සේද මල් මාවතකින් අපේ ජීවන කතා පොත පටන් ගන්නේ නෑ. අපේ ජීවන කතා පොතේ පළවෙනි පිටුව පටන් ගන්නෙත් කදුළු කතාවකින්. හැම දරුවෙක්ම අම්මගෙ කුසින් එළියට එද්දී අඬනව. පොතේ පළවෙනි පිටුව කදුළු මූණකින් පටන් ගත්තත් පිටු පෙරලද්දි කියවන්න ආස හිතෙන මතක අපි එකතු කරගන්න ඕනෙ. මොන තරම් ප්‍රශ්න ආවත් ගල් මුල් ප්‍රහාර ආවත් ජීවන කතා පොතේ පිටු ලස්සන කරගන්න උත්සාහ කරන්න ඕන. අද කතා කරන්නේ ආපු අභියෝග, ගල්, මුල්වලට පයින් ගහල ජීවිතේ ලස්සන කරගත්තු අපූරු මිනිසෙක් ගැනයි. ඔහු නමින් ජගත්.
ජගත්ගේ පෞද්ගලික ජීවිතය ගැන කිව්වොත්.
මගේ නම ජගත් කුමාර. මම ඉන්නේ සෙල්ලකතරගම. ගොඩක් අය මාව දන්නේ රංග විදිහට. 2012 දී මම යාළුවෙක්ට නළ ලිඳක් හදන්න උදව් කරන්න ගියා. නළ ළිඳ හදන අතරතුර විදුලි සැර වැදිලා මගේ අත් දෙකේ කොටසක් අහිමි වුණා. මොන බාධක ආවත් ඒවට මුහුණ දීගෙන ඉස්සරහටම ආවා. අද වෙනකොට මම ලොකු පුතාල දෙන්නෙක්ගෙ තාත්ත කෙනෙක්. දැනට මම වඩු කර්මාන්තය මගේ රැකියාව විදිහට කරනවා. ඒ වගේම ඉඩ ලැබෙන වෙලාවට ගොවිතැන් කටයුතුත් කරනවා.
වඩු කර්මාන්තය රැකියාව විදියට තෝරගත්තේ ඇයි?
මම අවුරුදු දොළහේ ඉඳන් ලී වැඩ ගැන ඉගෙනගත්තා. ඒ පළපුරුද්දත් මට තිබුණා. ඒ වගේම ජීවිතේ මොන ප්‍රශ්න ආවත් ඉගෙනගත්ත දේ ප්‍රයෝජනේට ගන්න අපි දැනගන්න ඕන. අත් දෙක අහිමි වුණා කියල කරබාගෙන හිටියොත් ජීවිතේ එක තැන නතර වෙනවා. ඒ නිසා මුල ඉඳන්ම කරගෙන ආපු වඩු කර්මාන්තය නවත්තන්නෙ නැතිව ඉස්සරහට අරගෙන ආවා.
කොහොමද ජගත් මේ වැඩකටයුතු කරන්නේ?
මම නිර්මාණ කරන්නේ පලපුරුද්දයි දැනුමයි එක්ක. නිර්මාණ ඔක්කොම හදන්නේ මම. ලී භාණ්ඩ හදන්න අනතුරින් පස්සේ හිතපු තරම් ලේසි වුණේ නැහැ. ඒත් කාලයක් යද්දි කැපවීමෙන් ටික ටික පුරුදු පුහුණු වුණා. මට නියන, මිටිය, කියත වගේ උපකරණ අල්ලන්න අපහසු නිසා සහයට කෙනෙක් ඉන්නවා. ඒ ලැබෙන සහයෝගයත් එක්ක මම මේ කර්මාන්තය කැපවීමෙන් කරගෙන යනවා.
මොන වගේ නිර්මාණද ජගත් කරන්නේ?
ගෙදරට අවශ්‍ය කරන අල්මාරි, මේස, පුටු, ඇඳවල්, දොර, ජනෙල් මේ හැම දෙයක්ම හදනවා. ලැබෙන ඕඩර් භාරගෙනත් කරනවා. ගෙදරට ගිහින් අවශ්‍යතාවය බලලා නිර්මාණ කරලත් දෙනවා.
ජගත් කොහොමද අභියෝගවලින් පැනල යන්නෙ නැතිව කටුක අත්දැකීමට මුහුණ දුන්නේ?
ඒක ලේසි වුණේ නෑ. ඒත් මම ඒක ජීවිතේට ආපු අභියෝගයක් විදියට භාරගත්තා. අනතුරින් පස්සේ රාගම හොස්පිට්ල් එකේ මාව නතර කළා. හොස්පිට්ල් එකේ ඉන්න කාලේ තවත් ලෙඩ්ඩු සෑහෙන්න දැක්කා. ඒ අය අතර අත් දෙකයි කකුල් දෙකයි නැති අය පවා හිටියා. මම තේරුම්ගත්තා ප්‍රශ්න එන්නේ මට විතරක් නෙවෙයි.
