බුදුරජාණන් වහන්සේ පහළ වීමටත් පෙරාතුව පටන්ම භාරතයේ ජීවත් වූ විවිධ පිරිස් වැසි කාලයේදී චාරිකාවන්ගෙන් වැළකී තම තමන්ගේ ආරාමයන්ට වී සිටීමට පුරුදුව සිටියහ. ඔවුන් එසේ බාහිර පරිසරයේ ඇවිද නොයමින් ආරාමයට පමණක් සීමා වී මෙම වැසි කාලය ගතකළේ වැස්ස නිසා කුඩා සතුන් පයට පෑගී මියැදීමට ඇති ඉඩකඩ නිසාය. ජෛන ආගමට අනුව තණකොළ පවා සලකනු ලැබුවේ ඉන්ද්‍රියයන් ඇති ප්‍රාණීන් ලෙසයි.ඒ තරමටම අවිහිංසාවාදී ජීවිතයක් ඇතැම් ශ්‍රමණ පිරිස් විසින් වැසි කාලය ගෙවද්දී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැසි කාලයේදී චාරිකාවන්හි යෙදීම මෙම ශ්‍රමණයන්ගේ දෝෂ දර්ශනයට ලක්විය. කුරුල්ලෝ පවා ගස් මුදුන්හි කැදැලි තනාගෙන වෙනදා මෙන් ආහාර සොයා නොයද්දී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මේ අන්දමින් චාරිකාවේ යෑම නිගරුවට පාත්‍ර කළහ. මෙම මහජන මතය “උජ්ඣායන්ති, බියන්ති, විසාවෙන්ති” යනුවෙන් මිනිස්සු අවමන් කළහ. මේ නිසා භික්ෂුන් වහන්සේලා විසින් මේ බැව් බුදුන් වහන්සේට සැළකළහ. “අනුජානාමි භික්ඛවේ වස්සං උපගන්තුන්හි” යනුවෙන් මහණෙනි, වස් සමයේ තොපට වස් වසන්නට අනුදනිමි යනුවෙන් විනය නීති පැනවූහ.බුදුරජාණන් වහන්සේ මහජන මතයට ගරු කළ අවස්ථාවකට නිදසුනකි ඒ.
පෙරවස් සමාදානය
ඇසළ පුර පසලොස්වක පොහොය දින පොහොයකොට ඇසළ ( ඇසළ පොහොයට පසු දිනට පෙර ) එනම් අව පෑලවියට පෙර වස් සමාදානය පෙරවස් සමාදානය වේ. පෙරවස් සමාදම් වුණ භික්ෂුන් වහන්සේලාගේ වස් පවාරණය වප් පුර ( ඔක්තෝබර් ) පසළොස්වක පොහොය දිනයේ සිදුකෙරේ.
පසුවස් සමාදානය
ඇසළ පුර පසලොස්වක පොහොය දිනට පෙරාතුව යම් හෙයකින් වස් සමාදම් වීමට නොහැකි වුණ භික්ෂුන් වහන්සේලා එයින් මාසයකින් පසුව එළැඹෙන නිකිණි (අගෝස්තු මාසයේ ) නිකිණි පුර පසලොස්වක පොහොය දින පොහොයකොට ඇසළ (නිකිණි පොහොයට පසු දිනට පෙර) එනම් අව පෑලවියට පෙර වස් සමාදානය පසු වස් සමාදානයයි. පසුවස් සමාදම් වුණ භික්ෂුන් වහන්සේලාගේ වස් පවාරණය ඉල් පුර (නොවැම්බර්) පසළොස්වක පොහොය දිනයේ සිදු කෙරේ.රාජ නියෝගයන් මත වස් දින වෙනස් කර ගැනීමට අවසර ඇත. කෙසේ වුණත් වස්කාලය පුරා හාරමාසයක් ක්‍රි්‍රියාත්මක වේ.
