පොඩි ළමයි හැමෝම සෙල්ලම් බඩුවලට ආසයි. ගෑණු ළමයි බෝනික්කන්ට, පිරිමි ළමයි සෙල්ලම් කාර්වලට. ඒත් චූටි කාලෙ ඉදන් රූකඩ සෙල්ලම් බඩු විදියට එකතු කරපු රූකඩ එක්ක ළමා කාලය ගෙවුණු අපූරු තරුණයෙක් අපට හමුවුණා. ඒ ගැනයි මේ කතාව.
මොකක්ද මේ රූකඩ කලාව කියන්නේ?
ආදි කාලේ මිනිස්සු හිතට එන අදහස් අනික් අයට කිව්වේ කතන්දර විදියට. මුහුණේ ඉරියව් අතින් පයින් කරන ඉඟිවලින් තමයි කතන්දරය ගැන අවබෝධය, විශ්වාසය ඇති කළේ. පස්සෙ කාලේ ප්‍රාසාංගිකව ඉදිරිපත් කරන්න සංගීතය, නර්තනය, වර්ණ, වෙස්මුහුණු වගේ දේවල් යොදාගත්තා. කතන්දරයේ චරිත ඉස්මතු කරන්න කරපු නව අත්හදා බැලීම් නිසා නාට්‍යමය ලක්ෂණ එකතු වුණා.
මේ කතන්දර කීමේ කලාව දියුණුවීමේ ප්‍රතිඵලයක් තමයි රූකඩ කලාව. සත්ත්ව රූප, මානව රූප, මෙවලම් භාවිත කරලා නාට්‍යමය ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම රූකඩ කලාවේදී සිදු වෙනවා. රූකඩ කලාව ලංකාවේ ප්‍රචලිත වෙන්නේ මීට අවුරුදු තුන්සීයකට විතර කළින්. සාම්ප්‍රදායික ජනකලා උරුමයන් අතර කැපී පෙනෙන අනන්‍යතාවක් තියෙන ගැමි සන්නිවේදන මාධ්‍යයක් විදියට රූකඩ කලාව හඳුන්වන්න පුළුවන්.
රුකඩත් එක්ක ළබැදියාවක් තියෙන සුපුන් කියන්නේ කවුද?
මම සුපුන් චතුරංග ගාමිණී. මගේ වයස 32 යි. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා කළමණාකරණය පිළිබඳ උපාදිධාරියෙක්. මේ වෙද්දී විදේශ ආයතනයක පුද්ගලික අංශයේ රැකියාවක් කරනවා. ඒ අතර රූකඩ කලාවට තියෙන ආසාව කැමත්ත නිසාම ලංකාවේ තියෙන එකම නූල් රූකඩ කෞතුකාගරයත් මම පවත්වගෙන යනවා.
කෞතුකාගාරයේ තියෙන විශේෂත්වය මොකක්ද?
පාරම්පරික රූකඩ සඳහාම වෙන්වුණු ලංකාවේ තියෙන එකම නුල් රූකඩ කෞතුකාගරය මේක තමයි. 2017 මාර්තු 21 වෙනිදාට තමයි ලෝක රූකඩ දිනය තියෙන්නෙ. ඒ දිනයට සමගාමීව කෞතුකාගරය ආරම්භ කළා.
මගෙ ලොකු තාත්තගේ මැදිහත් වීමෙන් අම්බලන්තොට රූකඩ කෞතුකාගරයක් මීට කළින් ආරම්භ කළත් සුනාමිය නිසා කෞතුකාගාරයට හානි වුණා. ඒ නිසා දැනට රූකඩවලටම විශේෂිත කෞතුකාගාරයක් විදිහට ලංකාවටම තියෙන්නේ මේ බලපිටියෙ කෞතුකාගාරය විතරයි.
සුපුන් එන්නෙත් රූකඩ පරම්පරාවකින් නේද?
ඔව්. මම පැවත එන්නේ රූකඩ පරම්පරාවකින්. ගංගාචාරි පොඩිසිරිනා ගුරුන්නාන්සෙගෙන් තමයි මේ රූකඩ කලාව ආරම්භ වෙන්නේ. මම ඒ පරපුරෙ හතරවෙනි පරපුර තමයි නියෝජනය කරන්නේ.