මටත් වඩා බාධක මැද්දෙන් ජීවිතේ ඉස්සරහට අරන් යන මිනිස්සු ඉන්නවා කියල. ඒක මම පන්නරයක් කරගත්තා. ඒ වගේම මට ගමේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ නිසා සාර්ථකව ආපු ප්‍රශ්න එක්ක හැප්පිලා හිත ශක්තිමත් කරගන්න පුළුවන් වුණා.
කොහොමද මේ වඩු වැඩත් එක්ක ගෙදර වැඩ කටයුතු කළමනාකරණය කරගන්නේ?
ලොකු පුතල දෙන්නෙක් මට ඉන්නෙ. වඩු වැඩයි ගොවිතැන් කටයුතුයි අතරේ දරුවො වෙනුවෙනුත් කාලය වෙන් කරගන්නවා. එයාලව ඉස්කොලෙ යවන්න, පන්ති යවන්න වගේ හැමදේටම මම උදව් කරනවා. කාටවත් අතනොපා මම දහඩිය මහන්සියෙන් හම්බ කරල තමයි දරුවන්ට වුණත් දෙයක් අරන් දෙන්නේ. ඒ ගැන හරි සතුටුයි.
ඔබට ජීවන ගමන් මගේදී ආපු අභියෝග මොනවද?
ඇත්තටම ලොකුම අභියෝගය තමයි 2012 මට සිද්ධ වුණ අනතුර. අත් දෙක අහිමි වීම මට ලොකු කම්පනයක් වුණා. ඒත් දුක්වුණා කියල ප්‍රශ්න විසඳෙන්නෙ නැහැ. අමාරුවෙන් හරි මුහුණ දෙන්න ඕන. ජීවිතේට තිත තියල පරාජිතයෙක් වෙන්න මට ඕන වුණේ නැහැ. මොන ප්‍රශ්න ආවත් ඉස්සරහට යන්නයි මම උත්සාහ කළේ.
ඒ ගමනෙදි අත් දෙක අහිමි නිසා සමහරුන්ට මාව විහිළුවක් වුණා. හැමෝටම නෙවෙයි කිහිප දෙනෙක්ට. ඒත් මම ඒවට සැලුණේ නැහැ. ඒකත් මම පාරවළල්ලක් කරගත්තා. මිනිස්සු මොන දේ කිව්වත් මගේ ගමන් නවත්තන්නෑ කියල මම හිතට අරගත්තා.
ඒ අධිෂ්ඨානේ සාර්ථක කරගන්න මම කැප වුණා. නිකම් කම්මැලි වෙලා හිටියොත් අපට මුකුත් ලැබෙන්නෙ නැහැ. ඒ නිසා මම නෑ බෑ කියල හිතන්නෙ නැතිව මට පුළුවන් කියල හැමතිස්සෙම හිතුව. කාටවත් අත නොපා ලස්සන ජීවිතයක් ගතකරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ මහන්සියේ ප්‍රතිඵලයක් විදියට.
ප්‍රශ්නවලට බයේ ජීවිතේට තිත තියන්න හිතන් ඉන්න අයට ජගත්ට දෙන්න උපදේශයක් තියෙනවද?
ලෝකේ ඉන්න හැමෝටම ප්‍රශ්න එනවා. අපේ ජීවිතේ හැම දවසක්ම සතුටින් ඉන්න ලැබෙන්නෙ නැහැ. අටලෝ දහම හැමෝටම පොදුයි. ඒ නිසා දුක් කම්කටොලුත් ජීවිතේට එනවා. ඒත් ඒවට බයේ පැනල යන්න හොඳ නැහැ. පරාජිතයෙක් වෙන්න එපා. අමාරුවෙන් හරි එන ගල් මුල් එක්ක ඔට්ටු වෙන්න. ගඟක් වුණත් ලස්සන එක දිගට ගලන් යද්දි නෙවෙයි. ගල් පර අතරින් යද්දි තමයි ගඟේ ලස්සන හරියට පේන්නේ.
ඒ වගේම ජීවිතේ ලස්සන වෙන්නෙත් අභියෝග එද්දි. එන අභියෝගවලට හරියට මුහුණ දුන්නොත් දවසක සතුටින් කියන්න පුළුවන් කතාවක් තියේවි. ඒ නිසා හිත ශක්තිමත් කරන් ජීවත් වෙන්න පුරුදු වෙන්න. පරාජිතයෙක් වගේ නෑ බෑ කියල හිතන්න එපා.මට පුළුවන් කියල හිතට කියන්න පුරුදු වෙන්න.
පවනි දිලේකා ✍️