මහපොළොවේ ජීවත්වෙන්න ඕන මිනිස්සු විතරක් නෙවෙයි. සතුන්ටත් මේ මහපොළොව අයිතියි. නිදහසේ හුස්ම ගන්න සත්තුන්ට අයිතියක් තියෙනවා. මිනිසුන්ට හානිකරයි කියල කිසිම සතෙක්ට හිංසා කරන්න අපට අයිතියක් නෑ. මහපොළොව සතුන්ගෙත් නිවහන. මිනිස්සුනගේ අයිතීන් ආරක්ෂා කරන්න ගොඩක් අය හිටියත් අහිංසක සත්තු වෙනුවෙන් ඉන්නේ කිහිප දෙනයි. අද කතාකරන්නේ ඒ වගේ සතුන්ට නිදහසේ හුස්ම ගන්න උදව් කරන සත්ත්ව ආරක්ෂකයෙක් ගැනයි.
සම්පත් කියන්නේ කවුද?
මම රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා උපාධිධාරියෙක්. නමින් සම්පත් තුෂාර චන්ද්‍රසිරි. ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගණයේ ප්‍රදේශයේ.
ස්නේක් ගාඩියන් යූටියුබ් චැනල් එක කරන්න හිතුවෙ ඇයි?
මගේ බිරිද යුධ හමුදා නිළධාරිනියක් නිසා රාජකාරී කටයුතු නිවසින් බැහැරව කරන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ දරුවන්ගේ වැඩකටයුතු කරේ මම. ඒ කාලේ ඇතුළත මම ඉඩකඩ තියන විදියට අසරණ සත්තුන්ට උපකාර කළා. වැඩියෙන්ම සර්පයන් තමයි බේරගත්තේ. එහෙම උදව් කරන අවස්ථාවල වීඩියෝ යූ ටියුබ් එකට අප්ලෝඩ් කළා. අද වෙනකොට චැනල් එක පටන් අරගෙන අවුරුදු හතරක් වෙනවා.
සර්පයන් ගැන මිනිස්සු කියන හැම කතාවක්ම ඇත්තද?
මිනිස්සු අනවබෝධයෙන් කටයුතු කරන නිසා සර්පයන් ගැන මිත්‍යාවන් අද වෙනකොට වේගෙන් පැතිරෙනවා. ඒත් ඒ දේවල් ඇත්ත නෙවෙයි. මිහිදු හාමුදුරුවන් ලංකාවට වැඩම කරපු කාලේ ගස්වලට වැදීම ,නාග ඇදහිලි වගේ විවිධාකාර වන්දනා ක්‍රම තිබ්බා. බුදුදහම හඳුන්වා දීමත් සමඟ මේ ඇදහිලි ක්‍රමයෙන් ඉවත් වුණා.
ඒත් නාගයන් හා බැදි ඇදහිලි ක්‍රම අදටත් සමහර මිනිස්සුන්ගේ හිතෙන් අයින්වෙලා නෑ. සත්ත්ව ලෝකයේ වැඩියෙන්ම මිත්‍යා මත බැදිල තියෙන්නේ සර්පයන් එක්ක. උදාහරණ විදිහට නාග මාණික්‍ය නාගයන් සමඟ බැදිල තියෙන එක මිත්‍යා මතයක්. අසත්පුරුෂ මිනිස්සුන්ට හැපින්නක් වගේ කියල කියනවා. හැපින්න කියල අදහස් වෙන්නේ නයාගේ ගැහැනු සත්ත්වයාට.
මිනිස්සු හිතන්නේ හැපින්න කියන්නේ වෛර බඳින පන්න පන්න පහර දෙන සතෙක් කියලා. ඒත් ඇත්තටම එහෙම නැහැ. නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා කියල කියන්නෙත් මේ මතයෙන්ම තමයි. ජනවහරෙන් ආපු දේ ඉස්සරහට අරන් යන නිසා මිත්‍යාවත් මිනිස්සු එක්ක බැදිල තියෙනවා.
සම්පත් සර්පයන් ගැන ඉගෙනගන්නෙ කොච්චර කාලෙක ඉදන්ද?
මම පොඩි කාලේ අවුරුදු දහය වගේ ඉදන්ම සර්පයන් ගැන දන්නවා. ඉස්කෝලෙට යද්දි සර්පයන්ව සාක්කුවේ දාගෙන ගිහින් යාළුවන්ට පෙන්නනවා.
සර්පයන් බේරගනිද්දී සම්පත්ට අනතුරු වුණු අවස්ථා තියෙනවද?