රූකඩ කලාවත් එක්ක කොයි තරම් කාලයක් කටයුතු කරනවද?
මම අවුරුදු හතේ ඉඳන් රූකඩ සංදර්ශනවලට තාත්ත එක්ක ගියා. පොඩි කාලේ ඉඳන් රූකඩ එක්කමයි හිටියේ. දැන් කාලේ ළමයි වගේ නෙවෙයි. මගේ සෙල්ලම් බඩු වුණේ රූකඩ, වෙස්මූණු. ඒ ආභාශයත් එක්ක අද වෙනකොට අවුරුදු විසිපහක් විතර රූකඩ එක්ක ලොකු ගමනක් මම ඇවිත් තියෙනවා.
මේ වෙනකොට රූකඩ කලාවට අත්වෙලා තියෙන ඉරණම මොකක්ද?
ඈත අතීතේ මිනිස්සුන්ට රසවින්දන මාධ්‍ය තිබ්බේ අඩුවෙන්. රූපවාහිනිය, ගුවන්විදුලිය වගේ මාධ්‍ය එන්න කලින් මිනිස්සුන්ට රූකඩ එක්ක ලොකු ළබැදියාවක් තිබ්බා. ඒත් විද්‍යුත් මාධ්‍ය නව මාධ්‍ය මිනිස්සු අතරට ආවම රූකඩ කලාවෙන් මිනිස්සු ඈත් වෙන්න පටන් ගත්තා.
නමුත් මේ මෑතකදි ඉඳන් මේ තත්ත්වේ ටිකක් වෙනස් වෙලා තියෙනවා. මිනිස්සු දේශීය දේවල් අගයන්න පුරුදු වෙලා. අපේ දේ රැකගන්න හැඟීමක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා රූකඩ කලාව නැවතත් මිනිස්සු අතරට යන්න පටන් අරගෙන තියෙනවා.
මොන වගේ රූකඩද කෞතුකාගාරයේ තියෙන්නේ?
රූකඩ වර්ග කිහිපයක් තියෙනවා. නූල් රුකඩ, අත් රූකඩ, සෙවණැලි රූකඩ, රෙදි රූකඩ විදියට ඒවා හඳුන්වන්න පුළුවන්.ලංකාවේ බහුලවම තියෙන්නේ නූල් රූකඩ විශේෂය. මේක පාරම්පරික කෞතුකාගරයක් නිසා නූල් රූකඩ තමයි තියෙන්නේ.
සාමාන්‍යයෙන් දැනට කෞතුකාගාරයේ අවුරුදු එකසිය පනහක් විතර පරණ රූකඩ තියෙනවා. මේ රූකඩවලට අමතරව නව සංකල්ප නව කතාවලට හදපු අලුත් රූකඩත් තියෙනවා.
නව සංකල්පයන්ට හදපු රූකඩ කියන්නේ මොනවද?
සාම්ප්‍රදායික රූකඩවලදී ජාතක කතාවක්, ආගමික කතාවක් තමයි නිරූපණය කරන්නේ. රජවරු,ඇමතිවරු, හාමුදුරුවරු වගේ ආගමික කතාවල ඉන්න සාම්ප්‍රදායික චරිත වෙනුවට අදට ගැළපෙන චරිතවලට හදපු රූකඩ කෞතුකාගාරේ තියෙනවා.
අලුත් පිටපත්වලට කාලීන සිදුවීම් ඇසුරු කරගෙන තමයි මේ චරිත නිර්මාණය කරන්නේ. අලුත් රූකඩවලට වෙන් වුණ කොටසක් කෞතුකාගාරයේ තියෙනවා.රූකඩ කලාව මිනිස්සුන්ට අලුත් විදියෙන් හඳුන්වල දෙන්න ඕන වුණ නිසා මේ වගේ දෙයක් කළා.
තවමත් රූකඩ සංදර්ශන තියෙනවද?
