන්ට ලැබෙන වටිනාකම ඉහළයි. ඔයාගේ ජීව්තේට ලැබෙන පීඩනය, බාධක, පරාජයන් කියන්නෙ ඔයාට මෘදු වෙලා හැඩය වෙනස් කරගන්න වටිනාකමක් එකතු කරගන්න ලැබෙන ආශිර්වාද.
අපි හරියට තේ කොළ වගෙයි. උණුවතුර දාලා හොදට පැහෙනකං තේ කොළ දන්නේ නෑ තමන්ට තියෙන වටිනාකම හා ශක්තිය. හොඳට හිතලා බලන්න අපි හැමෝම හරියට ඒ වගෙයි. උණුවතුරට නොදමන තාක් තේ කොළවලට වටිනාකමක් ලැබෙන්නේ නෑ. ඔයාගේ විශිෂ්ට කැපකිරීමට පමණයි පුළුවන් වෙන්නෙ ජීවිතේ වටිනාකම වැඩිකරන්න.
ඔයාට තමයි පුළුවන් ඔයාගේ ජීවිතයට අලුත් හැඩයක් නිර්මාණය කරන්න. බඩඉරිඟු කරලකින් ජීවිතය ඉගෙනගන්න පුළුවන් කියලා කවදාවත් ඔයා හිතුවද? ඔයාගේ ජිවිතේට වටිනාකමක් ලබාගැනීමට නම් තම්බපු බඩඉරිඟු කරලක් නොවී පදමට පුච්චපු බඩඉරිඟු කරලක් වෙන්න.
ධනුෂ්ක උදයංග හේරත්,
මානව හැකියා සංවර්ධන
පුහුණු උපදේශක
එරංදි කෞශල්‍යා ✍️