අනතුරු සිද්ධවෙන්නේ සර්පයන් ගයක් නැතිව කටයුතු කරනකොට. විශේෂයෙන් විෂ සත්තු එක්ක ඉදිද්දී ප්‍රවේශම් වෙන්න ඕන. දෂ්ටනයක් වුණොත් කටයුතු කරන්නෙ කොහොමද? දෂ්ටනයක් නොවී වැඩ කරන විදිය ගැන දැනගෙන ඉන්න ඕන. අවබෝධයෙන් වැඩ කරන නිසා විෂ සහිත සර්පයෙක්ගෙ දෂ්ටනය වීමකට ලක්වෙලා නැහැ.
විෂ නැති සර්පයන්ගෙන් වෙන්නේ සපාකෑමක් පමණයි. ඔවුන්ගෙදත්වලින් සපාකද්දී බැක්ටීරියා ආසාදනයක් වෙලා තුවාලයක් වෙන්න පුළුවන්. විෂ රහිත සර්පයන්ගේ සපාකෑම්වලට ලක්වෙලා තියෙනවා. ඒත් තුවාලවලින් ලොකු බලපෑමක් නැහැ.මුලදී නම් මගේ බිරිඳ සර්පයන් බේරගන්නවට කැමති වුණේ නැහැ.
ඒත් දැන්නම් පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. දරුවො පාසල් යන නිසා සත්තු බේරගනිද්දී උදේ කාලයේ වීඩීයෝ ගන්නේ මගේ බිරිඳ. හවස් වරුවේ ලොකු පුතා වීඩීයෝ කරනවා. ඒ වගේම පෙර පාසල් යන චූටි පුතාගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. එයා සෙල්ලම් බඩු විදියට තියන් ඉන්නෙත් සර්පයෝ.
කොච්චර දුරක් යනවද සත්තුන්ව බේරගන්න?
මම රාජාංගණය අවට ගම්වලට යනවා. බයික් එකෙන් යන නිසා දුර ප්‍රදේශවලට යන්නෙ නැහැ. පැයක් ඇතුළත යන්න පුළුවන් තැනකට ගිහින් සත්තු බේරගන්නවා. සමහර වෙලාවට සතෙක් ළිදකට වගේ වැටිල නම් ඒ සතාව බේරගන්න වෙන විකල්පයක් නැත්නම් කිලෝමීටර් (100) වගේ දුරත් යන අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවල දුර බලන්නෙ නෑ.
මේ සත්තු බේරගන්න මුදල් අය කරනවද?
නැහැ. කිසිම මුදල් ගන්නෙ නැහැ.
ගෙදර පහසුකම් තියෙනවද සත්තුන්ට උදව් කරන්න?
මම ඉන්න ගෙදර පොඩි ඉඩකඩක් සත්තු වෙනුවෙන් වෙන් කරල තියෙනවා. සර්පයන්ට විතරක් නෙවෙයි මම ප්‍රතිකාර කරන්නේ. අවට ගෙවල්වල බල්ලෝ, පූසෝ, හරක් ලෙඩ වුණාම ඒ සත්තුන්ටත් ප්‍රතිකාර කරනවා. සල්ලි ගන්නෙ නැතිව ඉක්මනට ප්‍රතිකාර කරන නිසා ගමේ මිනිස්සු සත්තු අරන් එනවා. ඒ සත්තුන්ට අවශ්‍ය බෙහෙත් ගෙදර තියෙනවා.
සර්පයන්ට අමතරව දැනට ගෙදර ඉන්නේ මොන වගේ සත්තුද?
උගුඩුවෝ, දඩුලේන්නු, පොඩි ලේන්නු, කලවැද්දෝ, ගිරව්, මයිනො වගේ සත්තු ඉන්නවා.
මේ සත්තුන්ව හදාගන්න බාර දෙනවද?
රතු දත්ත පොතට වැටෙන සත්තු මං ගාව තියාගන්නෙ නැහැ. ඒ සත්තු වනජීවී රෝහලට ගෙනිහින් දෙනවා. සමහර වෙලාවට ගස්වලින් ලේන් පැටව් ගිරව් පැටව් වැටෙනවා. ඒ වගේ සත්තු මට ගෙනල්ල දෙනවා. ඒ සත්තුන්ට කන්න බොන්න දිලා සාමාන්‍ය පරිසරයට හුරු කරනවා. හිරකරලා තියාන්නෙ නැහැ.
