ලන්ඩනයේ කින්ස් කොලීජියේ පර්යේෂකයන් කියයි
ගැහැණු දරුවෙකුගේ ප්‍රථම මල්වර වීමේ පටන් සිදු වෙන මාසික ඔසප් චක්‍රය නැවතීම සහ ගැබ් ගැනීමේ ඇති හැකියාව අවසානවීම ආර්තවහරණය යනුවෙන් හැඳින්වෙනවා. කාන්තාවකගේ වයස අවුරුදු 45 ක් 55 ක් වන විට ඇගේ සිරුරේ ලිංගික හෝර්මෝන හෙවත් ඊස්ට්‍රජන් මටට්ම පහළ බැසීමක් සිදු වෙනවා. මේ තත්ත්වය කාන්තාවකගේ වයස්ගතවීමත් සමග ඇති වෙන සාමාන්‍ය තත්ත්වයක්.
ආර්තවහරණය නිසා ඇති වන අපහසුතාවයන් මොනවාද?
මුලින් සඳහන් කළ අන්දමට හැම කාන්තාවක්ම උක්ත වයස් සීමාවේදී ආර්තවහරණයට පත් වෙන්නේ නැහැ. ඒ තත්ත්වය එකිනෙකාට වෙනස්. ඒ වගේම ආර්තවහරණයට පත් වීමේදී ශාරීරික ලෙසින් විවිධ අපහසුතාවයන් ඇති වෙනවා. මේ තත්ත්වයත් හැම කාන්තාවකටම එක සේ සිදු වෙන්නේ නැහැ. කාන්තාවන් දහ දෙනෙකුගෙන් අට දෙනෙකුට පමණ ආර්තවහරණ රෝග ලක්ෂණ ඇති වෙනවා. එය ඉතාම සාමාන්‍ය තත්ත්වයක්.
ඔසප් චක්‍රය අක්‍රමවත් වීම
- ශරීරය රත් වීම ( Hot flushes)
- යෝනියේ වියළි බව
- රාත්‍රි කාලයේ දහඩිය දැමීම
- නිදාගැනීමේ අපහසුතාවය
- මතකයේ ගැටළු
- කාංසාව
මෙම අපහසුතාවයන් සමගම මානසික ලෙසින්ද විවිධාකාර ගති පැවතුම් පහල වෙනවා. මෙම රෝග ලක්ෂණ සාමාන්‍ය වුණත් එයින් අපහසුතාවයක් ඇති වෙනවා නම් ප්‍රසව සහ නාරිවේද පිලිබඳ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම වැදගත්. කලබල ගතිය , නොරිස්සුම් ස්වභාවය, මානසික ඒකාග්‍රතාවය නොමැති විම සමග ඇතිවන මානසික අවපිඩනය වැනි තත්ත්වයන් මේ අතර ප්‍රධානයි.
ආර්තවහරනය සමග දරුවන් ලැබිමට තිබෙන හැකියාව නැති වුණත් මෙම ශාරිරික අපහසුතාවයන්ගෙන් මිදිමට බොහෝ දෙනා හෝර්මෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර ලබා ගන්නවා. 1950 දශකයේ පටන් හෝර්මෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර ආරම්භ වී තිබෙනවා.
ආර්තවහරණය වෙනුවෙන් ලබා දෙන ප්‍රතිකාර
ආර්තවහරණයට පත් කාන්තාවන් වෙනුවෙන් ඊස්ට්‍රජන් ප්‍රතිස්ථාපන පෙති, ජෙල් සහ හෝර්මෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර ලබා දෙනවා. නමුත් හෝර්මෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර මේ වෙනුවෙන් එකම විසඳුමක් නොවන බව මහා බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව විසින් සඳහන් කරනවා.
නමුත් කාන්තාවන්ගේ ආර්තවහරණය වෙනුවෙන් වූ විකල්ප විසඳුමක් ලෙස හෝර්මෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර පිළිබඳව ලබාදෙන ප්‍රවර්ධනය නිසා අද බොහෝ කාන්තාවන් මේ සඳහා යොමු වී ඇතැයි එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවා අධ්යක්ෂ සහ ආර්තවහරණය පිලිබඳ උපදේශන විශේෂඥ වෛද්‍ය සූ මෑන් සඳහන් කරනවා.
මේ නිසාම අද වන විට මහා බ්‍රිතාන්‍යයේ කාන්තාවන් අතරින් විශාල ප්‍රතිශතයක් hormone replacement therapy (HRT) වෙනුවෙන් යොමු වී සිටින බවත්, ඒ නිසාම අධික මිළක් දරමින් මෙම ප්‍රතිකාර ලබා ගැනීමට ඔවුන් යොමු වී සිටින බවත් පර්යේෂකයන් විසින් සඳහන් කරනවා.