එක් අවස්ථාවකදී බිම්බිසාර රජතුමාට වස් සමාදම් වීම පසලොස්වක තිථියට ගැනීමට අවශ්‍ය විය. ඒ බව දූතයකු මගින් බුදුරජාණන් වහන්සේට දන්වන ලදී. “අනුස්සාමි භික්ඛවේ රාජුනං අනුචක්කති තුං” යනුවෙන් බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජතුමාගේ ඉල්ලීම පරිදි (රජුන්ගේ ඉල්ලීමට අනුව) වස් වාසය කිරීමේ දිනයේ යම් වෙනසක් සිදුකර ගැනීමට අවසරය අනුදැන වදාළ සේක. මෙසේ විනය නීතියක් අවස්ථාවෝචිතව පනවන ලද සේක.බුදුසිරිතට අනුව පළමු වස් තුන්මාසය ඉසිපතනයේදී ගෙවන ලදී. බුදුරජාණන් වහන්සේ මුල් වස් කාලය ගෙවනු ලැබුවේ කිසිවකුගේවත් ආරාධනාවකින් නොවේ. එහෙත් වස් ආරාධනාව වස් සමය සමග බැඳුණ සම්ප්‍රදායකි.
වස් ආරාධනය
වර්ෂාව සහිත මේ කාලයේ ආරාමයෙන් පිටත නොයා වැඩ සිටින ලෙසත් මේ තුන්මාසය පුරා චීවර, පිණ්ඩපාත, සේනාසන සහ ගිලානප්‍රත්‍ය උපසම්පදා භික්ෂුන් වහන්සේලාට පිරිනැමීමට පොරොන්දු වෙන බවට දායක සභාවෙන් සිදු කරන ඉල්ලීම “වස් ආරාධනාව”යි. දායක සභාවෙන් ඉල්ලීමක් ලැබුණත් නොලැබුණත් භික්ෂුන් වහන්සේ වස්වැසිය යුතුය. බුදුරජාණන් වහන්සේට වස් ආරාධනා කළ පිරිස් අතර අනේපිඬුසිටුතුමා, විශාඛා සිටු දියණිය, වේරඤ්ඤා බ්‍රාහ්මණයා වේ. බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයේද වස්විසූ බැව් සඳහන්ව තිබේ.
දායක සභාව විසින් වස් ආරාධනය කිරීම දැනට ආරාමයේ වැඩ සිටින භික්ෂුන් වහන්සේලාට මෙන්ම වෙනත් විහාරස්ථානවල වැඩ සිටින භික්ෂුන් වහන්සේලාටත් ආරාධනා කෙරේ.මේ වෙනුවෙන් දැහැත් ගොටුවක් පිළියෙළ කෙරේ. දැහැත් රවුමට තබා එකිනෙකට සම්බන්ධ වන සේ ඉරටුවක් ගසයි. ඒ ගොටුව තුළට පුවක්, එනසල්, හුණු ආදි සුවඳ ද්‍රව්‍ය තබා එක් එක් භික්ෂුන් වහන්සේට එක් එක් දැහැත් ගොටුව බැගින් පිරිනමයි.
දැහැත්ගොටු පූජාව
දැැහැත් ගොටු සමග සිවුරක් පූජා කිරීමද සිදු වේ. ඒ වෙනුවෙන් තනිපට සිවුර, දෙපට සිවුර, අඳනය යන තුන්සිවුරෙන් අභිමත එකක් තෝරා ගැනේ. මෙය “වැසි සලු පූජාව” යනුවෙන් හැඳින්වේ. භික්ෂුන් වහන්සේලා විසින් “ඉමස්මිං විහාරේ ඉමං තෙමාසං වස්සං උපේමි ඉධ වස්සනාං උපෙමි” යනුවෙන් වස් ආරාධනය පිළිගැනේ. ඒ අනුව ඉදිරි වස් කාලය විහාරස්ථානයේ වැඩ සිටීමට එකඟතාව පළකරනු ලැබේ.
වස් කාලයේදි වස් සමාදම්ව සිටින භික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ විහාරස්ථානයෙන් පිටත්ව යන විට “මා මෙම ස්ථානයේ වස් වසන ලද අයෙක්මි, මා අදම පෙරළා පැමිණෙන්නෙමි” යන සිහියෙන් යුතුව පිටත්වීම “සතිකරණය” යි.
වස් කාලයේදී වස් සමාදාන නොවීම වගේම චාරිකාවේ හැසිරීම, දිගු ගමන් යෑම ඇවැතක් ලෙසින් සැලකෙන අතර සතියක් තුළ නැවත නොපැමිණියහොත් ඒ තත්ත්වය “සත්තාහකරණය” යනුවෙන් හැඳින්වේ. ආරාමයෙන් පිටත්ව යන විටත් ඉදින් මට අනතුරක් නොවුණොත් සත් දිනක් ගෙවීමට පෙරාතුව නැවත ආරාමයට පැමිණෙන්නෙමි යැයි “සවේ මේ අන්තරායෝ න භවෙය්‍ය සත්තාභබ්භත්තරේ පුනනිවත්තිස්සාමි පාඨය ගායනා කරනු ලැබේ. මේ අන්දමට සතියක් තුළ නොපැමිණීමට හෙවත්
“සත්තාහකරණය” වෙනුවෙන්ද ලබා දී ඇති අවස්ථාවන් මෙසේය.