සාම්ප්‍රදායිකව රූකඩ සංදර්ශනයක් තියෙන්නේ සමූහයක් විදියට. මගේ තාත්ත, ලොකු තාත්ත තවත් පිරිස් එකතු කරගෙන මේ සංදර්ශන පවත්වනවා. වෙසක්, පොසොන්, ඇසළ වගේ පෝය දිනවලට රූකඩ සංදර්ශන තියනවා. ඊට අමතරව විවිධ ආයතනවලට, ඉස්කෝලවලට ගිහින් සංදර්ශන අපි කරනවා.
රූකඩ සංදර්ශනවලට යද්දී සිද්ද වුණ අමතක නොවන සිදුවීම් තියෙනවද?
වෙසක්, පොසොන් කාලෙට රූකඩ සංදර්ශන බලන්න මිනිස්සු ගොඩක් එනවා. ඒ සංදර්ශන තියන්නේ එළිමහනේ. වෙසක් පෝයට කොළඹ ලේක් හවුස් එක ගාව සංදර්ශනයක් තිබුණා.
එදා හොදටම වැස්ස. තදටම වැස්ස නිසා රූකඩ ටික තියන්න හදල තිබුණ ස්ටේජ් එකේ වහළ ගැළවිලා ලේක් හවුස් එක අයිනේ තියන බේර වැවට ගියා. රූකඩ ටික වැස්සට අහුවෙන්නෙ නැති වෙන්න ආරක්ෂා කරගන්න ලොකු සටනක් දුන්නා. ඒ වගේම තද සුළගයි වැස්සයි නිසා සංදර්ශනේ කරන්න ආපු අපිත් එදා බය වෙලා හිටියේ.
කෞතුකාගාරයට ලැබෙන සංචාරක ආකර්ෂණය කොහොමද?
කෞතුකාගාරයට දේශීය වගේම විදේශීය නරඹන්නන් එනවා. නරඹන්න එන අයගෙන් මුදල් අය කිරීමක් සිදුකරනවා. සජීවි සංදර්ශන පවා පැමිණෙන අයට බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් 100 දෙනෙක්ට වගේ ඉන්න පුළුවන් ඉඩක් කෞතුකාගාරයේ තියෙනවා. විදේශිකයන්ට අපේ සාම්ප්‍රදායික කලාව අලුත් නිස ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාර තියෙනවා.
සුපුන්ට ආපු අභියෝග ගැන කිව්වොත්.
සාම්ප්‍රදායික රූකඩ කලාව මිනිස්සුන්ගෙන් ඈත් වෙන යුගයක් අද තියෙන්නේ. ඒ නිසා රූකඩ කලාව මිනිස්සු අතරට ගෙනියන්න ඕන. දේශීය දේ අගය කරන්න මිනිස්සුන්ගේහිතේ හැඟීමක් ඇති කරන්න ඕන.
ඒක ලොකු අභියෝගයක්.ඒ වගේම කෞතුකාගාරය පවත්වගෙන යන්න වගකිව යුතු බලධාරීන්ගේ සහයෝයක් ලැබෙන්නෙ නෑ. මූල්‍යම අභියෝගත් එනවා. අභියෝග ආවත් කෞතුකාගාරය පවත්වගෙන යන්න ලොකු සටනක් දෙන එක නම් නතර කරන්නේ නැහැ.
සුපුන් කොහොමද රූකඩ කලාව මිනිස්සු අතරට ගෙනියන්නේ?
සමාජ මාධ්‍යවලින් තමයි අපි මේක මිනිස්සු අතරට ගෙනියන්නේ.FB Page,website එක්ක එකතු වෙලා මේ ගැන දැනුවත් කරනවා. අපේ ලයිව් සංදර්ශන බලන්නත් හැකියාව තියෙනවා.
කෞතුකාගරයට එන්නේ කොහොමද?
කෞතුකාගරය තියෙන්නේ ගාලු පාරේ අම්බලන්ගොඩ හා බලපිටිය කියන නගර දෙක අතරෙ. ගාලු පාරෙ බලපිටිය මූලික රෝහල ළග ඉදන් මීටර් 100 විතර ඉස්සරහට ආවම කෞතුකාගරයට එන්න පුළුවන්.
පවනි දිලේකා ✍️