බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්දමට ‘අනන්ථ ජනනෝ කෝධෝ’ තරහ එහෙම නැත්නම් කේන්තිය කියන්නේ කෙලෙස් ධර්මයක්. අළු යට ගිනි පුපුර වගේ තිබිලා හේතු සාධක ඇතිවුණාම ඇවිලෙන සුළු ක්ලේශයක්
සමහර විට හේතුව සාධාරණ වෙන්න පුළුවන්…
සමාජයේ අන්තර් පුද්ගල සම්බන්ධතාවන් සමග ජීවත් වෙන අපට විවිධ පුද්ගලයන් සමග ආශ්‍රය ගොඩ නගාගැනීමට සිදුවනවා. ජීවිතයේ අහඹු ලෙස ඇතිවන හැලහැප්පීම් තිබෙනවා. මේ වගේ අවස්ථාවන්හිදී පෘථග්ජන පුද්ගලයන් විදිහට තරහ යෑම ඇතිවනවා. ඔබට තරහ යෑමට බලපාන හේතුව බොහෝ විට සාධාරණ විය හැකියි. එහෙත් එය නපුරක්. ඔබේ ජීවිතයේ දියුණුව, මානසික සුවතාව බිඳදමන්නට තරම් ප්‍රබල නොපෙනෙන බලවේගයක්.
සියදිවි හානි කරගන්නේ ඇයි?
විවිධ හේතු නිසා සියදිවි හානිකර ගැනීම් ගැන අපට වාර්තා වනවා. ඒ පිළිබඳව පසු විපරම් කිරීමේදී පැහැදිලිව පෙනෙන හේතු තිබෙනවා. මේ අයගෙන් බොහෝ දෙනෙක් ජීවිතය ගැන කලකිරීම, පසුතැවීම නිසා සියදිවි නසාගැනීමට තීන්දු කළත් ඒ හැම හේතුවක් පිටුපසම ඇත්තේ තවත් පුද්ගලයකු ගැන මුල්කර ගත් තරහක්. ජංගම දුරකථනයක් නොදීම නිසා දරුවකු සියදිවි නසා ගත්තොත් එතැන තියෙන්නේ මව්පියන් සමග සිතේ ඇතිවුණ තරහක්.
ප්‍රේම සම්බන්ධතාවක් බිඳවැටීම නිසා සියදිවි හානි කරගැනීම පිටුපසින් තිබෙන්නේ පෙම්වතිය, පෙම්වතා තමා මගහැරීම නිසා ඒ අය ගැන ඇතිවුණ තරහක්. තරහ තමන්ගේ පැත්තෙන් මොන තරම් සාධාරණ වුණත් එයින් ඔබ මෙලොව, පරලොව වශයෙන් වගේම සංසාරික වශයෙනුත් පිරිහීමට පත්වනවා..
අද වෛද්‍ය විද්‍යාත්මකව පවා තරහ නිසා පුද්ගලයන් කායික වගේම මානසික වශයෙන් රෝගීන් බවට පත්වන බැව් සනාථ වී තිබෙනවා. තරහ ඇති වූ විට නිකුත් කරන අහිතකර හෝර්මෝන නිසා බොහෝ කායික සහ මානසික ආබාධ ඇතිවන බැව් විද්‍යාත්මක අධ්‍යයනයන් මගින් පවා තහවුරු වී තිබෙනවා.
පටිගානුස්සය ධර්මයක්…
මට තරහ යන්නේ නැහැ, යම් පුද්ගලයකු එහෙම කියනවා ඇති. ඒ වගේම හිතනවා ඇති සමහර විට ඔබ ඇසුරු කරන අය අතරත් අනේ එයාට තරහ යන්නේ නැහැ හරිම නිවුණ කෙනෙක් යැයි ඔබත් හඳුනන චරිත ඇති. නමුත් තරහ ඇතිවීමට තරාතිරමක් නැහැ. එය දැන උගත් අයකුට පමණක් නොව, ධර්මයෙන් ශික්ෂණය ලත් පුද්ගලයකුට වුණත් ඇතිවිය හැකියි. බුදුරජාණන් වහන්සේ මේ තත්ත්වය පටිගානුස්සය ධර්මයක් ලෙස දේශනා කළා. තරහ හෝ ආවේග ඇතිවීමට හේතු සාධක නැති තෙක් තරහ නොගියත් ඒ වෙනුවෙන් අවශ්‍ය හේතු සාධක ලද සැනින් ආවේග ඇතිවන්න පුළුවන්.
වේදේහිකා ගෘහපතිනිය…
අතීතයේ වේදේහිකා යැයි ගෘහපතිනියක් වාසය කළා. ඇය බොහොම නිවුණ චරිතයක් විදිහට ප්‍රසිද්ධිය ලැබුවා. ඇයට ‘කාලි’ නමින් දාසියක් සිටියා. දවසක් මේ දාසිය මෙහෙම හිතනවා.මගේ ස්වාමි දියණියට තරහ යන්නේ නැහැ කියලා බොහොම ප්‍රසිද්ධයි. නමුත් මම සියලු මෙහෙවර කරන නිසා ඇයට තරහගැනීමට හේතුවක් නැහැ. ඒ නිසා තරහගැනීමට හේතු ඇතිවුණොත් ඇගේ හැසිරීම මට බලාගන්න පුළුවන් යැයි හිතුවා.