- භික්ෂුන් වහන්සේගේ අවශ්‍යතාවක් සඳහා
- භික්ෂුනින් වහන්සේගේ අවශ්‍යතාවක් සඳහා
- සාමණේරයාණන් වහන්සේවරුන්ගේ අවශ්‍යතාවක් සඳහා
- සාමණේර භික්ෂුනියකගේ අවශ්‍යතාවක් සඳහා
- උපාසක මහතුන්ගේ අවශ්‍යතාවක් සඳහා
- උපාසක මාතාවන්ගේ අවශ්‍යතාවක් සඳහා
- භික්ඛ මාතාවකගේ අවශ්‍යතාව සඳහා
ඊට අමතරව මවගේ, පියාගේ, සහෝදර සහෝදරියන්ගේ, ඥාතීන්ගේ සහ දායකයකුගේ අවශ්‍යතාව වෙනුවෙන් ඇරයුම් ඇතුව හෝ නැතුව, ගිලන් වූ භික්ෂුවක් බැලීමට, සසුනේ කලකිරුණ භික්ෂුන් වහන්සේට අවවාද කිරීමට, දින හතක් තුළ ආරාමයෙන් පිටත සිටිය හැක. එහෙත් මේ දින හත ඉක්මවා ගියොත් එය වස් බිඳීමක් සේ සැලකේ. එමෙන්ම භික්ෂුන්වහන්සේ වස් සමාදානය වූ ස්ථානයෙන් බැහැරව වෙනත් ස්ථානයක් තෝරා ගැනීමට අනුමත අවස්ථාවන්ද අටක් වේ.
- සිව්පාවුන්ගෙන් කරදර ඇතිවීම.
- සර්පයන්ගෙන් ඇතිවන උවදුරු.
- සොර සතුරු කරදර ඇතිවීම.
- අමනුෂ්‍ය උවදුරු ඇතිවීම.
- වාසය කරන තන්හි ගින්නෙන් ඇතිවන විපතක්.
- සේනාසනය ගිනිගැනීම.
- වාසය කරන ප්‍රදේශයට ජලයෙන් විපත් ඇතිවීම.
- සෙනසුන ජලයෙන් යට වී විනාශ වීම.
ඉහත කරුණුවලට අමතරව මෙම කරුණු කාරණාවන් නිසාත් තමා වාසය කළ ස්ථානය වෙනුවට වෙනත් ස්ථානයක් තෝරාගැනීමට අවසරය ඇත.
- ආහාර ප්‍රමාණවත්ව නොලැබෙන ලෙසින් ඇතිවන හිඟතාව.
- සප්පාය භෝජන නැතිවීම.
- සප්පාය බෙහෙත් නැතිවීම.
- උපස්ථායකයකු නැතිවීම.
- ස්ත්‍රියකගෙන් අයුතු ඉල්ලීමක් ඇතිවීම.
- වෙසඟනකගෙන් අයුතු ඉල්ලීමක් ඇතිවීම.
- ධන නිධානයක් ඇතිවීම.
- සංඝ භේදයකට මගපෑදීම.
- වෙනත් ආවාසයක සංඝ භේදයක් සංසිඳවීම.
- සිදු වූ සංඝභේදයක් නතර කිරීම,
වස්වැසීමට නුසුදුසු ස්ථාන
- ගස් බෙණ.
- ගස් අතු උඩ.
- එළිමහන්.
- වහළ සහ දොරක් නැති නිවාස.
- මිනීකාමර.
- කුඩයක් යට.
- සැලියක් තුළ.
වස්විසීම වැදගත් විනය කර්මයකි. ශාසනයේ ආයුකාලය රඳා පවතින්නේ විනය මතයි.
පුජ්‍ය ගල්මඩුවේ පියරතන ස්ථවිරයන් වහන්සේ
ශ්‍රීි සංඝබෝධි
විහාරය, මහනුවර
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️