සමහර වෙලාවට ලේන්නු හීලෑ වෙනවා. ඒ වගේ වෙලාවලදී ආදරෙන් බලාගන්න කෙනෙක්ට හදාගන්න දෙනවා. තුවාල වුණ සර්පයන්ට ප්‍රතිකාර කිරීමෙන් පස්සේ සෑම පුරපසළොස්වක දිනයකම විල්පත්තු වනෝද්‍යානයට ගිහින් මුදාහරිනවා. සර්පයන්ව නම් කිසිම ව්දියකින් වෙනත් කෙනෙකුට දෙන්නෙ නැහැ.
සර්පයන්ට දෙන්නේ මොන වගේ ආහාරද?
වැඩිපුරම දෙන්නේ බිත්තර. ඊට අමතරව කුකුල්ලු හදන ෆාම්වල සත්තු මැරුණම මට ගෙනල්ලා දෙනවා. ඒ වගේම පාරෙ යද්දී මැරිච්ච සත්තු දැක්කොත් ඒ සත්තුන්ට අරන් ඇවිත් සර්පයන්ට ආහාර විදියට දෙනවා. සජීවී ආහාර දෙන්නෙ නෑ.
සම්පත් බිත්තර සංරක්ෂණය කරන්නේ ඇයි?
බොහෝ දුරට බිත්තර සංරක්ෂණය කරන්න සිද්ද වෙන්නේ මිනිස් ක්‍රියාකාරම්වල ප්‍රතිඵලයක් විදියට. කාණු කපද්දී, වළවල් හාරද්දී බිත්තර හමුවෙලා ඒවා කැඩෙන්න පුළුවන්. එහෙම හමුවුණාම ඒ බිත්තර ගෙනල්ලා දෙනවා. නැත්නම් මම ගිහින් අරගෙන එනවා. ඒ බිත්තරවලට වැඩෙන්න අවශ්‍ය පරිසර සාධක ලබාදෙනවා. බිත්තරවලින් එන පැටව් ලොකු වෙනකම් බලාගෙන නිසි කාලේදී ඔවුන්ගේ වාසස්ථානවලට මුදාහරිනවා.
සත්තුන්ට බෙහෙත් කරන්න අවශ්‍ය මුදල් කොහොමද හොයාගන්නේ?
චැනල් එක පටන් ගන්න කලින් නම් ගොඩක් අභියෝග ආවා. ඒත් අද වෙනකොට ස්නේක් ගාඩියන් යූටියුබ් චැනල් එක හරහා මට ගොඩක් උපකාර ලැබෙනවා. බොහෝ පිරිසක් සතුන්ට ප්‍රතිකාර කරන වීඩීයෝ නරඹනවා. ඒ නරඹන අය සතුන්ට අවශ්‍ය බෙහෙත් ගන්න මුදල්වලින් උදව් කරනවා
සම්පත්ට සතුන්ට උදව් කරද්දී සිදුවුණ අමතක නොවන සිදුවීම් තියෙනවද?
ඔව් තියෙනවා. සතුන්ට තුවාල වෙලා බේහෙත් කරාම ඔවුන්ට නැවත වාසස්ථානවලට මුදා හරින්න ඕන. සමහර සත්තු යන්න කැමති නෑ. ඒක හරිම සංවේදීයි. හැම පසළොස්වක පෝයකම මම ඒ අත්දැකීම විදිනවා. ගිය පෝයට සර්පයන් පනහක් විතර නිදහස් කළා.
සම්පත්ට සම්මානයක් ලැබුනා ඒ ගැන කිව්වොත් ?
සමාජීය ඇගයීමක් විදියට සම්මානයක් ලැබුණා. සමාජ ධජ දේශබන්දු කියන ගෞරව නාමයයි මට ලැබුණෙ.
සත්ත්ව ආරක්ෂකයෙක් ලෙස සමාජයට දෙන්න තියන පණිවිඩය මොකක්ද?
මහපොළොව අයිති මිනිස්සුන්ට විතරක් නෙවෙයි. මිනිස්සු පවා පරිණාමය වෙලා තියෙන්නේ සත්තුන්ගෙන්. සත්තුන්ටත් ජීවත්වෙන්න අයිතියක් තියෙනවා. සත්තු කියන්නේ ස්වාභවධර්මයේ පැවැත්ම. ඒ අයට හිංසා නොකර හුස්ම ගන්න ඉඩක් දෙන්න. කාරුණික හදවතක් තියෙන මනුස්සයෙක් වෙන්න.
පවනි දිලේකා ✍️