කාලි දාසිය වෙනදා වගේ උදෙන් අවදි වී නිවසේ වැඩ කටයුතු නොකොට නිදාගත්තා. වේදේහිකා ඇවිත් කාල නැගිටින්නේ නැතිද? විමසා රවා බැලුවා. දෙවන දිනයේදීත් කාලි නිදාගත්තා. එදා ඇය ඇවිත් කාලිට බැන වැදුණා. තුන්වැනි දිනයේදී අවදි නොවී සිටි කාලි දුටු විට වේදේහිකා ඇයට පහර දෙන්න පටන් ගත්තා. ඇගේ තරහව පාලනයෙන් ගිලිහී ගියා. හිතේ ඇතිවුණ තරහ වචනයට නැගුනා. එතැනින් නැවතුනේ නැහැ. අතින් පයින් පහර දුන්නා.
තරහ පාලනය කළ යුත්තේ මේ නිසයි…
තරහ ඇතිවුණාම අපි පාලනයෙන් ගිලිහෙනවා. වඩාත්ම අහිතකර තැන එතැනයි. අද බොහෝ වැරදිකරුවන් කියන්නේ මට මාව පාලනය කරගන්න බැරිවුණා කියලයි. සමහර අවස්ථාවල මිනීමරුවන් පවා තමන්ගේ පාපොච්චාරණයේදී ඒ විදිහට කියන අවස්ථා තිබෙනවා.
බුදුරජාණන් වහ්නසේ තරහ පාලනය කරගැනීම වෙනුවෙන් අනුගමනය කළ යුතු පිළිවෙත් පහක් ගැන ‘ආඝාත පටවින්යෙය ’ සූත්‍රයේදී දේශනා කරනවා. මෛත්‍රිය-අපි හැම දෙනා කෙරෙහිම මෛත්‍රිය පතුරනවා නම් ජීවිතයේදී ඇතිවුන ප්රශ්නවලදී ආවේගශීලී නොවී සිටින්නට පුළුවන්.
කරුණාව- තවත් පුද්ගලයකු ගැන සංවේදීව සිතන විටත් අපේ ආවේග පාලනය කරගැනීම පහසුයි.
උපේක්ෂාව– ජීවිතයේදී අප වෙත එල්ල වන විවිධ ප්‍රශ්න, මතගැටුම් ගැන උපේක්ෂාවෙන් සිතන විටත් අනවශ්‍ය අන්දමින් පුද්ගලයන් අතර ගැටුම් ඇතිවන්නේ නැහැ.
අසති අමනසිකාරය – යම් හේතුවක් නිසා අපට තරහ ගියොත් ඒ ගැන නැවත නැවත සිතමින් තරහ එක්රැස් කිරීමෙන් වැළකීමට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කර තිබෙනවා.
ඒ වගේම යම් පුද්ගලයකු විසින් ක්‍රෝධයෙන් ඔබට කටයුතු කරන විට ඒ වෙනුවෙන් ඔබ ආවේගශීලී නොවන්න. මේ පුද්ගලයා ක්‍රෝධ නිසා ඇති කරගත් පාප සිතට කර්මානුරූපව දඬුවම් ලැබෙනු ඇතැයි සිතන්න.
නමුත් බොහෝ අවස්ථාවලදී මේ සිතුවිල්ල වෛරී චේතනාවෙන් කිරීමටත් ඉඩ තිබෙනවා. එය වංචනික ධර්මයක් ලෙසින් සිදුවන්නත් පුළුවන්. ඔය දෙයට විපාක අපේ ඇස් ඉදිරිපිට ලැබෙනවා යැයි සමහර විට ඔබ කියනු ඇති.
එතැන ඇත්තේ වෛරයක්. අද මනෝවිද්‍යාඥයන් පවා මේ ගැන කතාකරන වාතාවරණයක් නිර්මාණය වෙලා. දරුවෙකුට වුණත් දඬුවම් කරන විට තරහ ආවේග පාලනය කරගන්න.
ඔබේ සිතට තරහ පාලනය කරගැනීමට නොහැකි නම් එකේ සිට දහයට ගනින්න. ඒ ඔවුන්ගේ උපදෙසයි.එබැවින් ඔබට තරහ සිතක් ඇති වූ විට ඒ සැනින් ප්‍රතිචාර දක්වන්න එපා. කාලයට ඉඩදෙන්න. ඉවසීම පුරුදු කරන්න.
අපේ ජනවහරේ ‘ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය’ යැයි ඔබ අසා ඇති. ඉවසන්න. තරහ ආවේග පාලනය කරන්න. එය ඔබේ දෙලොව දියුණුවටම හේතු වනවා.
රාජකීය පණ්ඩිත
පූජ්‍ය කන්දේගෙදර සෝභිත ස්වාමින්වහන්සේ
ජයසුමනාරාම පුරාණ විහාරය,
රත්මලාන
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️