ඒ නිසාම ඖෂධ පිලිබඳවත් හිගයක් ඇති වී තිබෙන අතර දියුණු රටවල්වල කාන්තාවන් ආර්තවහරණය දිගුකාලීන අපහසුතාවයක් වගේම සෞඛ්‍ය ගැටළුවක් ලෙසින් සිතන්නට යොමු වී සිටිනවා. නමුත් සැබැවින්ම මේ තත්ත්වය සෞඛ්‍ය ගැටළුවක් නොවන බව ලන්ඩන්යේ කින්ස් කොලීජියේ පර්යේෂකයන් විසින් පෙන්වාදී තිබෙනවා.
ඇතැම් කාන්තාවන් ආර්තවහරණය යනු ඉතාම කරදරකාරී තත්ත්වයක් ලෙසින් සිතමින් හෝර්මෝන ප්‍රතිකාර වෙත යොමු වුණත් එය අත්‍යවශ්‍ය ප්‍රතිකාරයක් නොවන බව මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ලිඩියා බ්‍රවුන් සඳහන් කරනවා. හෝර්මෝන ප්‍රතිස්තාපන Hormone replacement ප්‍රතිකාර ක්‍රම වලදි ඇති වෙන අතුරු ආබාධ නැතුවාම නෙවෙයි.
වමනය, ඔක්කාරය, හිසරදය, නොරිස්සුම්බව, ආහාර ජිරණ අපහසුතාවයන් සහ පියයුරු ඉදිමිම මේ අතරට ඇතුළත් වෙනවා. ඒ වගේම මෙම ප්‍රතිකාර ලබාගැනිමට අකැප හෙවත් නුසුදුසු පිරිසක්ද සිටිනවා.
පවුල් ඉතිහාසයේ පියයුරු සහ ගර්භාෂ පිළිකා රෝගින් සිටියේ නම් රුධිර කැටිති විමේ සංකුලතාවයන් අක්මා රෝග වගේම යෝනි මාර්ගයේ රුධිර වහනයන් ගැන වාර්තා වේ නම් වගේම ආඝාත තත්ත්වයේ රෝගින්ට මේ ප්‍රතිකාර ලබා දෙන්නේ නැහැ.
ඒත් එක්කම හෝර්මෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර Hormone replacement මගින් ප්‍රතිඵල ලැබිමට නම් ඔබේ ජිවන රටාවේ වෙනස්කම් සිදු වෙන්නත් අවශ්‍යයි. දුම්බිමෙන් තොරවිම මද්‍යසාර කැෆේන් පාන වර්ගවලින් ඉවත් විම යෝග වැනි ව්‍යායාම එලවලු පලතුරු ආහාරයට ගැනිම සහ ධනාත්මක චින්තනය ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මෙම ප්‍රතිකාර ලබා ගැනිමේදි වෛද්‍ය උපදෙස් සහ පිලිවෙත් අනුගමනය කිරිම ඉතාම වැදගත් වෙනවා.
ඒ වගේම ආර්තවහරණයෙන් පසුව ඇතිවන සංකුලතාවයන්ගෙන් ආරක්ෂා වීමට නම් කාන්තාවන් තුළ මේ ගැන පූර්ව දැණුවත් වීමක් තිබීම අවශ්‍යයි. එය ඇයට පමණක් නොව පවුලේ සියලු දෙනා සම්බන්ධයෙන්ම ඉතා වැදගත්. වෙනදා නොමැති ලෙසින් මවගේ, බිරිඳගේ වෙනස ගැන පවුලේ උදවියටත් දැණුවත් වීමක් තිබීම අවශ්‍යයි. ඒ නිසා සමාජය තුළ කාන්තාවන්ගේ ආර්තවහරණය පිළිබඳව වූ දැණුවත් බව ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත්.
- සමබල සහ පෝෂණීය ආහාර රටාව
- ව්‍යායාම – යෝග වැනි
- භාවනා කිරීම
- සමාජ සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීම
වැනි ජීවන රටාවේ ඇති කර ගන්නා වෙනස්කම් මගින්ද ආර්තවහරණයෙන් පසුව ඇතිවන අපහසුතාවයන්ගෙන් දුරස්ථ වී සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමට හැකියාවක් ලැබෙනවා.
(Mail on line)
පුන්‍යා චාන්දනී ද සිල්වා